591. විසි ආකාර සක්කාය දිට්ඨිය හා බුද්ධාදී අට තැන්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෙහි දැක්වෙන සත්කාය දෘෂ්ඨියේ විසි ආකාරය සහ බුද්ධාදී අට තැන් යන්නෙන් දැක්වෙන කාරණා මොනවාද?

A / R. සක්කායදිට්ඨි 20 - සක්කායදිට්ඨි "මම ය කියා ද නුඹ ය කියා ද දෙවියා මිනිසා ගවයා අශ්වයා ඇතා කියා ද තවත් නොයෙක් නම් වලින් ද ව්‍යවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුඤ්ජයන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ ධර්ම කොටස් පස පමණෙකි. ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නො සමත් ධර්මය නො දත් අන්ධ පෘථග්ජනයෝ ඒවා රූප වේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදි ස්කන්ධ පස මම ය නුඹය මිනිසාය දෙවියා ය කියා වැරදි ලෙස සලකති. ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කායදිට්ඨි නම් වේ. මෙයට ආත්ම දෘෂ්ටිය යි ද කියනු ලැබේ. මේ දෘෂ්ටිය එක් එක් ස්කන්ධයක සතර සතර ආකාරයකින් ඇති වන බැවින් ස්කන්ධපඤ්චකයෙහි ඇති වන සක්කාය දෘෂ්ටිය විසි වැදෑරුම් වේ. රූපස්කන්ධයෙහි සිව් වැදෑරුම් සක්කාය දෘෂ්ටිය මෙසේ ය.

1.  රූපං අත්තතෝ සමනුපස්සති.

2.  රූපවන්තං අත්තානං සමනුපස්සති.

3.  අත්තනි වා රූපං සමනුපස්සති.

4.  රූපස්මිං වා අත්තානං සමනුපස්සති.

1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.

2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.

3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.

4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.

වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ඇතැමෙක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනාවන් ඇති වන කල්හි සැප විඳින්නේ මම ය, දුක් විඳින්නේ මම ය, සතුටු වන්නේ මම ය, නො සතුටු වන්නේ මම ය, මැදහත් ව ඉන්නේත් මම ය යි වේදනාව ආත්ම වශයෙන් ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට වේදනාව ඇත්තේ ය යි ගන්නෝ ය. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයෙහි වේදනාව ඇතය යි ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූපයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය වේදනාවෙහි ඇතියකැයි ගනිති. මෙසේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධයන්හි සත්කාර දෘෂ්ටිය ඇති වන සැටි සැලකිය යුතු ය.

ඇතැම් දෘෂ්ටීන් ඇති වන්නේ සත්ත්වයන් ගැන හා බාහිර ලෝකය ගැන කල්පනා කිරීමෙන් හෝ උගෙනීමෙනි. සත්කාය දෘෂ්ටිය හෙවත් ආත්ම දෘෂ්ටිය එසේ ඇති වන්නක් නොව එය සැමට ම උත්පත්තියේ පටන් ස්වභාව ධර්මයඅ ැනුව ඇති වන දෘෂ්ටියකි. කොතරම් මෝඩයකු වුවත් සත්කාය දෘෂ්ටිය ඇත්තේ ය. ඉතා මඳ දැනුමක් ඇති තිරිසන් සතුන්ට ද එය ඇත්තේ ය. සත්ත්වයන් විසින් මම ය කියා සලකන දෙය සත්‍ය වශයෙන් ම ඇත්තේ නම් එය උත්පත්තියේ පටන් මරණය දක්ා හෝ සංසාරය දිගට ම හෝ පවත්නා දෙයක් විය යුතු ය. එය එක් පුද්ගලයකුට එක බැගින් පමණක් තිබිය යුතු ය. එක් පුද්ගලයකුට ආත්ම දෙක තුනක් සතර පහක් නො තිබිය යුතු ය. මෙය මම යයි කියන්නවුන්ට මමය කියා ස්ථිර එක් දෙයක් නැත. වරින් වර එය වෙනස් කර වෙන වෙන දෙයට මම යයි කියති. එහෙත් ඒ බව ඔවුහු නො දනිති. මම සැම කල්හි මම ම විය යුතු ය. එය කිසි කලෙක මාගේ නො විය යුතුය. මම හා මාගේ දෙක දෙකක් ම විය යුතු ය. රූපකය ගමනාදි ක්‍රියාවන්හි යෙදීම ගැන මම යමි, මම හිඳිමි, මම දනිමි, මම දෙමි, මම ගනිමි, මම කමි, මම බොමි යි රූපකය ආත්ම වශයෙන් ගෙන කථාකරන තැනැත්තා තවත් වරකදී මගේ ඇඟ පණ නැත, මගේ ඇඟ කෙට්ටුය, මගේ ඇඟ රිදෙනවා ය, මගේ ඇඟට ශීතලය, මගේ ඇඟේ ඩහදිය ය යනාදීන් කලින් මමය යි ගත් ඇඟ මාගේ කොට කථා කරයි. ඇඟ මාගේ යයි කීමෙන් දැක්වෙන්නේ එය මම නො වන බව ය. මෙසේ වරින් වර ආත්මය වෙනස් වන්නේ සත්‍ය වශයෙන් ලැබෙන ආත්මයක් නැති බැවිනි.

වැරදි දැකීමක් වන මේ සත්කාය දෘෂ්ටිය නොයෙක් කෙලෙසුන්ට නොයෙක් පව්කම් වලට මුලකි. පඤ්චස්කන්ධය ම ඒ ඒ අතට හරවමින් මම ය යි සලකන්නහුට ඒ පඤ්චස්කන්ධය ගැන මහත් වූ තණ්හාවක් ඇති වේ. පඤ්චස්කන්ධය නැති වෙනවාය කියත හොත් ඔහුට එතරම් අන් කිසිම කරුණක් ගැන බියක් ඇති නො වේ. මාගේ බිරියය මාගේ පුතා ය මාගේ දූ ය මාගේ ගේය යනාදීන් අන් දේවලට තණ්හාව ඇතිවන්නේ මම යන දෘෂ්ටිය ඇති නිසා ය. මේ දෘෂ්ටිය සංසාර ප්‍ර‍වෘත්තියට බලවත් හේතුවකි. එය ඇති තාක් සත්ත්වයාට විමුක්තිය නො ලැබිය හැකි ය. සත්කාය දෘෂ්ටියෙහි ඇති නපුර නිසා,

සත්තියා විය ඔමට්ඨෝ - ඩය්හමානේ ව මත්ථකෙ

සක්කායදිට්ඨිප්පහාණාය - සතෝ භික්ඛු පරිබ්බජේ

(සංයුක්ත නිකාය)

යනු වදාරන ලදී.

සැතකින් පහර ලැබූවකු මෙන් ද, හිස ගිනි ගත්තකු මෙන් ද අන් සියල්ල හැර සත්කාරය දෘෂ්ටිය ප්‍ර‍හාණය කරනු පිණිස උත්සාහ කළ යුතුය යනු එහි අදහස ය.

විචිකිච්ඡා 8 / 16 - විචිකිච්ඡාව

විචිකිච්ඡාව අභිධර්මයෙහි අෂ්ඨාකාරයකින් ද සබ්බාසව සූත්‍රයෙහි ෂෝඩෂාකාරයකින් ද දේශනය කර ඇත්තේ ය. එය අභිධර්මයෙහි දේශනය කර ඇත්තේ මෙසේ ය.

තත්ථ කථමා විචිකිච්ඡා?

1.  සත්ථරි කංඛති විචිකිච්ඡති

2.  ධම්මේ කංඛති විචිකිච්ඡති

3.  සංඝෙ කංඛති විචිකිච්ඡති

4.  සික්ඛාය කංඛති විචිකිච්ඡති

5.  පුබ්බන්තේ කංඛති විචිකිච්ඡති

6.  අපරන්තේ කංඛති විචිකිච්ඡති

7.  පුබ්බාපරන්තේ කංඛති විචිකිච්ඡති

8.  ඉදප්පච්ඡයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡති.

(ඛුද්දකවත්ථු විභංග)

1. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් ප්‍ර‍තිමණ්ඩිත ෂට්වර්ණරශ්මිමාලා ඇති ශරීරයක් තිබිය හැකි ද? අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් සියල්ල දත හැකි නුවණක් තිබිය හැකි ද? දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා රශ්මි මාලාවන් ඇති සියල්ල දන්නා නුවණ ඇති පුද්ගලයකු සිටිය හැකි දැ යි ශාස්තෘන් වහන්සේ ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

 2. ක්ලේශ ප්‍ර‍හාණයට ආර්‍ය්‍යමාර්ග සතරක් හා කෙලෙස් සන්සිඳ වූ ඵලධර්ම සතරක් ද සියලු දුක්වල නිමවීම වූ නිර්වාණයක් ද ඇත ද නැත ද කියා නවලෝකෝත්තර ධර්මය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

3. සතර මාර්ග සතර ඵලයන්හි ආර්‍ය්‍ය සංඝ රත්නයක් ඇත්තේ ද මේ සංඝයා සුප්‍ර‍තිපන්න ද නැත ද සංඝ රත්නයට දන්දීමේ විපාකයක් ඇති ද නැති ද කියා සංඝරත්නය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

4. ත්‍රිශික්ෂාවය කියා දෙයක් සත්‍ය වශයෙන් ඇත්තේ ද ඒ ශික්ෂාවන් පිරීමෙන් ප්‍ර‍තිඵලයක් ඇත ද නැත ද කියා ශික්ෂාව පිළිබඳ ව ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

5. අතීත භව පරම්පරාවක් තිබී ද නො තිබී ද කියා අතීත ස්කන්ධයන් පිළිබඳ වූ සැකය එක් විචිකිච්ඡාවෙකි.

6. අනාගත භව පරම්පරාවක් ඇත්තේ ද නැත්තේ ද කියා අනාගත ස්කන්ධයන් ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

7. අතීතානාගත භව පරම්පරා දෙක ම සම්බන්ධයෙන් ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

8. මේ සත්ත්වයා හේතුඵල පරම්පරාවක් ද, ඉබේ ම ඇති වූවක් ද, කෙනකු විසින් මවන ලද්දක් ද කියා පටිච්චසමුප්පාදය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි. මේ අභිධර්මයේ දැක්වෙන විචිකිච්ඡා අටය.

සබ්බාසව සූත්‍රයේ දැක්වෙන ෂෝඩෂාකාර විචිකිච්ඡාව මෙසේ ය.

�අහෝසිං නු ඛෝ අහං අතීතමද්ධානං, න නු ඛෝ අහෝසිං අතීත මද්ධානං, කිං නු ඛෝ අහෝසිං අතීත මද්ධානං, කථං නු ඛෝ අහෝසිං අතීතමද්ධානං, කිං හුත්වා කිං නු ඛෝ අහෝසිං අහං අතීතමද්ධානං භවිස්සාමි නු ඛෝ අහං අනාගතමද්ධානං, නනු ඛෝ භවිස්සාමි, අනාගතමද්ධානං, කිං නු ඛෝ භවිස්සාමි අනාගතමද්ධානං, කථං නු ඛෝ භවිස්සාමි අනාගත මද්ධානං, කිං හුත්වා කිං භවිස්සාමි න ඛෝ අහං අනාගතමද්ධානං, අහං නු ඛෝස්මි, කෝ නු ඛෝස්මි, කිං නු ඛෝස්මි, කථං නු ඛෝස්මි, අයං නුඛෝ සත්තෝ කුතෝ ආගතෝ කුහිං ගාමී භවිස්සති.�

මම අතීතයේ වූයෙම් ද, නොවූයෙම් ද, මම අතීතයේ මනුෂ්‍ය දේව තිරශ්චීනාදීන්ගෙන් කවරක් වූයෙම් ද, මම අතීතයේ කෙබඳු සටහන් ඇතියෙක් වූයෙම් ද, මම අතීතයේ කවරක් වී කවරෙක් වූයෙම් ද, මෙසේ අතීතය පිළිබඳ වූ විචිකිච්ඡා පසෙකි. මම මරණින් මතු අනාගතයෙහි ඇත්තෙම් ද, නැත්තෙම් ද, මම අනාගතයෙහි කවරෙක් වන්නෙම් ද, කෙබඳු කෙනෙක් වන්නෙම් ද, මම අනාගතයෙහි කවරකු වී කවරෙක් වන්නෙම් ද, මෙසේ අනාගතය පිළිබඳ විචිකිච්ඡා පසෙකි. උත්පත්තියේ පටන් මරණය දක්වා පවත්නා වර්තමාන පඤ්චස්කන්ධය ගෙන මේ මම දැ යි සැක කරයි. මේ මම නොවෙම් දැ යි සැක කරයි. මම කවරෙක් ද, මාගේ සැටි කෙසේ ද? මම කොහි සිට මේ භවයට ආයෙම් ද, මෙයින් මම කොහි යන්නෙම් ද? මෙසේ වර්තමාන භවය සම්බන්ධයෙන් ඇති වන විචිකිච්ඡා සයෙකි. මේ සබ්බාසව සූත්‍රයේ දැක්වෙන විචිකිච්ඡා සොළස ය.

සීලබ්බතපරාමාසය.
මෙහි ගවාදි සතුන්ගේ ප්‍ර‍කෘතිස්වභාවය සීල නම් වේ. එනම් සතර පයින් යාම, බිම නිදාගැනීම, අතට නො ගෙන මුවින් ම ආහාර ගැනීම, හුන් තැන ම මලමුත්‍ර‍ පහ කිරීම ආදිය ගවයන්ගේ ප්‍ර‍කෘති ස්වභාවය ය. ගවයකු මෙන් හැසිරෙමි යි මනුෂ්‍යයකු විසින් සමාදන් වී පවත්වන ඒ ගව ස්වභාවය ව්‍ර‍ත නම් වේ. බුදු සසුනෙන් පිටත්හි ඇතැම් ශ්‍ර‍මණයෝ ශීලයෙන් ව්‍ර‍තයෙන් සත්ත්වයා ශුද්ධ වන්නේ ය යි සලකති. ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සීලබ්බත පරාමාස නම් වේ. සත්කායදෘෂ්ටිය විචිකිච්ඡාව ශීල ව්‍ර‍තපරාමර්ශ යන මේ තුන සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන සංයෝජනයෝ ය."

A / R. " “6–22. ... එහි කිසෙයින් සොතාපන්න වෙයි යත්: සත්‍යාවබොධය සමග ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයොජනයෝ ප්‍රහීණ වෙති. මේ තුන් සංයොජනයන්ගේ ප්‍රහාණයෙන් ක්ෂය වීමෙන් දුක් කෙළවර කිරීම දක්වා අවිනිපාත ස්වභාව වූ ආර්‍ය්‍යශ්‍රාවක වේ.

එහි සක්කායදිට්ඨි කවර යත් : අශ්‍රැතවත් බාල පුහුදුන් තෙමේ (යම්තාක්) ... ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ වේ ද, හේ රූපය ආත්ම විසින් දකී ... විඥානයෙහි ආත්මය ඇතැයි දකී. හේ මේ පඤ්ච ස්කන්ධයෙහි ආත්මග්‍රාහය ඇත්තේ හෝ ආත්මනියග්‍රාහය (ඇත්තේ) හෝ වෙයි. 'තෙලෙ මම් වෙමී' එක් (දෘෂ්ටියෙක) වශයෙහි පවත්නේ ප්‍රක්ෂිප්ත වූයේ ග්‍රාහ ඇත්තේ අනුශය වශයෙන් පවත්නේ අංගමංග ? යයි ගනී. එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ප්‍රෙක්ෂණයෙක් ආකාර පරිචිතර්කයෙක් දෘෂ්ටිය ගෙන සිතීමෙක් ප්‍රසන්න බවක් වේ ද, මේ සක්කාය දිට්ඨි යයි කියනු ලැබේ.

එහි දෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡෙදය භාජනය කෙරෙති, කවර පස්දෙනෙක යත් : රූපය ආත්ම විසින් දකී, (යනු පටන්) විඥානය ආත්ම යයි (දෘෂ්ටිවශයෙන්) දකී යන මේ පස උච්ඡෙදය භජනය කෙරෙත්. සෙසු පසළොස් (ආත්ම) දෘෂ්ටීහු ශාශ්වතය භජනය කෙරෙත්. මෙසේ සත්කායදෘෂ්ටිය ප්‍රහාණයෙන් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ වෙති. ප්‍රහීණ වීමෙන් (ආර්‍ය්‍යශ්‍රාවක) උච්ඡෙදයත් ශාශ්වතයත් භජනය නො කෙරෙයි. මෙසේ උච්ඡෙද ශාශ්වතප්‍රහාණයෙන් ආර්‍ය්‍යශ්‍රාවකහට කිසි දෘෂ්ටිගතයෙක් නො වෙයි. මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතවත් වෙයි. සියලු ශුක්ලපක්ෂය විස්තර කළයුතු ... 'ආර්‍ය්‍යධර්මයෙහි නිපුණ වූයේ රූපය අනාත්ම වශයෙන් දකී, (යනු පටන්) විඥානය ... (අනාත්ම වශයෙන් දකී යනු දක්වා) මෙසේ දක්නා වූ ඔහුට සත්කායදෘෂ්ටි නො වේ.

කිසෙයින් විචිකිච්ඡා නො වෙයි යත් : මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිත්සා නො කෙරෙයි, අතිශයින් පහදී, "ඉතිපි සො භගවා ... "සියල්ල ද, දහම්හි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... "තණ්හක්ඛයෙවිරාගො නිරොධො නිබ්බානං" යනු දක්වා සියල්ල ද (විස්තර කළයුතු යි.) මේ දෙවැනි ආකඞ්ඛීය ධර්මයෙන් (?) සමන්විත වෙයි. සඟුන් කෙරෙහි සැක නො කෙරෙයි ... දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද පූජාවට සුදුසු වෙයි (?) යනු දක්වා විස්තර යි. මේ තෙවැනි ආකඞ්ඛීය ධර්මයෙන් සමන්වාගත වේ.

"සියලු සංස්කාරයෝ දුක් වූහ"යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, ප්‍රසාදයට පැමිණේ. 'තණ්හාව දුක්ඛසමුදය'යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... 'තෘෂ්ණානිරොධය දුක්ඛනිරොධය"යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්ගය දුක්ඛනිරොධගාමිනී පටිපදා"යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, පහදී.

බුදුන් කෙරෙහි හෝ දහම්හි හෝ සඟුන් කෙරෙහි හෝ දුකෙහි හෝ සමුදයෙහි හෝ නිරොධයෙහි හෝ මාර්ගයෙහි හෝ සැක කිරීමක් විමතියක් විචිකිත්සාවක් ද්විධාපථයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නොසිටීමෙක් නො පිහිටාසිටීමෙක් අනෙකාන්ත බවෙක් අනෛකාංසිකාකාරයෙක් වේ ද, ඒ සැකයෝ ඔහු විසින් ප්‍රහීණ කරන ලද්දාහු වෙති, බැහැර කරන ලද්දාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවයට ගියාහු මතුයෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.

එහි සීලබ්බතපරාමාසය දෙපරිදි වෙයි : සිල් ඇත්තහුගේ හෝ ශුද්ධි ඇත්තහුගේ හෝ යැ.

එහි සිල්ඇත්තහුගේ සීලබ්බතපරාමාසය කවරැ : මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවාන්‍යතරයෙකිම් වෙමි, එහි පරෙවිපා ඇති අප්සරාවන් සමග ක්‍රීඩා කෙරෙමි, රමණය කෙරෙමි, සිත් අලවා වෙසෙමි එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ඇලීමක් රාගයෙක් රාගපරිවර්තක දෘෂ්ටියක් දැක්වීමක් වේ ද මේ සිල් ඇත්තහුගේ ශීලව්‍රතපරාමර්ශ යි.

එහි ශුද්ධිඇත්තහුගේ සීලබ්බතපරාමාස කවරැ: මෙලොවැ කිසිවෙක් ශීලය පරාමර්ශ කෙරෙයි : ශිලයෙන් ශුද්ධවෙයි, ශීලයෙන් (සුවයට) පමුණුවයි, ශීලයෙන් මිදෙයි, සුව ඉක්මවයි, දුක් ඉක්මවයි, සුවදුක් ඉක්මවයි, උපරිමභාවයට පැමිණෙයි. ඒ ශීලව්‍රත දෙක පරාමාර්ශ කෙරෙයි: ඒ ශීලව්‍රත දෙකින් ශුද්ධ වෙති, මිදෙති, පමුණුවති, සුව ඉක්මවති, දුක් ඉක්මවති, සුවදුක් ඉක්මවති, (නිවනට) පැමිණෙත් යයි. (අවිසුචිකරං ... මෙහි සිට වාක්‍ය ය ව්‍යාකල යි.) එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් මුක්තියක් ප්‍රෙක්ෂණයෙක් ආකාරපරිවතර්කයෙක් දෘෂ්ටිය සිතීමෙක් දැකීමෙක් වේ ද, මේ විශුද්ධි ඇත්තහුගේ සීලබ්බතපරාමාස යි.

තෙල පරාමාසයෝ දෙදෙන ආර්‍ය්‍යශ්‍රාවකහට ප්‍රහීණ වූවාහු වෙති. "ආයතිං අනුප්පාද ධම්මා' (යනු දක්වා විස්තර කළයුතු යැ) ඒ ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වූයේ සිල්වත් වෙයි. "උපසමසංවත්තනිකෙහි" (යනු දක්වා විස්තර යි.) මේ තුන් සංයොජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපත්ත වූයේ අවිනිපාත ස්වභාව ඇතියේ වේ, සියල්ල (විස්තර කළ යුතු යැ)

'සහ සච්චාහි සමයා' යනු වචනාර්ථ කවරෙ යැ: 'පරිඤ්ඤාභිසමය පහානාභිසමය සව්ජිකිරියාහිසමය භාවනාභිසමය යී අභිසමයයෝ සතරදෙනෙකි.

එහි ආර්‍ය්‍යශ්‍රාවක දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවෙධයෙන් ප්‍රතවෙධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණ ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙයි, නිරොධසත්‍යය සාක්ෂාත් ක්‍රියාභිසමයෙන් ප්‍රතිවෙධ කෙරෙයි, මාර්ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ කෙරෙයි.

කවර කරුණෙකින් දුක්ඛයාගේ පරිඤ්ඤාභිසමය (ප්‍රතිවෙධය) සමුදයාගේ පහානාභිසමය, නිරොධයාගේ සච්ඡිකිරියාභිසමය, මාර්ගයාගේ භාවනාභිසමය වෙයි යත්: සමථ විපස්සනා හේතුයෙනි, කිසෙයින් ප්‍රතිවෙධ කෙරෙයි යත්: අරමුණෙහි සිත උපනිබන්ධනය කොට පඤ්චස්කන්ධයන් දුක් වශයෙන් දකී. එහි යම් උපනිබන්ධයෙක් ඇද්ද මේ සමථ යැ. යම් පරියොගාහනයෙක් (විමසීමෙක්) ඇද්ද මේ විපස්සනා යි.

පඤ්චස්කන්ධයෝ දුක් වූහ'යි දක්නාහට පඤ්චස්කන්ධයෙහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් බැසැගෙන සිටීමෙක් ඊප්සාවක් මූර්ජාවක් ප්‍රණිධියක් ප්‍රාර්ථනාවක් ඇද්ද ඒ ප්‍රහීණ වෙයි. එහි පඤ්චස්කන්ධයෝ දුක්ඛ සත්‍ය යැ. එහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් අධ්‍යයවසානයෙක් ඉච්ඡාවක් මූර්ඡාවක් ප්‍රණිධියක් ප්‍රාර්ථනාවක් ඇද්ද මේ සමුදය සත්‍ය යැ, ඒ සමුදයයාගේ ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරොධසත්‍ය යැ. සමථයත් විපස්සනාවත් මාර්ගසත්‍ය යි. මෙසේ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ සමකාලයෙහි ඒකක්ෂණයෙහි ඒකචිත්තයෙහි නො පෙරපසු වැ අවබොධය වෙයි. එයින් වදාළහ බුදුහු, "සත්‍යාවබොධය සමග ආර්‍ය්‍යශ්‍රාවකහට තුන් සංයොජනයෝ ප්‍රහීණ වෙත්" යයි.

එහි සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්කලැ එක් කොණෙහි එක් සිතෙහි සතර කෘත්‍යයක් කෙරෙති : දුක පරිඥාභිසමයෙන් අවබොධ කෙරෙයි, ... මාර්ගය භාවනාහි සමයෙන් අවබොධ කෙරෙයි, (යනු දක්වා විස්තර කළයුතු.)

කවර කරුණෙකින් දුක පරිඥාභිසමය වේ ද ... මාර්ගය භාවනාභිසමය වේ ද යත් : මෙසේ දෘෂ්ටාන්ත වෙයි : යම්සේ නැව ජලයෙහි ගමන් කරන්නී සතර කෘත්‍යයක් කෙරේ ද: පරතෙරට පමුණුවයි, මෙතෙර හැරපියයි, බර ගෙනයයි, ස්‍රොතස් සිඳී. එපරිදි මැ සමථවිපස්සනා දෙක යුගනද්ධ වැ පවත්නාහු එක්විට එක් ඇසිල්ලෙහි එක්සිතෙහි කෘත්‍යය සතරක් සිදු කෙරෙති. දුක්ඛසත්‍යය පරිඥාභිසමයෙන් ප්‍රතිවෙධ කෙරෙයි ... මාර්ගසත්‍යය භාවනාභිසමයෙන් ප්‍රතිවෙධ කෙරෙයි.

යළි යම්සේ හිරු උදයට පැමිණෙනුයේ එක්විට පෙරපසු නො වැ කෘත්‍යය සතරක් කෙරෙයි : අඳුර නසයි, ආලොකය පහළ කෙරෙයි, රූප දක්වයි, සීතය නසයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විට ... යම්සේ පහන දැල්වෙනුයේ එක්විට නො පෙරපසු වැ කෘත්‍යය සතරක් කෙරේ ද: අඳුර දුරු කෙරෙයි, එළිය පහළ කෙරෙයි, රූප දක්වයි. තෙල් ගෙවාලයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විටැ ...

යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ස්‍රෝතාපන්න වේ ද, විරූපයෙහි නොවැටෙන සැහැවි ඇතියේ මාර්ගනියාමයෙන් නියත වූයේ ... දුක් කෙළෙවර කෙරෙයි. මේ දර්ශනභූමි යැ, ස්‍රෝතාපත්තිඵලය ද වේ. ..."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll