991. මාර්ග-ඵලලාභී උතුමනුත් ධර්මය හදාරනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කෙනෙකු මාර්ගඵල ලාභී වුන පසු සියලුම ධර්මය ඒ ශ්‍රාවයෙකයාට වැටහෙනවාද? නැතිනම් ඉන් පසුත් ධර්මය ඉගෙන ගන්නවාද? 

උදා: මිහිදු මහ රහතන් වහන්සේ මගඵල ලාභී වුනද පසුවත් ගුරුවරයෙකු යටතේ ධර්මය ඉගෙන ගත්තා නේද ?

A. මාර්ගඵල ලැබුවත් ධර්මය ඉගෙනගත්තේ නැත්නම් ධර්මය දේශනා කිරීමට ඇති හැකියාව අඩුයි. මගඵලලාභීන් ධර්මය ඉගෙනගන්නා විට ඉක්මනින් කරුණු වටහා ගන්නවා. ධර්මාවබෝධය ඇති නිසා.
ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා වුනත් නැවත උත්සාහ කරමින් සමථ භාවනා පුරුදු කළොත් නිරෝධසමාපත්ති ආදියට සමවදින්න පුලුවන් වෙනවා.

ඒ නිසා මගඵලලාභීන් ත්‍රිපිටක ධර්මය භාවනා ආදිය ඉගෙනගනිමින් තව තවත් ඉදිරියට යනවා. එවිට ඔවුන්ගේ ප්‍රඥා ආදියේ මට්ටම් ඉහළ යමින් තවත් කරුණු වටහා ගන්නවා.

A. "පිරිසිඳ දැනගත් ස්කන්ධාදිය ඇති, ප්‍රහීණ කළ ක්ලේශයන් ඇති, වැඩූ මාර්ගය ඇති, අකෝප්‍ය ප්‍රතිවේධ ඇති, සාක්ෂාත් කළ නිරෝධය ඇති, ක්ෂීණාශ්‍රවයන් වහන්සේ (රහතන් වහන්සේ) හුදෙක්ම ප්‍රවේණියපාලනය පිණිස, වංශය අනුරක්ෂණය පිණිස, මේ ධර්මය ඉගෙන ගනී. පුහුණු කරයි. මෙය භණ්ඩාගාර පර්‍යාප්තිය නම් වෙයි.

"යං පන පරිඤ්ඤාතක්ඛන්ධො පහීනකිලෙසො භාවිතමග්ගො පටිවිද්ධාකුප්පො සච්ඡිකතනිරොධො ඛීණාසවො කෙවලං පවෙණීපාලනත්ථාය වංසානුරක්ඛණත්ථාය පරියාපුණාති, අයං භණ්ඩාගාරිකපඅයත්තීති"

T. "එහි යම්කිසිවෙක් සිවුරු ආදිය ලබාගැනීමේ අදහසින් ද සිව්පිරිස් මැද කැපී පෙනීමේ අදහසින් ද, ලාභසත්කාර ලැබීමෙන් අදහසින් ද, බුද්ධ වචනය උගන්නේ නම් ඒ ‘අලගද්ද පරියත්ති’ නමි. මෙසේ බුද්ධ වචනය පුහුණු කිරීමට වඩා පුහුණු නොකොට නින්දට යාම ඉතා උතුම් වේ.

යම් කෙනෙක් බුද්ධ වචනය උගෙන, සීලය පැමිණි තන්හි සිල් පුරා, සමාධිය පැමිණි තන්හි සමාධියට සමවැදී, විදර්ශනාව පැමිණි තන්හි විදර්ශනා වඩා, මාර්ගඵලයන් පැමිණි තන්හි මාර්ගය වඩන්නෙමි. ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමියි බුද්ධ වචනය උගනී ද, ඔහුගේ එම පර්යාප්තිය නිත්‍ථරණ පර්යාප්තිය වේ.

ක්ෂීණාශ්‍රයාගේ පරියාප්තිය වනාහි භාණ්ඩාගාරික පර්යාප්ති නම් වේ. ඔහු විසින් පරිඥානය නො කළ, ප්‍රහීණ නොකළ, අභාවිත වූ ප්‍රත්‍යක්‍ෂ නොකළ ඵලයෙක් නැත. යම්හෙයකින් හෙතෙම පරිඥානය කළ ස්කන්‍ධ ඇත්තේ ද, ප්‍රහීණ කළ කෙලෙස් ඇත්තේද වැඩූ මාර්ගය ඇත්තේද ප්‍රත්‍යක්‍ෂ කළ ඵලය ඇත්තේද එහෙයින් බුදු වදන් පුහුණු කරන්නේ පාලිය රකින්නේ ප්‍රවේණිය, පාලනය කරන්නේ වංශය රකින්නෙක්ම වී උගනියි. මෙසේ ඔහුගේ පර්යාප්තිය භාණ්ඩාගාරික පරියාප්තිය වේ.

යම්කිසි පෘථග්ජනයෙක් සාගින්න හා බිය ඇති කල්හි ග්‍රන්‍ථධාරීව එකතැනක විසීමට අපහසු වන්නේ තෙමේ (භික්‍ෂාචාරයෙන්) පිණ්ඩපාතයෙන් අතිශයින් ක්ලාන්ත වෙමින් ඉතා මිහිරි වූ බුද්ධවචනය නොනසීවා. පරම්පරාව දරන්නෙමි. වංසය තබන්නෙමි. ප්‍රවේණිය පාලනය කරන්නෙමි. පුහුණු කරන්නේ ද ඔහුගේ පර්යාප්තිය භාණ්ඩාගාරික පරියාප්තිය වේද නොවේද? නොවෙයි කුමක් හෙයින් ද ස්වකීය ස්ථානයෙහි නොසිට පුහුණු කළ හෙයිනි. පෘථග්ජනයාගේ පර්යාප්තිය නම් ‘අලගද්දා’ හෝ ‘නිත්‍ථරණ’ නම් වෙයි. සප්ත ශෛක්‍ෂයන්ගේ පර්යාප්තිය ‘නිත්‍ථරණ’ මය. ක්‍ෂීණාශ්‍රවයාගේ භාණ්ඩාගාරික පර්යාප්තියමැයි. මෙතන්හි නිත්‍ථරණ පරියාප්තිය අදහස් කරයි."


"තත්‍ථ යො බුද‍්ධවචනං උග‍්ගහෙත්‍වා එවං චීවරාදීනි වා ලභිස‍්සාමි, චතුපරිසමජ‍්ඣෙ වා මං ජානිස‍්සන‍්තීති ලාභසක‍්කාරහෙතු පරියාපුණාති, තස‍්ස සා පරියත‍්ති අලගද‍්දපරියත‍්ති නාම. එවං පරියාපුණතො හි බුද‍්ධවචනං අපරියාපුණිත්‍වා නිද‍්දොක‍්කමනං වරතරං.

යො පන බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා සීලස‍්ස ආගතට‍්ඨානෙ සීලං පූරෙත්‍වා සමාධිස‍්ස ආගතට‍්ඨානෙ සමාධිගබ‍්භං ගණ‍්හාපෙත්‍වා විපස‍්සනාය ආගතට‍්ඨානෙ විපස‍්සනං පට‍්ඨපෙත්‍වා මග‍්ගඵලානං ආගතට‍්ඨානෙ මග‍්ගං භාවෙස‍්සාමි ඵලං සච‍්ඡිකරිස‍්සාමීති උග‍්ගණ‍්හාති, තස‍්ස සා පරියත‍්ති නිත්‍ථරණපරියත‍්ති නාම හොති.

ඛීණාසවස‍්ස පන පරියත‍්ති භණ‍්ඩාගාරිකපරියත‍්ති නාම. තස‍්ස හි අපරිඤ‍්ඤාතං අප‍්පහීනං අභාවිතං අසච‍්ඡිකතං වා නත්‍ථි. සො හි පරිඤ‍්ඤාතක‍්ඛන්‍ධො පහීනකිලෙසො භාවිතමග‍්ගො සච‍්ඡිකතඵලො, තස‍්මා බුද‍්ධවචනං පරියාපුණන‍්තො තන‍්තිධාරකො පවෙණිපාලකො වංසානුරක‍්ඛකොව හුත්‍වා උග‍්ගණ‍්හාති. ඉතිස‍්ස සා පරියත‍්ති භණ‍්ඩාගාරිකපරියත‍්ති නාම හොති.

යො පන පුථුජ‍්ජනො ඡාතභයාදීසු ගන්‍ථධරෙසු එකස‍්මිං ඨානෙ වසිතුං අසක‍්කොන‍්තෙසු සයං භික‍්ඛාචාරෙන අකිලමමානො අතිමධුරං බුද‍්ධවචනං මා නස‍්සතු, තන‍්තිං ධාරෙස‍්සාමි, වංසං ඨපෙස‍්සාමි, පවෙණිං පාලෙස‍්සාමීති පරියාපුණාති, තස‍්ස පරියත‍්ති භණ‍්ඩාගාරිකපරියත‍්ති හොති, න හොතීති? න හොති. කස‍්මා? න අත‍්තනො ඨානෙ ඨත්‍වා පරියාපුතත‍්තා. පුථුජ‍්ජනස‍්ස හි පරියත‍්ති නාම අලගද‍්දා වා හොති නිත්‍ථරණා වා, සත‍්තන‍්නං සෙක‍්ඛානං නිත්‍ථරණාව, ඛීණාසවස‍්ස භණ‍්ඩාගාරිකපරියත‍්තියෙව. ඉමස‍්මිං පන ඨානෙ නිත්‍ථරණපරියත‍්ති අධිප‍්පෙතා."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll