671. මහ බබා (මහ බඹා) සදාකාලික ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගුණ පුරන උතුමන් මෙන්ම මාර්ග ඵලලාභී උතුමන් පවා වැඩසිටින මනුස්ස ලෝකය මෘග සංඥාව පහල වන තෙක් පිරිහේ. එමෙන් දිව්‍ය ලෝකද කාලානුරූපීව පිරිහෙන බව බුදුරජාණන්වහන්සේගේ දේශනාවන්හි සදහන් වේද?

A. “මහණෙනි, යම් කලෙක (උත්පත්ති) දෙවි තෙමේ දිව්‍ය සමූහයෙන් හෝ දෙව්ලොවින් චුතවන ස්වභාවය ඇත්තේ වේද, (එකල්හි) ඔහුට පෙරනිමිති පසෙක් පහළවෙත්. පළඳනා ලද මල් මලානික වෙත්. හඳනා පොරොවනලද වස්ත්‍ර කිලිටිවෙත්. කිසිලිවලින් මඩදිය දහරා වැගිරෙති. කයෙහි දුර්වර්ණභාවය පිහිටයි. ස්වකීය (තමාගේ) දිව්‍යාසනයෙහි නොඇලෙයි. ….
“යම් කලෙක්හි දෙවිතෙමේ ආයු ගෙවීමෙන් මැරේද (එකල්හි) සතුටු උපදවන්නාවූ දෙවියන්ගේ තුන් හඬක් පැතිරෙත්. ….
“යම්කලෙක්හි දෙවියෝ චුතවන දෙවියෙකු දැනගන්නාහුද (එකල්හි) මේ අනුකම්පාවෙන් (එම්බා) දෙවිය නැවත නැවත (මෙහි) එවයි’ සතුටු උපදවත් යයි”
https://pitaka.lk/main?n=401239
{https://pitaka.lk/main?n=46287
https://pitaka.lk/main?n=46427}

“මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්‍රහ්ම තෙම එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්‍රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත.
“ලෝකය නැසෙන කල්හි ආභසස්ර දෙවියෝ අග්‍රයයි කියනු ලැබෙත්. මහණෙනි, ආභස්සර දෙවියන්ගේද වෙනස්වීමක් ඇත. මරණයක් ඇත.”
“මහණෙනි, මෙසේ සංඥා ඇත්තාවූ බොහෝ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන්ට වෙනස්වීමක් ඇත. අනිත්‍යයක් ඇත.”
https://pitaka.lk/main?n=35129

“චාතුර්මහාරාජිකයේ ආයුෂය දිව්‍ය ගණනින් වර්ෂ (500) පන්සියයෙකි. මනුෂ්‍යලෝකයේ අවුරුදු පනසක් චාතුර්මහාරාජිකයේ එක් දිනයෙකි. එබඳු දින තිසක් එහි මාසයකි. එබඳු මාස දොළොසක් වර්ෂයෙකි. එහි අවුරුදු පන්සියය ඒ අවුරුදුවලිනි. ඒ අවුරුදු පන්සියය මිනිස් ගණනින් අවුරුදු (90,00000) අනූ ලක්ෂයෙකි.
තාවතිංසයේ ආයුෂය චාතුර්මහාරාජිකයෙහි මෙන් සතර ගුණයෙකි. මෙසේ පරනිර්මිතවශවර්ති දිව්‍යලෝකය දක්වා දිව්‍යලෝක ආයුෂය එකිනෙක සතර ගුණය බැගින් වන්නේ ය. …”
https://pitaka.lk/books/abhidharma-margaya/6-3.html

“අන්තඃ කල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්ප ය” යි කල්ප තුනෙකි. මිනිසුන් ගේ ආයුෂය ක්‍ර‍මයෙන් පිරිහී ගොස් දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ කාලයේදී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැති වීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වේ. ඉතා ටික දෙනකු පමණක් ඉතිරි වේ. ඉන් පසු මිනිසුන් සුචරිතයෙහි හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මඳින් මඳ ඔවුන් ගේ ආයුෂය වැඩෙන්නට පටන් ගනී. ඒ වැඩීම වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩේ. ඉන් පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනිති. ක්‍ර‍මයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට එළඹේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ.
මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන් ගෙන අසඞ්ඛ්‍යය දක්වා වැඩී, නැවත දශ වර්ෂය පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලයට අන්තඃකල්පය යි කියනු ලැබේ.
“සංවර්තය-සංවර්තස්ථායි-විවර්තය-විවර්තස්ථායි” යයි අසඞ්ඛ්‍ය කල්ප සතරෙකි.
ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළොව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍ර‍හ්ම ලෝකත් සමග විනාශ වෙයි. ලෝකය වරක් විනාශ වී යෑමටත් ඉතා දීර්ඝ කාලයක් ගත වේ. ලෝකය නැසෙමින් පවත්නා කාලය සංවර්ත කල්ප නම් වේ. ලෝකය විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගත වූ කාලය තරම් කාලයක් සිස් ව පවතී. ඒ කාලය සංවර්තස්ථායී කල්ප නම් වේ. නැවත ලෝකය මඳින් මඳ හැදෙන්නට පටන් ගනී. ලෝකය හැදී සම්පූර්ණ වීමට ගත වන කාලය විවර්ත කල්ප නම් වේ. ලෝකය සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීම දක්වා පවත්නා කාලය විවර්තස්තායි නම් වේ. මේ අසඞ්ඛ්‍ය කල්ප සතර එක් මහා කල්පයෙකි. අසඞ්ඛ්‍ය කල්පයක ප්‍ර‍මාණය, අන්තඃ කල්ප විස්සකි. මහා කල්පයේ ප්‍ර‍මාණය අන්තඃ කල්ප අසූවකි.
පිළිවෙළින් සත් වරක් ගින්නෙන් ලෝකය නැසේ. අටවන වාරයේ ජලයෙන් නැසේ. මෙසේ නැසෙන ලෝකය සූ සැට වන වාරයේ දී වායුවෙන් නැසේ. ගින්නෙන් ලෝකය විනාශ වන කල්හි ආභස්සරයෙන් යට සියල්ල නැසේ. ජලයෙන් විනාශ වන කල්හි සුභකිණ්හයෙන් යට ද, වාතයෙන් විනාශ වන කල්හි වේහප්ඵලයෙන් යට ද සියල්ල විනාශ වේ.”
https://pitaka.lk/books/abhidharma-margaya/6-4.html

“දෙවියන්ගේ ස්කන්ධ පඤ්චකය රූපාවචර ධ්‍යාන කුශලයට වඩා බොහෝ සෙයින් හීන වූ, දුර්‍වල වූ කාමාවචර කුශලයකින් උපදවන ලද්දක් බැවින් බ්‍ර‍හ්ම ස්කන්ධ පඤ්චකය පවත්නා කාලයට වඩා ඉතා කෙටි කාලයක් පවත්නේය. කුශල ශක්තිය අවසාන වූ කල්හි බිඳී යාම දිව්‍යස්කන්ධ පඤ්චකයාගේ විපරිණාම ස්වභාවය යි. රුපියලක් දෙකක් වටිනා සුළු දෙයක් නැති වීම පවා දුකක් කණගාටුවක් වන කල්හි වටිනාකම පමණ කළ නො හෙන දිව්‍යාත්මභාවය විනාශ වී යන කල කෙසේ නම් ඉවසිය හැකි දුකක් වන්නේ ද? දිව්‍ය ස්කන්ධයාගේ ඒ විනාශය, එය උතුම් කොට ගෙන එහි ඇලී වාසය කරන්නා වූ දෙවියාට ඉවසිය නො හෙන දුකකි. මරණය ළං වූ කල්හි දෙවියන්ට ඒ බව දත හැකි වන පෙර නිමිති පහළ වෙයි. දෙවියේ ඒ පෙර නිමිති වලින් මරණය ළංව තිබෙන බව දැන ගනිති. එසේ දැනගත් කල්හි ඒ දෙවියාගේ සන්තානය ශෝක ගින්නෙන් දැවෙන්නට වන්නේය. ඒ විපරිණාමය නිසා ම දෙවියාට බොහෝ සෙයින් සිදුවන්නේ පහළට වැටීමට ය.
සමහර විටකදී දෙව් සැප විඳිමින් සිටිනා අතර චුත වී ඒ දෙවිවරු ඝෝර දුක් ඇති නරකයට ද වැටෙති. ප්‍රේත තත්ත්වයට ද වැටෙති. බල්ලන්, සිවලුන්, ඌරන්, කපුටන්, කබරයන් බවට ද පත්වෙති. පණුවන්, උකුණන්, මකුණන් බවට ද පත්වෙති. දිව්‍යස්කන්ධ පඤ්චකය නො බිදෙන ස්ථිර දෙයක් වේ නම් දෙවියන්ට මෙ බඳු විපරීත ස්වභාවයකට පත්වන්නට සිදු නොවේ. එසේ සිදුවන්නේ දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම ස්වභාවය නිසා ම ය. මෙසේ විපරීත ස්වභාවයකට පහත් බවට පත් කිරීම දිව්‍යස්කන්ධ පඤ්චකයේ විපරිණාම දුඃඛයෙන් පෙළීම ය. අන්තයෙහි දී මේසා මහත් වූ විපරිණාම දුඃඛයකින් සත්ත්වයා පෙළෙන බැවින් ඒ දිව්‍යස්කන්ධ පඤ්චකය දුකෙකි.”
https://pitaka.lk/books/chathurarya-sathya/9-9.htm


{“ආතාපි සටහන්” ඔබට වඩා නිවරදි අදහසක් සපයනු ඇත.

ඔබ සෑම පිළිතුරක් ම සාවදානව කියවා ද නැත.
“ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළොව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍ර‍හ්ම ලෝකත් සමග විනාශ වෙයි.”

මේ හා සමාන බොහෝ ප්‍රශ්න ද සාකච්ඡා වී ඇත.
https://www.facebook.com/groups/path.nirvana.discussion/permalink/1451737565133670/
https://www.facebook.com/groups/path.nirvana.discussion/permalink/1451754768465283/

{අවශ්‍ය පිළිතුර ගම්‍ය කරගැනීම දක්ෂ වෙන්න - නැතහොත් තව දුරටත් ධර්මය අධ්‍යයනය කරන්න.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll