149. දස කසින යනු මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දස කසින යනු කුමක් ද?

A / R. "කසිණ දශය.

පඨවි කසිණය, ආපෝ කසිණය, තේජෝ කසිණය, වායෝ කසිණය, නීල කසිණය, පීත කසිණය, ලෝහිත කසිණය ඕදාත කසිණය, ආකාස කසිණය, ආලෝක කසිණය කියා කසිණ දශයෙකි.

යෝගාවචරයන් විසින් පිහිටවා ගැනීම සඳහා ගන්නා වූ, මැටියෙන් කළ මණ්ඩලය ‘පඨවි කසිණ, නම් වේ. සෑම කසිණයක් ම කුඩා කොට ගන්නා කල්හි එක් වියත් සතර අඟලක් පමණ විය යුතු ය. මහත් කොට ගන්නා කල්හි කුඩයක් පමණට කමත් පමණට කසිණය ගැන්මට ද වටනේ ය. පඨවි කසිණය සඳහා ගත යුත්තේ තරමකට රතු පස් ය. තද රතු පස හෝ අන් පැහැයක පස හෝ කසිණය තැනීමට නො ගත යුතු ය. බිම ම හෝ ලෑලි ආදි යම් කිසිවක හෝ මැටි ගා එය තනා ගැනීම සුදුසු ය. මැටි හොඳින් අනාගෙන කඩතොලු නැති සැටියට මට්ටමට එය සාදා ගත යුතු ය. පඨවි මණ්ඩලාදියට කසිණ යයි කියනුයේ, භාවනා කිරීමේ දී සැම තැන ම අරමුණු කොට භාවනා කළ යුතු නිසා ය.

මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ‘අපෝ කසිණය’ ය. යම් කිසි අමුතු පැහැයක් ඇති ජලය ආපෝ කසිණයට නො ගත යුතු ය. පාත්‍රාදි වට වූ මුව ඇති බඳුනකට පිරිසිදු ජලය පුරවා ගෙන ආපෝ කසිණ භාවනාව කළ හැකිය.

මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න ‘තේජෝ කසිණය’ ය. හොඳ දරවලින් ගිනි ගොඩක් පිළියෙළ කොට එක් වියත් සතරඟුල් පමණ කවාකාර සිදුරක් ඇති තහඩුවක් ඒ ගින්න සමීපයේ තබා ඒ සිදුරෙන් පෙනෙන ගින්න අරමුණු කොට තේජෝ කසිණ භාවනාව කළ හැකි ය.

වාතය සැපෙන යම් කිසිවක් අනුව තමාගේ සිතින් සලකා ගන්නා සුළං වැටිය ‘වායෝ කසිණය’ ය. වායුව සැපී සෙලවෙනු පෙනෙන යම් කිසිවක් අනුව, තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියට සලකා ගැනීමෙන් හෝ යම් කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයේ සැපෙන වායුව සිහි කිරීමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළ හැකිය.

නිල් පැහැය ඇති මණ්ඩලය ‘නීල කසිණය’ ය. කහ පැහැය ඇති මණ්ඩලය ‘පීත කසිණය’ ය. රතුපැහැය ඇති මණ්ඩලය ‘ලෝහිත කසිණය’ ය. සුදු පැහැය ඇති මණ්ඩලය ‘ඕදාත කසිණය’ ය. ඒ ඒ පැහැය ඇති සායම් යම් කිසිවක ආලේප කොට වර්ණ කසිණ සාදා ගත හැකි ය. පාට කරදාසිවලින් හා රෙදිවලින් ද ඒවා සාදා ගත හැකි ය. එක් වියත් සතරඟලක් පමණට ඝන කරදාසියක සිදුරක් කපා ගෙන තමාට වුවමනා පැහැය ඇති කරදාසියක් එයට යටින් තබා ගැනීම ඉතා පහසුවෙන් වර්ණ කසිණ සාදා ගැනීමේ ක්‍ර‍මය ය.

ආකාස මණ්ඩලය ‘ආකාස කසිණය’ ය. යම් කිසිවක එක් වියත් සතර අඟලකට සිදුරක් සාදා ඒ සිදුර තුළ ආකාශය මෙනෙහි කිරීම් වශයෙන් ආකාස කසිණ භාවනාව කළ හැකි ය.

ආලෝක මණ්ඩලය ‘ආලෝක කසිණය’ ය. බිමට හෝ බිත්ති ආදි යම් කිසි තැනකට හෝ එක් වියත් සතරඟුල් පමණට ආලෝකයක් වැටෙන්නට සාදා ගෙන ඒ ආලෝකය බලාගෙන ආලෝක කසිණ භාවනාව කළ හැකි ය. ටින් එකක සිදුරක් කොට එහි පහනක් දල්වා සිදුරෙන් ආලෝකය යම්කිසි තැනකට වැටෙන්නට සලස්සා ආලෝක කසිණය සාදා ගත හැකි ය. මැටි බඳුනකින් ද එය සාදා ගත හැකිය. විදුලි බලය ඇති තැන්වල ඉතා පහසුවෙන් ආලෝක කසිණය සාදා ගත හැකිය."

කසිණ භාවනාව.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll