716. සත්කාය ද - සක්කාය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සක්කාය දිට්ඨීය පිලිබදව ලියවුනු ග්‍රන්ථ වේද?

(සත්කාය = සක්කාය)

A / R. "මම ය කියා ද නුඹ ය කියා ද දෙවියා මිනිසා ගවයා අශ්වයා ඇතා කියා ද තවත් නොයෙක් නම් වලින් ද ව්‍යවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුඤ්ජයන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ ධර්ම කොටස් පස පමණෙකි. ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නො සමත් ධර්මය නො දත් අන්ධ පෘථග්ජනයෝ ඒවා රූප වේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදි ස්කන්ධ පස මම ය නුඹය මිනිසාය දෙවියා ය කියා වැරදි ලෙස සලකති. ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කායදිට්ඨි නම් වේ. මෙයට ආත්ම දෘෂ්ටිය යි ද කියනු ලැබේ. මේ දෘෂ්ටිය එක් එක් ස්කන්ධයක සතර සතර ආකාරයකින් ඇති වන බැවින් ස්කන්ධපඤ්චකයෙහි ඇති වන සක්කාය දෘෂ්ටිය විසි වැදෑරුම් වේ. රූපස්කන්ධයෙහි සිව් වැදෑරුම් සක්කාය දෘෂ්ටිය මෙසේ ය.

1.  රූපං අත්තතෝ සමනුපස්සති.

2.  රූපවන්තං අත්තානං සමනුපස්සති.

3.  අත්තනි වා රූපං සමනුපස්සති.

4.  රූපස්මිං වා අත්තානං සමනුපස්සති.

1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.

2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.

3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.

4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.

වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ඇතැමෙක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනාවන් ඇති වන කල්හි සැප විඳින්නේ මම ය, දුක් විඳින්නේ මම ය, සතුටු වන්නේ මම ය, නො සතුටු වන්නේ මම ය, මැදහත් ව ඉන්නේත් මම ය යි වේදනාව ආත්ම වශයෙන් ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට වේදනාව ඇත්තේ ය යි ගන්නෝ ය. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයෙහි වේදනාව ඇතය යි ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූපයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය වේදනාවෙහි ඇතියකැයි ගනිති. මෙසේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධයන්හි සත්කාර දෘෂ්ටිය ඇති වන සැටි සැලකිය යුතු ය.

ඇතැම් දෘෂ්ටීන් ඇති වන්නේ සත්ත්වයන් ගැන හා බාහිර ලෝකය ගැන කල්පනා කිරීමෙන් හෝ උගෙනීමෙනි. සත්කාය දෘෂ්ටිය හෙවත් ආත්ම දෘෂ්ටිය එසේ ඇති වන්නක් නොව එය සැමට ම උත්පත්තියේ පටන් ස්වභාව ධර්මයඅ ැනුව ඇති වන දෘෂ්ටියකි. කොතරම් මෝඩයකු වුවත් සත්කාය දෘෂ්ටිය ඇත්තේ ය. ඉතා මඳ දැනුමක් ඇති තිරිසන් සතුන්ට ද එය ඇත්තේ ය. සත්ත්වයන් විසින් මම ය කියා සලකන දෙය සත්‍ය වශයෙන් ම ඇත්තේ නම් එය උත්පත්තියේ පටන් මරණය දක්ා හෝ සංසාරය දිගට ම හෝ පවත්නා දෙයක් විය යුතු ය. එය එක් පුද්ගලයකුට එක බැගින් පමණක් තිබිය යුතු ය. එක් පුද්ගලයකුට ආත්ම දෙක තුනක් සතර පහක් නො තිබිය යුතු ය. මෙය මම යයි කියන්නවුන්ට මමය කියා ස්ථිර එක් දෙයක් නැත. වරින් වර එය වෙනස් කර වෙන වෙන දෙයට මම යයි කියති. එහෙත් ඒ බව ඔවුහු නො දනිති. මම සැම කල්හි මම ම විය යුතු ය. එය කිසි කලෙක මාගේ නො විය යුතුය. මම හා මාගේ දෙක දෙකක් ම විය යුතු ය. රූපකය ගමනාදි ක්‍රියාවන්හි යෙදීම ගැන මම යමි, මම හිඳිමි, මම දනිමි, මම දෙමි, මම ගනිමි, මම කමි, මම බොමි යි රූපකය ආත්ම වශයෙන් ගෙන කථාකරන තැනැත්තා තවත් වරකදී මගේ ඇඟ පණ නැත, මගේ ඇඟ කෙට්ටුය, මගේ ඇඟ රිදෙනවා ය, මගේ ඇඟට ශීතලය, මගේ ඇඟේ ඩහදිය ය යනාදීන් කලින් මමය යි ගත් ඇඟ මාගේ කොට කථා කරයි. ඇඟ මාගේ යයි කීමෙන් දැක්වෙන්නේ එය මම නො වන බව ය. මෙසේ වරින් වර ආත්මය වෙනස් වන්නේ සත්‍ය වශයෙන් ලැබෙන ආත්මයක් නැති බැවිනි.

වැරදි දැකීමක් වන මේ සත්කාය දෘෂ්ටිය නොයෙක් කෙලෙසුන්ට නොයෙක් පව්කම් වලට මුලකි. පඤ්චස්කන්ධය ම ඒ ඒ අතට හරවමින් මම ය යි සලකන්නහුට ඒ පඤ්චස්කන්ධය ගැන මහත් වූ තණ්හාවක් ඇති වේ. පඤ්චස්කන්ධය නැති වෙනවාය කියත හොත් ඔහුට එතරම් අන් කිසිම කරුණක් ගැන බියක් ඇති නො වේ. මාගේ බිරියය මාගේ පුතා ය මාගේ දූ ය මාගේ ගේය යනාදීන් අන් දේවලට තණ්හාව ඇතිවන්නේ මම යන දෘෂ්ටිය ඇති නිසා ය. මේ දෘෂ්ටිය සංසාර ප්‍ර‍වෘත්තියට බලවත් හේතුවකි. එය ඇති තාක් සත්ත්වයාට විමුක්තිය නො ලැබිය හැකි ය. සත්කාය දෘෂ්ටියෙහි ඇති නපුර නිසා,

සත්තියා විය ඔමට්ඨෝ - ඩය්හමානේ ව මත්ථකෙ

සක්කායදිට්ඨිප්පහාණාය - සතෝ භික්ඛු පරිබ්බජේ

(සංයුක්ත නිකාය)

යනු වදාරන ලදී.

සැතකින් පහර ලැබූවකු මෙන් ද, හිස ගිනි ගත්තකු මෙන් ද අන් සියල්ල හැර සත්කාරය දෘෂ්ටිය ප්‍ර‍හාණය කරනු පිණිස උත්සාහ කළ යුතුය යනු එහි අදහස ය."

"ශාසනික බ්‍ර‍හ්මචර්යේෂණය බාහිරික බ්‍ර‍හ්මචර්යේෂණය ය බ්‍ර‍හ්මචරියේසනා දෙකකි. මෙහි අදහස් කරන්නේ බාහිරික බ්‍ර‍හ්මචරියේසනාව ය. ලෝකය ශාස්වතය යනාදි දර්ශනය ම බ්‍ර‍හ්මචර්‍ය්‍යයෙක, හෙවත් මෝක්ෂයට පමුණුවන උත්තම චරියාවක් ය යනු දෘෂ්ටිගතිකයන් ගේ සම්මුතියකි. දෘෂ්ටි ගතිකයෝ මෝක්ෂයට පැමිණීමේ මාර්ගයක් වශයෙන් ආත්මය ගැන සෙවීම කරති. ශාසනිකයන්ට ඇති මාර්ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාව සෙවීමේ අදහස නමැති බ්‍ර‍හ්මචරියේසනාව අර්හත් මාර්ගයට පැමිණීමෙන් සන්සිඳේ. බාහිරික බ්‍ර‍හ්මචරියේසනාව වූ දෘෂ්ටිය සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන ක්ලේශයෙකි. කාමේසනාව අනාගාමී මාර්ගයෙන් ප්‍ර‍හීණ වන ක්ලේශයෙකි. භවේසනාව අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන කලේශයෙකි.

ඉහත දැක් වූ විසි වැදෑරුම් සත්කාය දෘෂ්ටිය හා මේ අන්තග්‍රාහික දෘෂ්ටිය ගැන අවබෝධයක් ඇති කර ගත හැකි වන්නේ පඤ්චස්කන්ධය ගැන අවබෝධය ඇති කර ගැනීමෙන් ය. සියලු දෘෂ්ටීන් ම ඇති වන්නේ පඤ්චස්කන්ධය සම්බන්ධයෙනි. පඤ්චස්කන්ධය හරියට තේරුම් ගත හොත් එයින් ම දෘෂ්ටීහු දුරු වෙති.

පඤ්චස්කන්ධයට අයත් නාමරූප ධර්මයෝ ඉතා සියුම් ය. අබ ඇටයක් පමණ කුඩා වස්තුවක වුව ද ලක්ෂ ගණන් කුඩා රූපකලාප ඇත්තේ ය. ඒ රූප කලාපයෝ ඇසිපිය හෙළන කාලය තරම් කාලයකුදු නො පවතිති. වහා නැති වෙති. තුබූ රූපකලාප බිඳුණු තැන්වලට අලුත් රූප කලාපයෝ ඉතා වේගයෙන් පහළ වෙති. තුබූ රූපකලාප බිඳීමේ හා තැන්වලට අලුත් රූපකලාප පහළ වීමේ අතරක් නො පෙනේ. එබැවින් දින ගණන් මාස ගණන් වර්ෂ ගණන් පවත්නා වස්තුව ඇති සේ පෙනේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාමස්කන්ධයන් ගේ ඉපදීම බිඳීම රූප කලාපයන්ගේ ඉපදීම බිඳීමට වඩා වේගවත් ය. ගමනාදි ක්‍රියාවක් සිදු වන්නේ එය ඉතා වේගයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන කෝටි සංඛ්‍යාත නාමරූප ධර්ම සමූහයකිනි. ඒවා සිදුවන ආකාරයත් නාමරූපයන් ගේ ඉපදීම බිඳීමත් නො පෙනෙන සාමාන්‍ය ලෝකයා ඒ නාමරූප ධර්ම සියල්ල එක් කොට ගෙන මම යමිය මම හිඳිමිය මම නිදමිය යනාදීන් ඒවා ආත්මය කොට වරදවා තේරුම් ගනිති. දර්ශන ශ්‍ර‍වණාදි ක්‍රියාවන්ගේ සිද්ධිය වඩාත් ආත්ම සංඥාව ඇති වීමට හේතු වේ. යම්කිසි දැකීමක් සිදුවන්නේ ඇසීමක් සිදුවන්නේ ලක්ෂ ගණනක් නාම රූප ධර්ම ඉපිද බිඳී යාමේ ඵලයක් වශයෙනි. ඒවා දැන ගත නො හෙන තැනැත්තා ඒ නාම රූප සියල්ල එක් කොට ඒ මම යි සිතයි. මම දකිමි මම අසමි යි සිතයි. එසේ ඇති වන ආත්ම සංඥාව මමය යන හැඟීම මේරීමෙන් ස්ථිරත්වයට පැමිණ සත්කාය දෘෂ්ටිය වේ.

මේ සත්කාය දෘෂ්ටිය පෘථග්ජන සකල සත්ත්වයන්ට ම ඇත්තේ ය. අන්‍ය දෘෂ්ටීහු කලින් කල වෙනස් වෙති. ලෝකය යමකු විසින් මවන ලදය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා සමහර විට කලකදී එය වෙනස් කරයි. ලෝකය ඉබේම ඇති වූයේය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ද සමහර විට කලකදී එය වෙනස් කරයි. මෙසේ අන්‍ය දෘෂ්ටීන් කලින් කල වෙනස් කරන නුමුත් සත්කාය දෘෂ්ටිය වෙනස් නොවේ. එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නොවේ. සෝවාන් වන තුරු සංසාරය දිගට ම පවතී. බොහෝ ජනයෝ ආත්මය කියා දෙයක් ඇතය යි පිළිගෙන ඒ ආත්මය ගැන කථා කරන නමුත් ඔවුහු ආත්මය නො හඳුනති. එය කුඩා ද මහත් ද සුදු ද කළු ද කොහි පවතින්නේ ද කියා නො දනිති. ඇතය කියා සැලකුව ද එහි සැටි නො දැනෙන්නේ ආත්මයක් සත්‍ය වශයෙන් නැති නිසා ය. තමන් විසින් ඇත යයි සලකන ආත්මය කුමක් ද එහි සැටි කෙසේදැ යි සෙවීමට බොහෝ දෙනා උත්සාහ කළහ. පඤ්චස්කන්ධයෙහි ආත්මය සෙවූ ඔවුනට වෙනස් වන ස්වභාවය ඇති රූපය ආත්මය නො වන බව දැනිණි. ඉපද බිඳී යන වේදනාව සංඥාව ආත්මය නොවන බව පෙනිණි. සංස්කාර විඤ්ඤාණයන් ආත්මය නොවන බව පෙනිණි. එසේ පෙනුණා වූ ඇතැම්හු මේ පඤ්චස්කන්ධය පාලනය කරන හිමියකු සිටිය යුතු ය. ඒ ස්වාමියා ආත්මය යි පැවසූහ. ඇතැම්හු කැති උදලු වෑ පොරෝ පිහියා ආදියෙන් ඒ ඒ ක්‍රියා කරන්නාක් මෙන් ශරීරයෙහි ඇති ඇස් කන් ආදි ඉන්ද්‍රියයන් ගෙන් හා අත් පා ආදියෙන් දැකීම් ඇසීම් ආදි ක්‍රියා සිදු කරන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු සුවදුක් විඳින්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු මරණයෙන් පඤ්චස්කන්ධය නැති වී ගිය ද නො නැසී ඉතිරි වන දෙයක් ඇත, ඒ ආත්මය යි පැවසූහ. පක්ෂියා වාසය කරන කැදැල්ල බිඳුනු කල්හි අන් කැදැල්ලකට යන්නාක් මෙන් ශරීරය බිඳුනු පසු ආත්මය අන් ශරීරයකට යන්නේය යි ඔවුහු පවසති. ඇතැම්හු තමා කිසිවකට වසඟ නොවී ඉන්ද්‍රිය සහිත ශරීරය ස්වවශයෙහි පවත්වන ශරීරයට අධිපති දෙය ආත්මය යි පැවසූහ. ඇතැම්හු ඒ ඒ කෘත්‍යයන්හි පඤ්චස්කන්ධය මෙහෙයවන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු රූපාදිය ම ආත්මය වශයෙන් ගෙන මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය යි පැවසූහ.

ආත්මය ස්කන්ධයන්ගෙන් අනිකකැයි සලකන්නෝ එය ආයුධයකින් කැපිය නොහෙන ගින්නෙන් දැවිය නො හෙන, ජලයෙන් තෙත් කළ නො හෙන ස්ථිර දෙයකැයි පවසති. ආත්මය ඉපදීමක් නැති මරණයක් නැති අමුතු කිසිවක් එයට එකතු නො වන එයින් ද කිසිවක් ඉවත් නො වන ශාස්වත දෙයකැයි ද කියති. එය අණුවකට වඩා කුඩා වූ ද සියල්ලට ම වඩා විශාල වූද හෘදයෙහි පවත්නා දෙයකැයි ද කියති. මෙසේ ආත්මය බොහෝ අනුසස් දක්නේ එය නැති දෙයක් නිසා ය."

https://pitaka.lk/main?n=54102

https://pitaka.lk/main?n=541062

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll