784. "ජරාව" ගැන දන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "ජරා" යන්න කොටස්කර තිබෙනවා ද?

A / R. "... ආයු පරිච්ඡේද ජරාව ය. සන්තති ජරාවය, ක්ෂණික ජරාවය යි ජරාව ත්‍රිවිධ වේ. සත්ත්වයන් ගේ ජීවන කාලය පිරිසිඳින ජරාව ආයු පරිච්ඡේද ජරා නමි. වියළි කොළයක් ගින්නට දැමුව හොත් සැණෙකින් අලු වේ. අමු කොළය එයට වඩා මදක් ගින්නට ඔරොත්තු දෙයි. වියළි ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි, අමු ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි. යකඩ කැබෙල්ල එයට වඩා බොහෝ කලක් ගින්නට ඔරොත්තු දෙයි. තඹ කැබෙල්ල එයට ද වඩා කලක් ඔරොත්තු දෙයි. එමෙන් දුබල වූ කර්මාදි හේතූන්ගෙන් උපන්, උකුණු - මකුණු - මැසි - මදුරු ආදි ඇතැම් කුඩා සත්ත්ව කෙනෙක් ජරාවෙන් දවා දුබල කරනු ලැබ සතියකින් මිය යෙති. මඳක් බලවත් වූ කර්මාදි ප්‍ර‍ත්‍යයන් නිසා උපන්නාවූ ඇතැම් සත්ත්ව කෙනෙක් ජරාගින්නට උකුණු මකුණු ආදීන්ට වඩා දීර්ඝ කාලයක් ඔරොත්තු දෙති. දැවීම උසුලා සිටීමට සමත් වෙති. බලවත් කර්මාදි හේතූන් නිසා උපන් සත්ත්වයෝ බොහෝ කල් ජරා ගින්නෙන් දැවීම උසුලන්නට සමත් වෙති. වැඩි කල් ඒ දැවීමට ඔරොත්තු දෙන්නා වූ සන්තාන ඇති සත්ත්වයෝ බොහෝ කල් ජීවත් වන්නාහු ය.

උකුණු මකුණු ආදි දුබල කුඩා සතුන් ගේ ජීවන කාලය සතියක් වන්නේ ඉදිරියට ජීවත් නො විය හැකි පමණට ඒ සන්තානයන් ජරාගින්නෙන් සතියක් තුළදීම දවන නිසා ය. මතුවට ජීවත් නො විය හැකි පමණට සත්ත්වසන්තානයක් ජරාව විසින් දවා දුබල කරන්නට ගතවන්නා වූ කලාය ඒ ඒ සත්ත්වයන්ගේ පරමායුෂය ය. සත්ත්වයන් ගේ ආයු නියමය ජරාව පිළිබඳ වූවකි. ජරාගින්නට අසුව මසකින් මතු ජීවත් විය නොහෙන පමණට ශරීරය දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ මසෙකි. ජරාගින්නට වර්ෂයකින් මතු ජීවත්වීමේ ශක්තිය නැති වන ලෙස දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ වර්ෂයකි. බලවත් කර්මයෙන් ජනිත ප්‍ර‍ණීත රූපයන්ගෙන් නිර්මිත දේව බ්‍ර‍හ්මයන් ගේ ශරීරයන් දවා දුබල කිරීමට ජරාගින්නට බොහෝ කලක් ගත වේ. එබැවින් ඔවුහු දීර්ඝායුෂ්කයෝ ය. මෙසේ ඒ ඒ සත්ත්ව ජාතීන් ගේ ආයුෂ පිරිසිඳින ජරාව ආයුපරිච්ඡේද ජරාව ය.

එක් එක් සත්ත්ව ශරීරයක මරණය තෙක් නො ප වත්නා වූ වරින් වර චිත්ත - සෘතු - ආහාරයන්ගෙන් ඇති වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවෝ ද වෙති. අනේක හේතූන්ගෙන් හටගැනී එක්තරා කාලයක් පැවැතී සිඳී යන ආගන්තුක චිත්තපරම්පරාවෝ ද වෙති. ආහාරයක් නො ලද කල්හි ශරීරය දුබල ව පවතී. ආහාර නො ලැබූ තැනැත්තා ගේ හිසද ඔසවා කෙළින් තබා ගත හැකි සැටියට පණ නැත. උගුරෙහි හා කටෙහි තෙත් ගතිය නැත. කෙළින් තබා ගෙන සිටීමට කඳ පණ නැත. වැඩක් කිරීමට අත් පණ නැත. ගමන් කිරීමට පා පණ නැත. මෙසේ දුබල ව සිටින තැනැත්තා ගේ ශරීරයට ආහාරයක් වැටුණු පසු ඔහු ගේ අත් පාවලට නැවත පණ එන්නේ ය. ඔහු ගේ උගුර කට නැවත තෙත් වන්නේ ය. එසේ වන්නේ ආහාරය නිසා අලුත් රූප කොටසක් ඔහු ගේ ශරීරයේ පැතිර පහළ වීමෙනි.

ආහාරයෙන් නිපන් ඒ ආගන්තුක රූපයෝ ද ජරාවෙන් තොර වූවාහු නො වෙති. ජරාව ඒවා සමග ඇති වී ඒවා වියළවන්නට දවන්නට දුබල කරන්නට පටන් ගන්නේ ය. ඒ හේතුවෙන් පැය ගණනක් තුළ දී හිසෙහි පහළ වූ ආහාරජ රූප පරම්පරාවෝ හිසෙහි ම සිඳී යෙති. කඳෙහි පැවති රූප පරම්පරාවෝ කඳෙහිම සිඳී යෙති. අත්පාවල පැවති රූප පරම්පරාවෝ අත්පාවලම සිඳී යෙති. පැය ගණනකින් පසු සත්ත්වයා නැවතත් දුබල බවට පත් වන්නේ එහෙයිනි. මෙසේ පහළ වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවන් ගේ දිරීම සන්තතිජරාව ය. ඒවායේ සිඳී යාම සන්තතිමරණය යි. ශීතය උෂ්ණය ධාතු කෝපය නානාප්‍ර‍කාර සිතිවිලිය යන ආදියෙන් සත්ත්වසන්තානයෙහි මෙසේ නොයෙක් විට නානාවිධ රූපසන්තතීහු පහළ වී දිරා සිඳී යෙති. ඒ සියල්ලේ ම දිරීම සන්තතිජරාව ය. සිඳීම සන්තති මරණය ය.

සත්ත්වසන්තානයෙහි සමහර අවස්ථාවල දී යම් කිසි ඉෂ්ටාරම්මණයක ප්‍ර‍තිලාභයෙන් ප්‍රීති සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ශෝක සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී භයසහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ක්‍රෝධසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ඊර්‍ෂ්‍යාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ලෝභසහගත සිතිවිලි පරම්පරාවෝ ද, කරුණාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, මෛත්‍රීසහගත සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. තවත් නොයෙක් ආකාර සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. මම මෙතෙක් කල් ප්‍රීතියෙන් විසුවෙමි යි කියනුයේ ප්‍රීති සහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් ශෝකයෙන් සිටියෙමි ය යි කියනුයේ ශෝකසහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් බියෙන් සිටියෙමි ය, කෝපයෙන් සිටියෙමි ය යනාදිය කියනුයේ ද ඒ ඒ සිත් පරම්පරාවල පැවති කාලය ගැන ය.

ප්‍රීතිසහගත චිත්තපරම්පරාවක් ඇති වන්නට පටන් ගත් කල්හි පටන් ගැන්මේ සිට ම එය ජරාවෙන් දුබල කරන්නට වන්නේ ය. එයින් කල් යත් යත් ප්‍රීතිය මඳ වෙවී ගොස් අන්තිමට සම්පූර්ණයෙන් ම සිඳී යන්නේ ය. පළමුවෙන් ඉතා මිහිරි බවක් දැනෙන ලෙසට ඉතා බලවත් ලෙසට පටන් ගත් ප්‍රීතිය කෙමෙන් හීන වනුයේ මඳ වූවා සේ දැනෙනුයේ දිරීමෙන් එය දුබල වන බැවිනි. එසේ කෙමෙන් ජරාවෙන් දුබල වී ගොස් අන්තිමට ඒ ප්‍රීතිය සර්වාකාරයෙන් නැති වන්නේ ය. පටන්ගත් ප්‍රීතිය කෙමෙන් දුබලවීම සන්තතිජරාව ය. අන්තිමේ දී සර්වාකාර යෙන් ප්‍රීතිය සිඳී යාම සන්තති මරණය ය.

යම් කිසි කරුණක් නිසා උග්‍ර‍ කෝපයක් පහළ වූ කල්හි ජරාව එය දුබල කරන්නට පටන් ගනී. තරමක් කාලය ගත වූ පසු කෝපය මඳ වූවා සේ දැනෙනුයේ ඒ දුබල වීම නිසා ය. කෙමෙන් දුබල වී ගොස් අන්තිමේ දී කෝපය නැති වී යයි. එකල්හි කෝපය සන්සිඳුණේ යයි කියනු ලැබේ. කෝපය සන්සිඳීමය යි කියනුයේ ක්‍රෝධ සහගත සිත් පරම්පරාවේ සන්තති මරණයට ය. කෙමෙන් සන්සිඳීම නම් සන්තති ජරාවය. මෙසේ චිත්ත පරම්පරාවන් ගේ සන්තති ජරා මර දෙක සලකා ගත යුතු ය.

එක් නාමරූප ධර්මයකට ඇත්තා වූ ජීවන කාලය හෙවත් පවත්නා කාලය ඉතා කෙටි කාලයකි. ඒ කාලය උත්පාදය - ස්ථිතිය - භඞ්ගය යි තුනට බෙදනු ලැබේ. ඒ තුන් කාලයෙන් එක් එක් කාලයක් ඇසි පිය හෙලන කාලයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් දිග නැත. පෙර නො තුබුණා වූ යම්කිසි නාම රූප ධර්මයක පැන නැඟීම, මතු වීම, පහළ වීම එක්තරා වේගයකි. උත්පාදය යි කියනුයේ ඒ වේගයට ය. ඒ වේගයට ජරාවට පැමිණීමෙන් සිටී. නවතී. වේගය නැවතී පවත්නා අවස්ථාවට ස්ථිතිය යි කියනු ලැබේ. ඉපදීමේ වේගය සන්සිඳෙනු සමඟ ම එය බිඳ වැටේ. එයට භඞ්ගය යි කියනු ලැබේ.

ඉපදීමේ වේගය නවත්වා උපන් ධර්මය බිඳ වැටීමට යොමු කර දෙන්නා වූ සංස්කාරයන් ගේ මේරීම පැසීම වූ ස්ථිතිය ක්‍ෂණික ජරාව ය. එය නිසා වන්නා වූ සංස්කාරයන්ගේ බිඳ වැටීම අතුරුදහන් වීම ක්‍ෂණික මරණය යි. ක්ෂණික ජරා මරණ දෙක අභිධර්මය උගත හොත් හොඳින් වැටහෙනු ඇත. ..."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll