112. පෝය දිනවලදී, අට සිල් මෙන්ම, දස සිල් ද සමාදන් විය හැකිද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Qපෝය දිනවලදී, අට සිල් මෙන්ම, දස සිල් ද සමාදන් විය හැකිද?

Aසිල් සමාදන් වීම.

සිල් සමාදන් වීමය යන්නෙහි තේරුම ආරක්ෂා කරනු සඳහා ශීලය පිළිගැනීම ය. එය සමාදන් වන කල්හි භික්ෂූන් වහන්සේ කෙනකු ලවා සික පද කියවා ගෙන සමාදන් විය යුතුය. සිල් සමාදන් වෙමියි කියා භික්ෂූන් වහන්සේ කියවන පරිදි සික පද කීයේ ද රක්ෂා කිරීමේ බලාපොරොත්තුව නැති ව කියන්නා ශීලයෙහි නො පිහිටන්නේ ය. ශීලය නො පිළිගත් බැවින්, සිල්සමාදන් වීමට භික්ෂුවක් නැති කල්හි සිල් සමාදන් කරවන්නට දත් අනෙකකුගෙන් ද සමාදන් විය හැකිය. තෙමේ ම සික පද කියා සමාදන් වූවාට වරදෙක් නැත. සික පද කියන්නට පාඩම් නැතිනම් මම බුදුන්වහන්සේ විසින් පනවන ලද මෙනම් ශීලය සමාදන් වෙමියි අධිෂ්ඨාන කර ගත යුතු ය. ඉන්පසු ඉටා ගත් කාලය මුළුල්ලෙහි ආරක්ෂා කළ යුතුය. යම්කිසි වරදක් සිදුවී ශීලය බිඳුන හොත් නැවත සමාදන් විය යුතුය. නො බිඳුන හොත් නැවත සමාදන් වීමට වුවමනා නැත. එහෙත් නැවත නැවත සමාදන් වීමෙන් පිනක් මිස වරදක් නොවේ.

අෂ්ටාංග ශීලය.
නමස්කාර පාඨය තෙවරක් කියා තිසරණය සමාදන් ව මතු දැක්වෙන සික පද අට කියා අෂ්ටාංගශීලය සමාදන් විය යුතුය.

(1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(3) අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(6) විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(7) නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(8) උච්චාසයනමහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

සිකපදවල තේරුම

(1) ප්‍රාණඝාතයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

(2) හිමියන් විසින් නුදුන් අන් සතු දෑ සොර සිතින් ගැනීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

(3) අබ්‍ර‍හ්මචරියා නම් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

(4) බොරු කීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

(5) මදයට හා ප්‍ර‍මාදයට හේතු වන සුරා මේරය පානයෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

(6) නො කල්හි අහර වැළඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

(7) බුදුන් වහන්සේගේ අනුශාසනයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද, බැලීමෙන් හා ඇසීමෙන් ද, මල් ගඳ විලවුන් දැරීමෙන් ද, ඒවායින් සිරුරේ අඩු තැන් පිරවීමෙන් ද, සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

(8) උසසුන් මහසුන්වල හිඳීමෙන් වැළකීම වූ සික පදය සමාදන් වෙමි.

අරුණෝදයේ පටන් හිරු මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වළඳන කාලය යි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර නො ගන්නා කාලය වූ විකාලය ය. හෙවත් නො කාලය ය. ආහාර වශයෙන් ගන්නා දෙයක්, යටත් පිරිසෙයින් එක බත් හුලක් වුව ද නො කල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සික පදය බිඳෙන්නේ ය.

උච්චාසයන යනු මධ්‍යම පුරුෂයාගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන් ය. මෙ කල උච්චාසයන භාවිතයක් දක්නට නැත. මහාසයන යනු බොහෝ සුව ගෙන දෙන්නා වූ ආසනයෝ ය. මහා සයනයට අයත් වන අසුන් බොහෝ ගණනක් විනයෙහි දක්වා තිබේ. ඒවායින් බොහෝ වක් මෙකල භාවිත කරන අසුන් නො වේ.

අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය
පොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසිදු කර ගෙන අහර වළඳා සුදු වත්හැඳ පොරවා සිල් සමාදන් විය යුතු ය. සුදුවත් නැති කල්හි තමාට ඇති පිරිසිදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත. පෙරවන්නට වතක් නැතිනම් නො පොරවා සිල් සමාදන් වූවාට ද වරදක් නැත. සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදිය ඇතිනම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතු ය. මල් ආදිය නැති කල්හි වන්දනාව පමණක් වුව ද කළ යුතුය. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ ශීලය සිකපදයක් පාසා මෙනෙහි කොට ප්‍රීතිය උපදවා ගත යුතුය. ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම බණ කීම බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා දවල් දානය ගන්නා වෙලාව පැමිණි කල්හි ආහාරය සැපයෙන තැනකට ගොස් සන්සුන් ව ආහාර කිස කොට නිමවා, ක්ලාන්ත ගතිය ඇතිනම් ඇසිල්ලක් සැතපී නැගිට පෙර සේ ම රත්නත්‍ර‍ය වැඳ පුදා, විවේක ස්ථානයකට එළඹ ශීලය මෙනෙහි කොට භාවනා කිරීම් ආදියෙහි යෙදී සවස් වූ පසු කැමති නම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලය ද භාවනා කිරීම් ආදියෙන් හැකි තාක් කාලය ගත කොට සැතපී පසු දින තුනුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මිය ගිය ඤාතීන්ට ද සියලු සත්ත්වයන්ට ද පින් පෙත් දී තෙමේ ද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතු ය.

පිනක් කළ කල්හි කෙලෙස් වැඩීමට හේතු නොවන සසර දික් වීමට හේතු නො වන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතු ය. “ඉජ්ඣති භික්ඛවෙ! සීලවතො චෙතො පණිධි විසුද්ධත්තා” යි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදු වන්නේ ද සිල්වතාට ම ය. දුශ්ශීලත්වය ප්‍රාර්ථනය සිදු වීමට බාධාවෙකි.

ජලයෙහි පියවි ඇසට නො පෙනෙන කුඩා සතුන් සමහර විට සිටිය හැකි බැවින් සිල් සමාදන්ව සිටින කාලයේ දී පැන් පෙරා පරිභෝගයට ගත යුතු ය. අනුන් අයිති තණ පතක් පමණ දෙයකුදු හිමියන්ගෙන් නො විචාරා නො ගත යුතු ය. බ්‍ර‍හ්මචරියාව පිරිසිදු වනු පිණිස ඖදාරික මෛථුනයෙන් පමණක් නො ව සප්ත මෛථුනයෙන් ම වැළකී විසිය යුතු ය. කතා කරත හොත් සිල් රකිනවුන් විසින් හළ යුතු දෙතිස් කථාවට අයත් නො වන දැහැමි කතාවක් ම කළ යුතු ය. ඉර මුදුනට එන්නට මත්තෙන් අහර වළඳා මුව පිරිසිදු කර ගත යුතු ය. නැටුම් නො බැලිය යුතු ය. ගීත නාද තූර්‍ය්‍ය නාද නො ඇසිය යුතුය. ඒවායින් සිල් බිඳෙන්නේ ඕනෑ කමින් බැලීම හා ඇසීම කිරීමෙනි. තමා අන් කරුණක් සඳහා යන කල්හි අතර මග දී මුණ ගැසීමෙන් හෝ තමා ඉදිරියට ඇවිත් නටන කල්හි දැකීමෙන් හෝ ශීලය නො බිඳේ. ගැයුම් වැයුම් පිළිබඳව ශීල භේදය වන සැටි ද ඒ නියායෙන් තේරුම් ගත යුතු ය. සුවඳ ඇඟ ගැල්වීම මල් පැළඳීම නො කළ යුතු ය. රන් රිදී ආභරණ ද මල් සංඛ්‍යාවෙහි ලා සැලකිය යුතුය. එක් රියන් හමාරකට වඩා උස් පා ඇති අසුන්වල නො හිඳිය යුතුය. පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටුවල ද පුළුන් මෙට්ටවල ගුදිරිවල ද නො හිඳිය යුතු ය. සතුන්ගේ පා වැනි විසිතුරු පා ඇති අසුන්වල නො හිඳිය යුතු ය. ඇවිදීම අඩු කොට විවේක ස්ථානවල විසිය යුතුය.

ශීලය මෙනෙහි කරන ක්‍ර‍මය.
(1) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

(2) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

(3) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

(4) රහතන් වහන්සේලා දිවි හිමියෙන් බොරු කීමෙන් වැළකී සෑම තැනදී ම සත්‍යය පාවිච්චි කරමින් අවංක ව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

(5) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සුරාමේරය පානයෙන් වෙන්ව වාසය කරන්නාහුය. මම ද අද සුරාමේරය පානය හැර රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

(6) රහතන් වහන්සේලා දිවි හිමියෙන් නො කල්හි අහර වැළඳීමෙන් වෙන්ව වාසය කරන්නාහු ය. මම ද අද නො කල්හි ආහාර වැළඳීමෙන් වෙන් වී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

(7) රහතන් වහන්සේලා දිවි හිමියෙන් කුශල පක්ෂයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් ආදිය කිරීමෙන් ද කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන ද මල් පැළඳීමෙන් ද සුවඳවලින් හා විලවුන්වලින් ශරීරය සුවඳ කිරීමෙන් ද වර්ණවත් කිරීමෙන් ද අඩු තැන් පුරවා සැරසීමෙන් ද වැළකී සිටින්නාහු ය. මම ද අද එසේ රහතන් වහන්සේලාට අනුව පිළිපදිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

(8) රහතන් වහන්සේලා දිවි හිමියෙන් උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී සිටින්නාහ. මම ද අද උසසුන් මහසුන් පරිභෝගයෙන් වෙන් ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

මෙසේ සික පදයක් පාසා මෙනෙහි කරනු. මෙසේ මෙනෙහි කිරීමෙන් ශීලමය කුශල රාශියක් සිදුවේ.

සප්ත මෛථුනය.
(1) ස්ත්‍රීන් විසින් කරන නෑවීම් ඇඟ ඉලීම් අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම.

(2) ස්ත්‍රීන් හා කෙළි කවටකම් කිරීම ඔවුන්ගේ ඇඟේ සැපෙමින් ක්‍රීඩා කිරීම ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම.

(3) ස්ත්‍රීන්ගේ රූපය බල බලා සතුටු වීම.

(4) ස්ත්‍රීන්ගේ හඬ අසමින් සතුටු වීම.

(5) පෙර ස්ත්‍රීන් හා කළ කෙලි සිනා ආදිය සිහි කරමින් සතුටු වීම.

(6) පස් කම් සැප විඳින්නා වූ අන්‍යන්ගේ සම්පත් බලා සතුටු වීම.

(7) රක්නා වූ මේ ශීලයෙන් දෙවියෙක් වෙම්වායි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම, ලෝභ කිරීම.

මේ කරුණු සතට සප්ත මෛථුනය යි කියනු ලැබේ. මෙය පුරුෂ පක්ෂයට ගැලපෙන සැටියට දක්වන ලද්දකි. ස්ත්‍රීන්ගේ සප්ත මෛථුනය ද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඖදාරික මෛථුනයෙන් වැළකුණේ ද මේ කරුණුවලින් නො වැළකෙන තැනැත්තාගේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව අපරිශුද්ධය.

සිල් සමාදන් වූවන් විසින් හළ යුතු දෙතිස්කථාව
(1) රජුන් පිළිබඳ කථා ය, (2) සොරුන් පිළිබඳ කථා ය, (3) රජ ඇමතියන් පිළිබඳ කථා ය, (4) සේනා පිළිබඳ කථා ය, (5) භය පිළිබඳ කථා ය, (6) යුද්ධ කථා ය, (7) කෑම පිළිබඳ කථා ය, (8) බීම පිළිබඳ කථා ය, (9) ඇඳුම් පිළිබඳ කථා ය, (10) යහන් පිළිබඳ කථා ය, (11) මල් මාලා පිළිබඳ කථා ය, (12) සුවඳ පිළිබඳ කථා ය, (13) නෑයන් පිළිබඳ කථා ය, (14) රථ වාහන පිළිබඳ කථා ය, (15) ගම් පිළිබඳ කථා ය, (16) නියම් ගම් පිළිබඳ කථා ය, (17) නගර පිළිබඳ කථා ය, (18) ජන පද පිළිබඳ කථා ය, (19) ස්ත්‍රීන් පිළිබඳ කථා ය, (20) ශූරයන් පිළිබඳ කථා ය, (21) වීථි පිළිබඳ කථා ය, (22) වැව් පොකුණු ආදි ජල ස්ථාන පිළිබඳ කථා ය, (23) මියගිය නෑයන් පිළිබඳ කථා ය, (24) නො කියවුණු නොයෙක් දේ පිළිබඳ නිර්ථක කථා ය, (25) විතණ්ඩ කථා නම් නුවණැතියන්ගේ සිත් තැළෙන කථා ය, (26) මුහුද පිළිබඳ කථා ය, (27) ශාස්වත වාදය පිළිබඳ කථා ය, (28) උච්ඡේද වාදය පිළිබඳ කථා ය, (29) දියුණුව පිළිබඳ කථා ය, (30) පිරිහීම පිළිබඳ කථා ය, (31) පස්කම් සැප පිළිබඳ කථා ය, (32) ආත්ම පෙළීම පිළිබඳ කථා ය යන මේ දෙතිස් කථාවෙන් සිල් රක්නවුන් විසින් වැළකිය යුතු ය.

නවාඞ්ග ශීලය.
අෂ්ටාඞ්ග ශීලයට අයත් අංග අටට නව වන අංගයක් වශයෙන් මෛත්‍රිය ද එකතු කොට අඞ්ගුත්තර නිකාය නවක නිපාතයෙහි “නවහි භික්ඛවෙ! අඞ්ගෙහි සමන්නාගතො උපොසථො උපයුත්ථො මහප්ඵලො හොති මහානිසංසෝ” යනාදීන් නවාඞ්ග ශීලය වදාරා තිබේ. මෙය වඩා ප්‍ර‍සිද්ධියට පැමිණි ශීලයක් නොවේ. එය සමාදන් වන කල්හි අෂ්ටාංග ශීලයට අයත් සික පදවලට අවසානයට “සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතනා විහරණං සමාදියාමි” යන සික පදය කියා සමාදන් විය යුතුය. “සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමි ය” යනු එහි තේරුම ය. මේ ශීලය පුද්ගලාධ්‍යාසය අනුව මෛත්‍රී භාවනාව නව වන අඞ්ගය කොට දේශනය කරන ලද්දකි. මෙය සමාදන් වන්නහු විසින් හැකිතාක් මෛත්‍රී භාවනාව කොට නව වන අඞ්ගය සම්පූර්ණ කළ යුතු ය.

දශ ශීලය.
අඞ්ග දහයක් ඇති ශීලය දස ශීලය යි. එය පොහෝ දිනයන්හි රක්නා ශීලයක් සැටියට හා නිත්‍ය ශීලයක් වශයෙන් ද රැකිය හැකි ය. එහි සිකපද මෙසේ ය.

(1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(3) අබ්‍ර‍හ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(6) විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(7) නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(8) මාලා ගන්ධ විලෙපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(9) උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

(10)    ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

මේ සික පදවල තේරුම අෂ්ටාංග ශීලය දැක්වීමේ දී දක්වන ලදි. අෂ්ටාංග ශීලයේ සත්වන සික පදය මෙහි සික පද දෙකක් වශයෙන් ගෙන තිබේ. දස වන පදයේ තේරුම, රන් රිදී හා ඒවා වෙනුවට පාවිච්චි කරන මිල මුදල් පිළිගැනීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමිය යනුයි. මේ ශීලය රක්නවුන් විසින් මුදල් පරිහරණය නො කළ යුතු ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll