මෙය ඇතැමෙක් විසින් කලකදී පැනනැඟූ පැනයකි. මෙයම හෝ මේ හා සමාන ප්‍රශ්නයක් යම් කලෙක යමෙකු විසින් පැන නැඟුව හොත්, ඊට ධර්මානුකූල වූ ද, සාධාරණ වූ ද පිළිතුරක් ලබා දීමට හැකි වීම අප කාටත් ප්‍රයෝජන විය හැකි බැවින්, මෙම පැනය අප විසින් ම නැවත නඟා පිළිතුරක් ලබාදීමට අදහස් කළෙමු.
[තවද, ඇතැමෙක් ප්‍රශ්න අසන්නේත් ධර්මය ඉගෙනගන්නේත් හුදු වාද විවාද ඇතිකර ගැනීමට හෝ තමාගේ පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කොට තමාම හුවා දැක්වීමට හෝ තවකෙක් අපහසුතාවයට පත් කිරීමටය. එමෙන්ම, සැදැහැ සිතින් ප්‍රශ්න නගන ධර්ම ගවේෂකයෝ ද ධර්ම පිපාසිතයෝ ද බහුල වීම සතුටට කරුණකි. පුද්ගලයාගේ අරමුණ කුමක් වුවත් සෑම ප්‍රශ්නයකට ම ධර්මානුකූල එක් පිළිතුරක් වත් අප සතු විය යුතු ය.]
බොහෝ අර්ථ විවරණ අතුරින් ‘බුද්ධ’ යන පදාර්ථගත විවරණයට ඇති සරලම හා කෙටිම විවරණයක් නම් ‘අබුද්ධිය නැසූ බව’ යන්නයි; සරල ම පාරිභාෂික පද යොදාගන්නේ නම්, ‘අබුද්ධිය’ යනු මෝඩකම, අඥානවන්තකම, අනුවණකම, නුනුවණ ආදියයි; මදක් ගැඹුරින් විමසා බලනේ නම් ‘අබුද්ධිය නැසූ බව’ යනු (රාග, ද්වේෂ, මෝහ මූලික) සියලු කෙලෙස් ස්වඋත්සාහයෙන් - ගුරු උපදේශ රහිතව ම මුළුමණින්ම නැසීමට බුද්ධිමත් වූ (උතුමන්) බවයි.
එමෙන් ම, ‘ආගම’ යන පදාර්ථය (වචනයේ තේරුම) ‘පැමිණීම / පැමිණවීම’ යන්නයි. 'අලුතෙන් ම පැමිණීම / පැමිණවීම’ යයි ද කිව හැකිය. ‘බුද්ධාගම’ යන පදය සෑදී ඇත්තේ, බුද්ධ+ ආගම යන පද දෙක සන්ධි වීමෙනි (බුද්ධ + ආගම = බුද්ධාගම).
එබැවින්, යමෙක්ගේ සිතෙහි / ජීවිතයෙහි මෙතෙක් කල් (යම් කලක සිට) පැවති වෙනත් සියලුම පිළිගැනීම්, ඇදහීම්, දෘෂ්ටි, මත වාද, දර්ශන, හැසිරීම්, සංස්කෘතින්, ආකල්ප, සිතුවිලි, මාර්ග ... ආදිය වෙනුවට; එකී අබුද්ධිය, මෝඩකම, අඥානවන්තකම, නුනුවණ හෝ (එතෙක් පැවති රාග, ද්වේෂ, මෝහ මූලික, සියලු කෙලෙස් ස්වඋත්සාහයෙන් ම) නැසීමට / මැඬීමට සමත් (වූ) යමෙක්, යමක්, යම් දර්ශනයක්, යම් මාර්ගයක් යමෙක්ගේ සිතට / ජීවිතයට (අලුතෙන් ම) පැමිණීම / පැමිණවීම ‘බුද්ධාගම’ යැයි කෙටියෙන් සඳහන් කිරීම ධර්මානුකූලය; සාධාරණය; යුක්තියුක්තය.
{යම් අරමුණක් සම්පාදනය / ඉටු කර / සාක්ෂාත් කර ගැනීමට ද ‘ආගම’ යන පදය යෙදෙන බවක් පෙනේ; එබැවින් එම අරුත් ද ‘ආගම’ යන පදය වෙනුවට ගැලපෙන පරිදි යොදා ද, ඉහත අරුත් විවරණයකොට බලන්න.}