161. හීන සැබෑ වෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රෑට නින්දෙන් පෙනෙන හීන / ස්වප්න හැබෑ වෙනවා ද?

සමහරුනට තමාට සිතෙන දේ හෝ රෑ නින්දෙන් පේන දේ හා සමාන දේ පසු දිනයේ සිදුවේ.

1) ඊට හේතු දහමට අනුව සරලව කියන්න... තිබෙන තැන් පෙන්වන්න...
2) ඒ සදහා පෙර පිං හේතු වේ නම් ඊට අදාල පිං කම් කුමක් විය හැකි ද?

[https://dhamma.lk.ingreesi.com/2019/08/448.html]

A / R. "මහාස්වප්න ප්‍ර‍ශ්නය | මහා ස්වප්න ප්‍ර‍ශ්නය.
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකයෙහි ස්ත්‍රීපුරුෂයෝ යහපත් වූ ද, පවිටු වූ ද, පෙර දුටුවා වූ ද, නුදුටුවාවූ ද, පෙර කළා වූ ද, පෙර නො කළා වූ ද, සැප ඇත්තා වූ ද, භය සහිත වූ ද, ස්වප්න දකිති. ඉතා දුරස්ථයෙහි ද, සමීපස්ථයෙහි ද, බහුප්‍ර‍කාර වූ ද නොයෙක් සියදහස්ගණන් වර්ණ ඇති ස්වප්න දකිති. මේ ස්වප්න නම් කිමෙක් ද, මේ ස්වප්න කවරෙක් දකී ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, සිතට යමක් අරමුණු ව පැමිණේ ද, මේ සුපිනය නම් ඒ නිමිත්තමාත්‍රයෙක.

“ඡයිමෙ මහාරාජ සුපිනං පස්සන්ති. වාතිකො සුපිනං පස්සති. පිත්තිකො සුපිනං පස්සති. සෙම්හිකො සුපිනං පස්සති. දෙවතූපසංහාරතො සුපිනං පස්සති. සමුදාචිණ්ණ තො සුපිනං පස්සති. පුබ්බනිමිත්තතො සුපිනං පස්සති. තත්‍ර‍ මහාරාජ යං පුබ්බනිම්තතතො සුපිනං පස්සති. තං යෙව සච්චං. අවසෙසං මිච්ඡාති” යි.

මහරජානෙනි, වාත කිපුනා වූ පුද්ගලතෙම අහස්ගමනාදි ස්වප්න දක්නේ ය. පිත්ත කිපුනා වූ පුද්ගලතෙම අග්නිදාහාදි ස්වප්න දක්නේ ය. සෙම් කිපුනා වූ පුද්ගලතෙම ජලක්‍රීඩාදි ස්වප්න දක්නේ ය. අර්ථානර්ථ සාධනු කැමැත්තා වූ දෙවතාවන් විසින් කල්‍යාණ නපුරු දැක්වීමෙන් ස්වප්න දක්නේ ය. පෙර පුරුදු කථාසල්ලාප ක්‍රියාදි විසින් ස්වප්න දක්නේ ය, තමහට මතු වන වැඩ අවැඩ පිණිස පූර්වනිමිති වශයෙන් ස්වප්න දක්නේ ය. මහරජානෙනි, මොහු සදෙන ම ස්වප්න දක්නාහු ය. මහරජානෙනි, ඒ සවැදෑරුම් වූ කාරණයෙහි පූර්වනිමිති වශයෙන් යම් ස්වප්නයක් දක්නේ වී නම්, ඒ ස්වප්නය ම සත්‍ය වන්නේ ය. සෙස්ස බොරු වන්නේ යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් පූර්වනිමිති වශයෙන් ස්වප්න දක්නේ ය. කිමෙක් ද, ඔහුගේ චිත්තය තෙමේ ම ගොස් ඒ නිමිත්ත සොයන්නේ ද? ඒ නිමිතිලක්ෂණ හෝ සිතට හමු ව පැමිණේ ද? නොහොත් අනිකෙක් හෝ අවුත් ඕහට කියා දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ඔහුගේ චිත්තය තෙමේ ම ගොස් ඒ නිමිතිලක්ෂණය නො සොයන්නේ ය. අනික් කිසිවෙක් හෝ අවුත් ඕහට නො ම කියන්නේ ය. හුදෙක් ඒ නිමිතිලක්ෂණය ම (377) චිත්තයට ආපාථගත වන්නේ ය. මහරජානෙනි, යම් සේ ආදාසය තෙමේ ම කිසි තැනකට ගොස් ඡායාව නො ම සොයන්නේ ය. අනික් කිසිවෙක් හෝ ඡායාව ගෙණවුත් ආදාසයට නො ම නගන්නේ ය. හුදෙක් යම්කිසි තැනෙකින් ඡායාව අවුත් ආදාසයට ආපාථගත වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ඔහුගේ චිත්තය තෙමේ ම ගොස් ඒ නිමිතිලක්ෂණය නො ම සොයන්නේ ය. අනික් කිසිවෙක් හෝ අවුත් නො ම කියන්නේ ය. හුදෙක් යම්කිසි තැනෙකින් ඒ නිමිතිලක්ෂණය ම අවුත් සිතට ආපාථගත වන්නේ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, චිත්තය යම් ඒ ස්වප්නයක් දක්නේ ද, කිමෙක් ද, සැපතක් හෝ භයක් හෝ මේ නම් විපාකයෙක් වන්නේ යැ’ යි කියා ඒ චිත්තය දනී දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ‘සැපතක් හෝ භයක් හෝ මෙබඳු වූ විපාකයෙක් වන්නේ ය’ යි කියා ඒ චිත්තය නො ම දන්නේ ය. යම් කෙනෙකුන්ට එබඳු වූ ස්වප්නලක්ෂණයෙක් උපන්නේ වී නම්, එකල්හි ඒ තෙම අනික් ජනයන්ට කියන්නේ ය. එකල ඒ විබුධජනයෝ අර්ථ කථනය කෙරෙති” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, එබැවින් මට කාරණයක් දක්වා වදාළ මැනැව” යි කීහ. “මහරජානෙනි, යම් සේ තමහට වන්නා වූ ලාභයක් පිණිස හෝ අලාභයක් පිණිස හෝ යශසක් පිණිස හෝ අයසක් පිණිස හෝ නින්දාවක් පිණිස හෝ ප්‍ර‍ශංසාවක් පිණිස හෝ සැපතක් පිණිස හෝ දුකක් පිණිස හෝ ශරීරයෙහි තලකැලල් ඉනිගැට දදහු නගින්නාහු ය. කිමෙක් ද? මහරජානෙනි, ඒ තලකැලැල් දදහු ‘මෙබඳු වූ වැඩ අවැඩ වන්නේ ය’ යි කියා දැන උපදනාහු ද? ‘අපි මෙ නම් අර්ථයක් සාධා ලම්හ’ යි කියා උපදනාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, අවකාශ තෙනෙක තලකැලැල් ද හිනිගැට දදහු හට ගන්නාහු ය. එහි ඒ පිළිකාදිය දැක නෛමිත්තකජනයෝ මෙ නම් විපාකයෙක් වන්නේ යැ යි කියා ප්‍ර‍කාශ කොට කියන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම චිත්තය යම් ඒ ස්වප්නයක් දක්නේ ද, ඒ චිත්තය සැපතක් හෝ භයක් හෝ මෙ නම් විපාකයක් වන්නෙ ්යැ යි කියා නො දන්නේ ය. යම් කිසිවක්හට යථොක්ත වූ නිමිතිලක්ෂණයක් උපන් කල්හි එතෙම අනුන්ට කියන්නේ ය. එයින් ඒ ජනයෝ අර්ථානර්ථ කියන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යමෙක් ස්වප්න දක්නේ වී නම්, මේ තෙම නිදිමත වෙමින් දක්නේ ද? නො හොත් නිදිවර්ජිත වෙමින් දක්නේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, යම් පුරුෂයෙක් ස්වප්න දක්නේ ද? ඒ පුරුෂතෙම නිදිමත වෙමින් නො දක්නේ ය. නිදිවර්ජිත වෙමිනුත් නො දක්නේ ය. කපිනිද්‍රාවට පැමිණි කල්හි චිත්තය භවාංගයට අසම්ප්‍රාප්ත කල්හි මේ අතුරෙහි ස්වප්න පෙනෙන්නේ ය. මහරජානෙනි, නිද්‍රාවට පැමිණියාහුගේ චිත්තය කැදැල්ලට වන් පක්ෂියකු මෙන් භවාංගගත වන්නේ ය. හෘදයවස්තුව නිසා පවත්නාවූ ඒ භවාංගගත චිත්තය කිසිවක නො පවත්නේ ය. ඒ කිසිවක නො පවත්නා චිත්තය කිසි සැප දුකක් නො ම දන්නේ ය. සුවදුක් විභාග නො දන්නා චිත්තයට ස්වප්න අරමුණෙක් නො වන්නේ ය. සුවදුක් ආදියෙහි චිත්තය පවත්නා කල්හි ම ස්වප්න පෙණෙන්නේ ය. මහරජානෙනි, යම් සේ (378) කිසි ආලොකයක් නැත්තා වූ ඝනතරතිමිරාන්ධකාරයෙහි ඉතා පිරිසිදු වූ ආදාසයෙහි ද ඡායාව නො පෙණෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිද්‍රාවට පැමිණි කල්හි චිත්තය භවාංගගත ව සිටි කල්හි දු චම්මිකාභ්‍යන්තරගත සර්පයකු මෙන් චිත්තය ශරීරාභ්‍යන්තරයෙහි ම වන්නේ ය. අරමුණු සැලකීම් වශයෙන් චිත්තය නො පවත්නා කල්හි ස්වප්න නො පෙණෙන්නේ ය. මහරජානෙනි, ආදාසය යම් සේ ද, එපරිද්දෙන් ම ශරීරය දත යුත්තේ ය. අන්ධකාරය යම් සේ ද, එපරිද්දෙන් ම නිද්‍රාව දත යුත්තේ ය. ඡායාව යම් සේ ද, එමෙන් චිත්තය දත යුත්තේ ය. තවද මහරජානෙනි, යම් සේ මීදුමින් වැසෙන ලද්දා වූ සූර්යදිව්‍යරාජයාගේ ප්‍ර‍භාව නො පෙණෙන්නේ ය. ඇත්තා ම වූ ඒ සූර්යරශ්මිය නො පවත්නේ ය. සූර්යරශ්මිය නො පවත්නා කල්හි ආලොකය නො පවත්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිද්‍රාවට පැමිණියහුගේ චිත්තය භවාංගගත වන්නේ ය. භවාංගගත වූ චිත්තය සුවදුක් අරමුණෙක නො පවත්නේ ය. චිත්තය නො පවත්නා කල්හි ස්වප්න නො පෙනෙන්නේ ය. මහරජානෙනි, සූර්යමණ්ඩලය යම් සේ ද, එමෙන් ශරීරය දත යුත්තේ ය. මීදුමින් වැසි යාම යම් සේ ද, එමෙන් නිද්‍රාව දත යුත්තේ ය. සූර්යරශ්මිය යම් සේ ද, එමෙන් සිත දත යුත්තේ ය. මහරජානෙනි, දෙදෙනෙකුන්ගේ විද්‍යමාන වූ ද ශරීරයෙහි චිත්තය නො පවත්නේ ය. නිද්‍රොපගත වූ භවාංගගතයාගේ විද්‍යමාන වූ ශරීරයෙහි ද, චිත්තය නො පවත්නා ලද වන්නේ ය. නිරොධසමාපත්තියට පැමිණියා වූ රහතන් වහන්සේගේ ශරීරය විද්‍යමාන වූ කල්හි ද, චිත්තය අප්‍ර‍වෘත්ත වන ලද වන්නේ ය. මහරජානෙනි, නිදිවර්ජිතයාගේ චිත්තය ලොල් වන්නේ ය, විවෘත වන්නේ ය, ප්‍ර‍කට වන්නේ ය, නිබඳ එක අරමුණෙක නො සිටින්නේ ය. මෙබඳු වූ සත්වයාගේ චිත්තයෙහි ස්වප්නලක්ෂණයක් ආපාථයට නො එළඹෙන්නේ ය. මහරජානෙනි, යම් සේ රහස් කියන්ට නුසුදුසු වූ විශ්වාස නො කට යුතු වූ ප්‍ර‍කට වන ක්‍රියා ඇත්තා වූ විවෘත කරණ ලද රහස්ක්‍රියා ඇති පුරුෂයා රහස් කැමැත්තා වූ පුරුෂයෝ දුරු කරන්නාහු ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිදිවර්ජිත වූවහුට ප්‍ර‍කෘතිමනුෂ්‍ය විෂය නො වන්නා වූ දිව්‍යමය වූ කාරණය අරමුණු නො වන්නේ ය. එහෙයින් නිදිවර්ජිත වූ පුද්ගලතෙම ස්වප්න නො දක්නේ ය. තවද, මහරජානෙනි, යම් සේ බිඳුනා වූ ආජීවමර්යාදා ඇත්තා වූ ආචාරශීල විරහිත වූ පාපමිත්‍ර‍යන් ඇත්තා වු දුශ්ශීල වූ කුසිත වූ පසුබට වීර්ය ඇත්තා වූ භික්ෂූහු කරා සත්තිස්බොධිපාක්ෂික වූ කුශලධර්මයෝ අරමුණට නො පැමිණෙද්දා, මහරජානෙනි, එපරිද්දෙන් ම නිදි වර්ජිත වූවාහට දිව්‍ය වූ කාරණය අරමුණට නො පැමිණෙන්නේ ය. එහෙයින් නිදිවර්ජිත වූ පුද්ගලතෙම ස්වප්න නො දක්නේ ය” යි වදාළසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ‘මිද්ධ’ ය යි කියන ලද නිද්‍රාවගේ ආදියෙක් ඇද්ද, මධ්‍යයෙක් ඇද්ද, අවසානයෙක් ඇද්ද?” යි විචාළෝ ය. එසේ ය, මහරජානෙනි, මිද්ධයාගේ ආදියත් ඇත, මධ්‍යයත් ඇත, අවසානයත් ඇතැ” යි වදාළසේක. “ස්වාමීනි, ඒ ආදිය කවරේ ද? මධ්‍යය කවරේ ද? අවසානය (379) කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, ආකාශය වැසී යන මෙඝපටලය මෙන් ශරීරයෙහි බැඳෙන්නා වූ යම් ඔනාහයෙක් ඇද්ද, හාත්පසින් ශරීරයාගේ බැඳීයාමෙක් ඇද්ද, දුර්වලබවෙක් ඇද්ද, ශක්ති මඳ බවෙක් ඇද්ද, ශරීරයාගේ අකර්මණ්‍යතාවෙක් ඇද්ද, මේ මිද්ධයාගේ ආදිය නම් වන්නේ ය. මහරජානෙනි, යමෙක් කපිනිද්‍රාවෙන් යුක්ත වූයේ සර්වොපහාරචිත්තය ඉක්මුනා වූ භවාංගචිත්තයට නො පැමිණියා වූ විකීර්ණකචිත්තයෙන් නිද්‍රාක්ෂය කෙරේ ද, මේ මිද්ධයාගේ මධ්‍යය නම් වන්නේ ය. චිත්තය භවාංගගත වීම මිද්ධයාගේ පරියොසානය නම් වන්නේ ය. මහරජානෙනි, නිද්‍රාචිත්තමධ්‍යගත වූ කපිනිද්‍රාවෙන් යුක්ත වූ පුරුෂතෙම ස්වප්න දකින්නේ ය. මහරජානෙනි, යම් සේ සතරසම්‍යක්ප්‍ර‍ධානවීර්යයෙන් යුක්ත වූ ප්‍ර‍ථම ධ්‍යානයෙන් සංහිඳුනා වූ සිත් ඇති වාචොද්ගත ව ස්ථිර ව සිටියා වූ පර්යාප්තිධර්මයන් ඇති ස්ථිර වූ ප්‍ර‍ඥාව ඇති ප්‍ර‍හීණ වූ අනාර්යකථා සල්ලාප ශබ්ද ඇති කිසි ශ්‍රාවකයෙක්තෙම විවෙක රමණීය වූ වනයට වැද එකචාරිකෙශරසිංහරාජයකු සේ හැසිරෙමින් සුඛම වු අර්ථ චින්තනය කරන්නේ ය. ඒ ආර්යශ්‍රාවකතෙම ඒ වනයෙහි නිද්‍රාවට නො පැමිණෙන්නේ ය. සංහිඳුනා වූ එක්සිත් ඇත්තා වූ ඒ ආර්යශ්‍රාවකතෙම ඒ වනයෙහි හිඳ සියුම් වූ අර්ථය ප්‍ර‍තිවෙධය කරන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම නිදිවර්ජිත වූ නිද්‍රාවට නො පැමිණියා වූ මඳ මඳ නිද්‍රාවට පැමිණියා වූ කපිනිද්‍රාවෙන් යුක්ත වූ පුද්ගලතෙම ස්වප්න දක්නේ ය. මහරජානෙනි, අනාර්ය වූ කොතුහල ශබ්දය යම් සේ ද, එමෙන් ම නිදි වැළකීම දත යුත්තේ ය. විවෙක රම්‍ය වූ විචිත්‍ර‍වනය යම් සේ ද, එමෙන් කපිනිද්‍රායෙන් යුක්ත වූ පුද්ගලතෙම දත යුත්තේ ය. ඒ ආර්යශ්‍රාවකතෙම අනාර්ය ජන කථාසල්ලාපශබ්ද හැර මිද්ධය විවර්ජිත කොට මධ්‍යස්ථ වූයේ සියුම් වූ අර්ථයෙන් යුක්ත වූ අර්හත්ඵලය යම් සේ ප්‍ර‍තිවෙධය කෙරේ ද, එමෙන් නිදි වැළකීමෙන් යුක්ත වූ අධිකනිද්‍රාවට නො පැමිණියා වූ කපිනිද්‍රාවට පැමිණියා වූ කපිනිද්‍රාවෙන් යුක්ත වූ පුරුෂතෙම ස්වප්න දක්නේ ය. එසේ දක්නා වූ ස්වප්න ද පූර්වනිමිති වශයෙන් කොසලනරෙන්ද්‍රාදීන් විසින් දුටු සොළොස් ස්වප්නාදිය සෙයින් සත්‍යය” යි වදාළසේක. “යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මෙසේ මේ ප්‍ර‍ශ්නයත් එසේ ම පිළිගන්නෙමි” යි ස්තොත්‍ර‍ කළහ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

↓ ඕනෑම බැංකුවකින් ඔන්ලයින් ගනුදෙනු ↓

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll