920. නිවන් දොරටු මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. විමුත්තායතන / විමුක්තායතන මොනවා ද?

A. [Also ,See the pic Below/Right at the Bottom.]

1. නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීම.

2. නිවැරදි ධර්මය දේශනා කිරීම.

3. නිවැරදි ධර්මය සජ්ඣායනා කිරීම.

4. නිවැරදි ධර්මය විමසීම — යෝනිසෝමනසිකාරය / විදර්ශනා භාවනාව.

5. සමථ භාවනාව — සමථ භාවනාවෙන් විදර්ශනාවට පිවිසීම.

"පඤ්ච විමුත්තායතනානීති යනු 1. තමාගේ හිතසුව සඳහා අනුන් විසින් පවත්වන දම්දෙසීම් ශ්‍රවණය කිරීම, 2. අනුන්ගේ හිතසුව සඳහා තමා විසින් ඇසූ ධර්මය දේශනා කිරීම, 3. ඇසූ ධර්මය ඒ අනුව සජ්ඣායනා කිරීම (කීම), 4. ඇසූ ධර්මය සිතින් නැවත නැවත කල්පනා කිරීම. 4. කසිණ අසුභාදි සුදුසු අරමුණු ගැනීම, මේ කරුණු පස සසරින් මිදීමට හේතුවෙයි. ධර්මය දැනගත්තේද වේ. දෙසූ පරිදි,


පඤ‍්ච විමුත‍්තායතනානීති අත‍්තනො හිතත්‍ථාය 1. පරෙහි පවත‍්තිතධම‍්මදෙසනාසවනං, 2. පරෙසං හිතත්‍ථාය අත‍්තනො යථාසුතධම‍්මදෙසනා, 3. යථාසුතස‍්ස ධම‍්මස‍්ස සජ‍්ඣායකරණං, 4. යථාසුතස‍්ස ධම‍්මස‍්ස චෙතසා අනුවිතක‍්කනං, 5. කසිණාසුභාදීසු අනුකූලං ආරම‍්මණන‍්ති, ඉමානි පඤ‍්ච විමුච‍්චනකාරණානි. යථාහ –"

# "(1) මහණෙනි, මෙ සස්නෙහි මහණක්හට ශාස්තෘ වේ ව යි අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේ ව යි චතුස්සත්‍යධර්‍මය දෙශනා කෙරේ නම්, හේ ඒ ඒ පරිදි එ දහම්හි පෙළ අරුත් පිළිවිදුනේ ද වෙයි. පෙළදම් පිළිවිදුනේ ද වෙයි. අර්ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමොදය (තරුණප්‍රීතිය) උපදනේ ය. ප්‍රමුදිතයා හට බලවත් ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිත් ඇත්තහුගේ නාමකය සින්හිඳෙයි. සන්හුන් කය අතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත (අර්‍හත් ඵල සමාධියෙහි) සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්ත වූ, කෙලෙස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ චිත්තය හෝ විමුක්ත නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමයට (අර්‍හත්ත්‍වයට) අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ ප්‍රථම විමුක්තායතන යි.

(2) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ ධර්‍මය නො ම දෙසන්නේය. එතෙකුදු වුව ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසන්නේ ය. මහණෙනි, යම් යම් පරිද්දෙකින් ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසා නම්, ඒ ඒ පරිදි හෙ ඒ ධර්‍මයෙහි අර්ත්‍ථය පිළිවිදුනේ ද, ධර්‍මය පිළිවිදුනේ ද වෙයි. අර්ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමොදය උපදනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිතැතියාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි.

මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව වැර ඇතිව ප්‍රහිතාත්ම ව වාසය කරණ භික්‍ෂුහුගේ අවිමුක්ත හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තර යොගක්‍ෂෙමය අනුප්‍රාප්ත වේ නම්, මේ එ ද්විතිය විමුක්තායතන යි.

(3) තවද මහණෙනි, මහණකුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ දහම් නො ම දෙසන්නේ ය. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් පරහට නො ද දෙසන්නේ ය. වැලිදු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. මහණෙනි, යම් යම් පරිදි මහණකු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරේ නම්, එ එ පරිදි හේ එ දහම්හි අරුත් පිළිවිදුනේත් දහම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා දහම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේ ය. ප්‍රමුදිතයා හට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව ලබන්නේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව අතාපී ව ප්‍රහිතාත්ම ව වෙසෙන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදෙ නම්, අපරීක්‍ෂණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ තෘතීය විමුක්තායතනය යි.

(4) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.

(5) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ වේවයි; අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේවයි, ධර්‍මය නො ම දෙසන්නේය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් සජ්ඣායනා නො ද කරන්නේය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්තව ධර්‍මය සිතින් නො ද අනුවිතර්‍කන කරන්නේය. අනුවිචරණය නො කරන්නේය. සිතින් අනුප්‍රෙක්‍ෂා නො කරන්නේය. එතෙකුදු වුව, ඔහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් (කමටහනක්) මොනොවට උගන්නා ලද්දේ වෙයි. මොනොවට මෙනෙහි කරණ ලද වෙයි. මොනොවට උපධාරිත වෙයි. ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද වෙයි.

මහණෙනි, යම් යම් පරිදි භික්‍ෂූහු විසින් අන්‍යතර සමාධිනිමිත්තක් සුගෘහීත ද, මැනැවින් මෙනෙහි කරණ ලද ද, මැනැවින් උපධාරිත ද ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ ද වේ නම්, හෙ ඒ ඒ පරිදි ඒ ධර්‍මයෙහි අර්ත්‍ථප්‍රතිසංවෙදී හා ධර්‍මප්‍රතිසංවෙදී හා වෙයි. අර්ත්‍ථසංප්‍රතිවෙදී වූ ධර්‍මප්‍රතිසංවෙදී වූ ඔහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්සුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පස්වන විමුක්තායතනයි.

මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරීක්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමය අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පඤ්චවිමුක්තායතනයි."




"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll