147. මරණය ගැන දන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මරණය වර්ගීකරණය කරන්නේ කෙසේ ද?

R. "මරණ නම් එක් භවයකට ඇතුළත් ජීවිතෙන්‍ද්‍රිය සිඳී යාම ය. එය ජීවිතින්‍ද්‍රියොපච්ඡේද මරණය යි කියනු ලැබේ. ඒ හැරැ සමුචේඡද මරණයක්‍ෂණික මරණයසම්මුති මරණය යි, තවද මරණ තුනෙක් ඇත්තේ ය. සමුචේඡද මරණ නම් රහතන් වහන්සේගේ සියලු සසර දුකින් මිදීම සංඛ්‍යාත මරණය යි. ක්‍ෂණික මරණ නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය යි. සම්මුති මරණ නම් “ගස මැරුණේ ය. ලෝභය මැරුණේ ය” යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත මරණය යි. මේ ත්‍රිවිධ මරණ මෙහි අදහස් නො කරන ලද බව ද මුල දැක්වුනු ජීවිතෙන්‍ද්‍රියොපච්ඡේද මරණය ම අදහස් කරන ලද බව ද දත යුතු යි.

ඒ ජීවිතෙන්‍ද්‍රියෝපච්ඡේද මරණය ද වනාහි කාල මරණයඅකාල මරණය යි යළි දෙවැදෑරුම් වේ. කාල මරණය පුණ්‍යක්‍ෂයයෙන් හෝ ආයුඃක්‍ෂයයෙන් වන්නේ ය. අකාල මරණය උපචේඡදක කර්‍මයෙන් වන්නේ ය.

එහි විස්තරය මෙසේ ය:- උපන් භවයෙහි ආයුසන්තතිය පැවැතීමට හේතු වූ ආහාරාදි ප්‍ර‍ත්‍යය සම්පත් ඇත ද ප්‍ර‍තිසන්‍ධි ජනක කර්‍මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය වේ ද, ඒ පුණ්‍යක්‍ෂය මරණය යි. කාල ආහාරාදි සිම්පත් නැති වීමෙන් මෙ කල මිනිසුන්ට ශතවර්‍ෂ ප්‍ර‍මාණ ආයුෂ ක්‍ෂය වීමෙන් සිදුවන මරණය මෙන් යමකුගේ මරණය වේද, එය ආයුඃක්‍ෂය මරණය යි. අකාල මරණය තත් ක්‍ෂණික වශයෙන් ද පූර්‍වකෘත වශයෙන් දැ යි දෙ ආකාරයෙකින් සිදු වේ. දූසීමාරකලාබු රාජාදීන්ට මෙන් ඒ ඇසිල්ලෙහි කළ බලවත් වූ අකුශල කර්‍මයෙන් උන්තැනින් චුතවීම් වශයෙන් සිදුවන මරණය තත් ක්‍ෂණික අකාල මරණය යි. පූර්‍ව ජාතික උපච්ඡේද කර්‍මයෙන් අවියෙන් පැහැර සිය දිවි නසා ගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්‍වකෘත අකාල මරණය යි.

පුණ්‍යක්‍ෂය මරණයආයුඃක්‍ෂය මරණයඋපක්‍ර‍ම මරණය යන මේ ත්‍රිවිධ මරණය ම යට කී ජීවිතේන්‍ද්‍රියොපච්ඡේද මරණයෙහි ඇතුළත් බව දත යුතු යි. ඒ මරණය පිළිබඳ වූ අනුස්මෘතිය මරණානුස්මෘතිය යි. (මෙහි පුණ්‍යක්‍ෂය මරණය යි කීයේ ප්‍ර‍ස්තුත වශයෙනි. පාපාක්‍ෂයයෙන් ද මරණය සිදු වේ. එ බැවින් එය කර්‍මක්‍ෂය මරණය යි ද කියනු ලැබේ. උපන් ලෝකයට නියමිත ආයුෂ තව ශේෂ වැ තිබියදීත් ප්‍ර‍තිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය අවසන් වීමෙන් සිදුවන මරණය කර්‍මක්‍ෂය මරණය යි ද ප්‍ර‍තිසන්‍ධි දුන් කර්‍මයේ ශක්තිය තව ශේෂ වැ තිබියදීත් උපන් ලෝකයට නියමිත ආයුෂය අවසන් වීමෙන් සිදුවන මරණය ආයුඃක්‍ෂය මරණය යි ද, කර්‍ම-ආයු යන දෙක්හි ම ශක්තිය තව ශේෂ වැ තිබියදීත් දෘෂ්ටධර්‍ම වශයෙන් හෝ අපරාපරිය වශයෙන් හෝ කළ බලවත් ම අන්‍ය කර්‍මයෙක ශක්තියෙන් සිදුවන මරණය උපච්ඡේදක මරණය යි ද කී නියා දත යුතුයි. මෙයින් මුල් දෙක කාල මරණය යි ද තෙ වැන්න අකාල මරණය යි ද කියනු ලැබේ. කර්‍ම-ආයු දෙක්හි ම ශක්තිය එකවිට අවසන් සිදුවන උභයක්‍ෂය මරණය ද කාල මරණයෙහි ම ඇතුළති.)"

A / R. "මරණ සතර.

ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියා මරණ සතරෙකි. හැම සත්ත්වයකුට ම තම තමන් ගේ ජීවිතය කෙළවර වන්නේ ඒ මරණ සතරින් එකකට පැමිණීමෙනි.

1. ආයුක්ෂය මරණය

ඒ ඒ සත්ත්ව ජාතීන්ට නියමිත ජීවත්වීමේ කාල පරිච්ඡේදයක් ඇත්තේ ය. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය ඉතා කෙටි ය. දින ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය සති ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය මාස ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය වර්ෂ ගණනෙකි. මිනිසුන් කෛරහි කුශල මූලයන් වැඩෙන කල්හි ඔවුන් ගේ ආයුඃ කාලය දික්වේ. අකුශල මූලයන් වැඩෙන කල්හි ආයුඃ කාලය කෙටි වේ. ආයුඃ කාල නියමය වන්නේ මා-පියන් ගේ ශරීරවලත්-වළඳන ආහාරවලත් - කාල ගුණයේත් තත්ත්වය අනුව ය.

සතියකට ආයු නැති ජාතිවල සත්ත්වයන් ගේ ශරීරවල වැඩීමත් දිරා යෑමත් සතිය තුළ දී සිදු වේ. එබැවින් ඔවුහු සතියකට වඩා ජීවත් නො වෙති. සිය වසක් ආයු ඇති ජාතිවල සත්ත්වයන් ගේ ශරීරවල වැඩීමත් දිරීමත් සිය වස තුළ දී සිදු වේ. සිය වසකින් ඔබ ඔවුනට ජීවත් විය නො හැකිය. අවුරුදු දහසක් ජීවත් කරවීමට ශක්තිය ඇති කර්මයකින් සිය වසක් ආයුඃ ප්‍ර‍මාණය වන මිනිසුන් අතර උපදින්නේ ද ඒ තැනැත්තාට සිය වසකට වඩා ජීවත් විය නො හැකිය. කුමක් නිසා ද? ජීවිතයට ආධාර වන ශරීරය සිය වසකදී දිරා යන හෙයිනි. කර්ම ශක්තිය ඇති අයට සෘද්ධි බලයෙන් හා රසායන බෙහෙත් බලයෙන් ආයුඃ කාලයට වැඩි කාලයක් ජීවත් විය හැකි බව ද කියා තිබේ. නියමිත ආයුඃ කාලය ගෙවීමෙන් වන මරණය ආයුඃක්ෂය මරණ නම් වේ.

2. කර්මක්ෂය මරණය

ඇතැම් දුබල කර්ම ප්‍ර‍තිසන්ධිය ඇති කිරීමට සමත් වෙතත් ඒ කර්මයෙන් උපන් තැනැත්තා ආයුඃ කාලය ඇති තෙක් ජීවත් කරවීමට සමත් නො වේ. එබඳු කර්මවලින් උත්පත්තිය ලැබුවෝ ආයුඃ කාලය ගෙවීමට කලින් මිය යෙති. කර්ම බලය ඉවර වීමෙන් වන ඒ මරණය කර්මක්ෂය මරණ නම් වේ.

3. උභයක්ෂය මරණය

ආයුඃ කාලය ය, කර්ම ශක්තිය ය යන දෙක ම එකවිට ගෙවීමෙන් වන මරණය උභයක්ෂය මරණ නම් වේ. සත්ත්වයකුට ආයුඃ කර්ම දෙක එක වර ම ගෙවී යෑමක් වන්නේ කලාතුරකිනි.

4. උපච්ඡේදක මරණය

ආයුෂයත් තිබිය දී කර්ම බලයත් තිබිය දී අතීත භවවල දී කළ ප්‍රාණඝාතාදි කර්මයකින් හෝ වර්තමානභවයේ කළ පාප කර්මයකින් ම හෝ රෝගාදි අන්තරායයන් ඇති කොට සිදු කරන මරණය උපච්ඡේදක මරණ නම් වේ.

උපච්ඡේදක මරණය අකාල මරණය ය. එය කර්මයෙන් පමණක් නො ව, තවත් බොහෝ හේතූන් ගෙන් ද සිදු වන්නකි. ජීවිතය ඉතා දුබල එකකි. කර්මයත් දුබල එකකි. ආහාර පානාදියේ උපකාරය නො ලද හොත්, ආරක්ෂාව නො සැලසුන හොත්, කර්ම ශක්තියට පමණක් ජීවිතය පැවැත්විය හැකි නොවේ. ජීවිතය පවත්නේ ද අන්තරාය මධ්‍යයේ ය. ශරීරය ඇතුළේ ම ද බොහෝ ජීවිත නාශක හේතු ඇත්තේ ය. ශරීරයෙන් පිටත සත්ත්වයා වටේටත් ජීවිත නාශක හේතු පිරී ඇත්තේ ය. ඒ සෑම එකකින්මත් අකාල මරණය සිදු විය හැකි ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll