85. සෝවාන් වෙන්න නම් කුමක් කළ යුතු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝවාන් වෙන්න (...) කුමක් කළ යුතු ද?

[මෙය ද කියවන්න]

A. "... සිල්වත් භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය."

“ඒ කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි. ආයුෂ්මත් කොට්ඨිතයෙනි, සිල්වත් භික්ෂුව විසින් මේ පස් උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. යම් සිල්වත් භික්ෂුවක් මේ පඤ්චඋපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ සොතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන යමක් වේ නම් ඊට හේතු ඇත්තේය.”
සීල සූත්‍රය.

T / R. "ඉහත දැක් වූ විසි වැදෑරුම් සත්කාය දෘෂ්ටිය හා මේ අන්තග්‍රාහික දෘෂ්ටිය ගැන අවබෝධයක් ඇති කර ගත හැකි වන්නේ පඤ්චස්කන්ධය ගැන අවබෝධය ඇති කර ගැනීමෙන් ය. සියලු දෘෂ්ටීන් ම ඇති වන්නේ පඤ්චස්කන්ධය සම්බන්ධයෙනි. පඤ්චස්කන්ධය හරියට තේරුම් ගත හොත් එයින් ම දෘෂ්ටීහු දුරු වෙති.

පඤ්චස්කන්ධයට අයත් නාමරූප ධර්මයෝ ඉතා සියුම් ය. අබ ඇටයක් පමණ කුඩා වස්තුවක වුව ද ලක්ෂ ගණන් කුඩා රූපකලාප ඇත්තේ ය. ඒ රූප කලාපයෝ ඇසිපිය හෙළන කාලය තරම් කාලයකුදු නො පවතිති. වහා නැති වෙති. තුබූ රූපකලාප බිඳුණු තැන්වලට අලුත් රූප කලාපයෝ ඉතා වේගයෙන් පහළ වෙති. තුබූ රූපකලාප බිඳීමේ හා තැන්වලට අලුත් රූපකලාප පහළ වීමේ අතරක් නො පෙනේ. එබැවින් දින ගණන් මාස ගණන් වර්ෂ ගණන් පවත්නා වස්තුව ඇති සේ පෙනේ. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාමස්කන්ධයන් ගේ ඉපදීම බිඳීම රූප කලාපයන්ගේ ඉපදීම බිඳීමට වඩා වේගවත් ය. ගමනාදි ක්‍රියාවක් සිදු වන්නේ එය ඉතා වේගයෙන් ඉපද ඉපද බිඳි බිඳී යන කෝටි සංඛ්‍යාත නාමරූප ධර්ම සමූහයකිනි. ඒවා සිදුවන ආකාරයත් නාමරූපයන් ගේ ඉපදීම බිඳීමත් නො පෙනෙන සාමාන්‍ය ලෝකයා ඒ නාමරූප ධර්ම සියල්ල එක් කොට ගෙන මම යමිය මම හිඳිමිය මම නිදමිය යනාදීන් ඒවා ආත්මය කොට වරදවා තේරුම් ගනිති. දර්ශන ශ්‍ර‍වණාදි ක්‍රියාවන්ගේ සිද්ධිය වඩාත් ආත්ම සංඥාව ඇති වීමට හේතු වේ. යම්කිසි දැකීමක් සිදුවන්නේ ඇසීමක් සිදුවන්නේ ලක්ෂ ගණනක් නාම රූප ධර්ම ඉපිද බිඳී යාමේ ඵලයක් වශයෙනි. ඒවා දැන ගත නො හෙන තැනැත්තා ඒ නාම රූප සියල්ල එක් කොට ඒ මම යි සිතයි. මම දකිමි මම අසමි යි සිතයි. එසේ ඇති වන ආත්ම සංඥාව මමය යන හැඟීම මේරීමෙන් ස්ථිරත්වයට පැමිණ සත්කාය දෘෂ්ටිය වේ.

මේ සත්කාය දෘෂ්ටිය පෘථග්ජන සකල සත්ත්වයන්ට ම ඇත්තේ ය. අන්‍ය දෘෂ්ටීහු කලින් කල වෙනස් වෙති. ලෝකය යමකු විසින් මවන ලදය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා සමහර විට කලකදී එය වෙනස් කරයි. ලෝකය ඉබේම ඇති වූයේය යන දෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ද සමහර විට කලකදී එය වෙනස් කරයි. මෙසේ අන්‍ය දෘෂ්ටීන් කලින් කල වෙනස් කරන නුමුත් සත්කාය දෘෂ්ටිය වෙනස් නොවේ. එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නොවේ. සෝවාන් වන තුරු සංසාරය දිගට ම පවතී. බොහෝ ජනයෝ ආත්මය කියා දෙයක් ඇතය යි පිළිගෙන ඒ ආත්මය ගැන කථා කරන නමුත් ඔවුහු ආත්මය නො හඳුනති. එය කුඩා ද මහත් ද සුදු ද කළු ද කොහි පවතින්නේ ද කියා නො දනිති. ඇතය කියා සැලකුව ද එහි සැටි නො දැනෙන්නේ ආත්මයක් සත්‍ය වශයෙන් නැති නිසා ය. තමන් විසින් ඇත යයි සලකන ආත්මය කුමක් ද එහි සැටි කෙසේදැ යි සෙවීමට බොහෝ දෙනා උත්සාහ කළහ. පඤ්චස්කන්ධයෙහි ආත්මය සෙවූ ඔවුනට වෙනස් වන ස්වභාවය ඇති රූපය ආත්මය නො වන බව දැනිණි. ඉපද බිඳී යන වේදනාව සංඥාව ආත්මය නොවන බව පෙනිණි. සංස්කාර විඤ්ඤාණයන් ආත්මය නොවන බව පෙනිණි. එසේ පෙනුණා වූ ඇතැම්හු මේ පඤ්චස්කන්ධය පාලනය කරන හිමියකු සිටිය යුතු ය. ඒ ස්වාමියා ආත්මය යි පැවසූහ. ඇතැම්හු කැති උදලු වෑ පොරෝ පිහියා ආදියෙන් ඒ ඒ ක්‍රියා කරන්නාක් මෙන් ශරීරයෙහි ඇති ඇස් කන් ආදි ඉන්ද්‍රියයන් ගෙන් හා අත් පා ආදියෙන් දැකීම් ඇසීම් ආදි ක්‍රියා සිදු කරන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු සුවදුක් විඳින්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු මරණයෙන් පඤ්චස්කන්ධය නැති වී ගිය ද නො නැසී ඉතිරි වන දෙයක් ඇත, ඒ ආත්මය යි පැවසූහ. පක්ෂියා වාසය කරන කැදැල්ල බිඳුනු කල්හි අන් කැදැල්ලකට යන්නාක් මෙන් ශරීරය බිඳුනු පසු ආත්මය අන් ශරීරයකට යන්නේය යි ඔවුහු පවසති. ඇතැම්හු තමා කිසිවකට වසඟ නොවී ඉන්ද්‍රිය සහිත ශරීරය ස්වවශයෙහි පවත්වන ශරීරයට අධිපති දෙය ආත්මය යි පැවසූහ. ඇතැම්හු ඒ ඒ කෘත්‍යයන්හි පඤ්චස්කන්ධය මෙහෙයවන්නා ආත්මය යි පැවසූහ. ඇතැම්හු රූපාදිය ම ආත්මය වශයෙන් ගෙන මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය යි පැවසූහ.

ආත්මය ස්කන්ධයන්ගෙන් අනිකකැයි සලකන්නෝ එය ආයුධයකින් කැපිය නොහෙන ගින්නෙන් දැවිය නො හෙන, ජලයෙන් තෙත් කළ නො හෙන ස්ථිර දෙයකැයි පවසති. ආත්මය ඉපදීමක් නැති මරණයක් නැති අමුතු කිසිවක් එයට එකතු නො වන එයින් ද කිසිවක් ඉවත් නො වන ශාස්වත දෙයකැයි ද කියති. එය අණුවකට වඩා කුඩා වූ ද සියල්ලට ම වඩා විශාල වූද හෘදයෙහි පවත්නා දෙයකැයි ද කියති. මෙසේ ආත්මය බොහෝ අනුසස් දක්නේ එය නැති දෙයක් නිසා ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll