710. බල - දුබල - ප්‍රබල?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තෙරුවන් සරණයි මම කියවලා තියෙනවා මතකයි කලක හොරු බලයට එනවා එවිට සැබෑ රජුට පිරිස අතර සැගව සිටින්න වෙනවා. කලක සැබෑ රජු බලයට එනවා එවිට සොරුන්ට පිරිස අතර සැගව සිටිනවා. එපරිදිම කලක දුස්සීල භික්ෂූන් වහන්සේලා බලයට එනවා එවිට සිල්වත් භික්ෂූන් වහන්සේලාට පිරිස අතර නිහඬව හැසිරෙන්න වෙනවා. කලක සිල්වත් භික්ෂූන් වහන්සේලා බලයට එනවා එවිට දුසිල්වත් භික්ෂූන් වහන්සේලා පිරිස අතර නිහඬව හැසිරෙනවා කියලා දන්න පිංවතෙක් හෝ පින්වතුන්වහන්සේ නමක් වේ නම් මීට අදාල සූත්‍ර දේශනාව පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නිවන් පිණිස වේවා.

A. "චොරබල සූත්‍රය.

“මහණෙනි, යම් කාලයෙක්හි සොරු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි රජවරු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි රජුට (ඇතුළු නුවරට සිතු කෙණෙහි) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යාමට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු නොවේ. ඒ කාලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියන්ටද යන්නට හෝ පිටත්ව යන්නට හෝ බාහිර කර්‍මාන්තයන් පරීක්‍ෂා කිරීමට හෝ පහසු නොවෙයි.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි පාප භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි ප්‍රියශීලී භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි ප්‍රියශීලී භික්‍ෂූහු නිශ්ශබ්දවූවාහු, සඟ මැද තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. පසල් දනව් හෝ සොයා යත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ථය පිණිස, දෙව්මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස වේ.”

T. මෙහි විරුද්ධ ආකාරය ද සිදු වේ.

A. "රජබල සූත්‍රය.
“මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වූවාහු වෙත්ද, එකල සොරු දුර්‍වල වූවාහු වෙත්. ඒ කාලයෙහි රජුට පිවිසෙන්නට හෝ නික්ම යන්නට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු වේ. ඒ කාලයෙහි බමුණු ගැහැවියන්ටද පිවිසෙන්නට හෝ නික්මෙන්නට හෝ කර්‍මාන්තයන් පරීක්‍ෂා කරන්නට හෝ පහසු වෙයි.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි ප්‍රියශීලී භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු සඟ මැද අතිශයින් නිශ්ශබ්දව, තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. කොතැන්හි හෝ පලා යෙත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස වේ.”

https://pitaka.lk/main?n=27130&p=40

https://pitaka.lk/bjt?b=22&p=135
https://pitaka.lk/bjt?b=22&p=134

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll