Q. ප්‍රඣාව නොමැත්තා අධ්‍යාත්මික දිළින්දෙකි. ප්‍රඣාව ගැන පහදන්න...
A. "සිතින් දැන ගන්නවාට වඩා හොඳින්, වඩා පිරිසිදු ලෙස - වඩා ගැඹුරු ලෙස අරමුණු දක්නා ස්වභාවය ප්‍රඥා චෛතසිකයය. එයට “අමෝහය” යි ද, “විද්‍යාව” යයි ද කියනු ලැබේ."
"සිතට සැම දෙය ම දැනෙන්නේ ය. එහෙත් එයට එක් දෙයකුදු පිරිසිදු ලෙස හොඳින් නො දැනෙන්නේ ය. සිතෙහි දැනීම ඇස් දුබල කෙනකුගේ පෙනීම වැනි ය. ඇස් දුබල තැනැත්තාට බොහෝ දේ පෙනෙතත් පෙනෙන එක් දෙයකුදු ඇස් හොඳ කෙනකුට පෙනෙන්නාක් මෙන් නිවැරදි ලෙස හොඳින් නො පෙනේ. එ මෙන් සිතට ඒ ඒ දෙය දැනෙන නුමුත් පිරිසිදු ලෙස නිවැරදි ලෙස නො දැනේ. සිත හා එක් වී පිරිසිදු ලෙසත් නිවැරදි ලෙසත් අරමුණු දැන ගන්නා ධර්මයක් ඇත්තේ ය. ප්‍රඥාවය යි කියනුයේ ඒ ධර්මයට ය. එය දුබල ඇසට උපකාර වන කණ්ණාඩියක් වැනි ය. ආලෝකයක් වැනි ය. ඒ ප්‍රඥාව අරමුණ නො වරදවා ඇති සැටියට ම ගැනීමෙහි සම්ප්‍රයුක්ත ධර්මයන් යෙදවීම් වශයෙන් ඒවා ආණ්ඩු කරන බැවින් පඤ්ඤින්ද්‍රිය නම් වේ.
ඒ ප්‍රඥාව සාමාන්‍ය ජනයා ගේ සන්තානවල ද විටින් විට ඇති වන්නකි. සාමාන්‍ය ජනයා කෙරෙහි ඇති වන්නා වූ ඒ ප්‍රඥාවෙහි ප්‍රබල දර්ශන ශක්තියක් නැත. ධ්‍යානමාර්ගාදිය පිණිස යෝග කරන්නා වූ සත්පුරුෂයන් හට ඔවුන්ගේ යෝග කර්ම සිද්ධියට ඒ දුර්වල ප්‍රඥෙන්ද්‍රිය ය ප්‍රමාණ නො වේ. එයට ඉතා දියුණු නුවණක් තිබිය යුතු ය. ඇසින් දුටු දෙයක් නැවත ඇසට පෙනෙන්නාක් මෙන් යම් දෙයක් පෙනෙන සැටියට සිතීම පහසු කාර්යයක් නො වේ. ධ්‍යාන ලැබීමට ඉදිරියෙහි නැති කසිණාදි ආරම්මණයන් ඇසට පෙනෙන සේ ම සිතින් ගත හැකි විය යුතු ය. එසේ කළ හැකි වීමට දියුණු තියුණු කරන ලද ප්‍රඥාවක් තිබිය යුතු ය. ලෝකෝත්තර මාර්ග සඳහා කරන විදර්ශනා භාවනාවට එයට ද වඩා දියුණු තියුණු ආලෝකවත් නුවණක් තිබිය යුතු ය. මේ බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ප්‍රඥෙන්ද්‍රියය යි කියනුයේ ශමථ විදර්ශනාවන්ට යෝග්‍ය වන පරිදි දියුණු කර ගන්නා ලද ප්‍රඥෙන්ද්‍රිය ය."
A. “ප්‍රඥාව මිනිසුන්ට රත්නය වෙයි.”
# (“මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද? කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද? කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද? කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්‍රද්‍ධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.”)
# [“නොදිරා යෑමෙන් කිමෙක් මනාප වේද? කුමක් නම් පිහිටියේ මනාප වේද? මිනිසුන්ට කිමෙක් නම් රත්න වේද? කුමක් නම් සොරුන් විසින් හැරගත නොහැකිද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ශීලය නොදිරා යෑමෙන් මනාප වේ. ශ්‍රද්‍ධාව පිහිටියේ මනාප වේ. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වෙයි. පින සොරුන් විසින් හැරගත නොහැක්ක.”]
# {“මෙහි දුර්ලභ ලෙස පහළ වීමේ අර්ථයෙන් ප්‍රඥාරතනය යි කියන ලදි.”}
‘‘සීලං යාව ජරා සාධු, සද්ධා සාධු පතිට්ඨිතා;
පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහි දූහර’’න්ති."