427. "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු රජාණන් වහන්සේ සත්ත්වයා යන්න පංච උපාදාන ස්කන්ධ, ආයතන සය, ධාතු අටළොස, කියා පර්යාය තුනකින් දේශනා කර ඇති බව මා අසා තිබෙනවා. මේ පිලිබඳ දෘෂ්ටිය නිරවුල් කර ගැනීම සඳහා පහත කරුණු පැහැදිලි කර දිය හැකි නම් බොහෝ පින්!
ගන්ධ ආයතනය උදාහරණයට ගෙන, අපට පිච්ච මල් සුවඳක් දැනෙන විට;
1. ඝාන ආයතනය පෙර නොතිබීම පහල වී ඉතිරි නැතිව නිරුද්ධ වන ආකාරය පහදා දෙන්න.
2. එම සිදුවීම සිදු වී අවසන් වන තුරු සතර මහා ධාතු ඊට සම්බන්ධ වන ආකාරය පහදන්න.
3. මනෝ සම්පස්සය යනු කුමක්ද? එය ඉහත ක්‍රියාවට සම්බන්ධ වන්නේ කෙසේද?
4. ඉහත ක්‍රියාව මුල සිට අගට චිත්ත සහ චෛතසික ඇසුරින් පහදා දෙන්න.

A / R. (චිත්ත-චෛතසික-රූප යන තුන් පරමාර්ථයන් ක්‍රියා මාත්‍ර බැවින්)
ඕනෑම සිතක් / චෛතසිකයක් / රූපයක් කිසිවක් ඉතුරු නොකොට ම නැතිවීම (නිරුද්ධවීම) (සංඛත) පරමාර්ථ ස්වභාවය බව මුලින් ම වටහා ගන්න. එබැවින්,

1. රූප 28න් (විඤ්ඤත්ති රූප 2 හා ලක්ෂණ රූප 4 හැර) ඕනෑම රූපයක ආයුෂ චිත්තක්ෂණ 17ක් බැවින්, ඝාණායතනය යන - ඝාණ ප්‍රසාද රූපය යම්කිසි ගන්ධයක් ආඝ්‍රණය කිරීමට පෙර තිබූවක් නොවේ; එබැවින් එය පෙර නොපැවතී ම හටගත් රූපයක් බව හා ඉතිරි නැතිව නිරුද්ධ වන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ (ඉතිරි රූප ද එසේ ය).

2. ඝාණායතනය හා ගන්ධායතනය යන රූපද්වය ම සතර මහා ධාතූන්ගේ පිළිබිඹු ය (උපාදය රූප 2 කි).

3. මනෝ සම්ඵස්සය යනු : මනසත් - ධර්මාරම්මණත් - මනෝ විඥානයත් යන තුනෙහි එක්වීම ය.

ඝාණද්වාර විථිය නිරුද්ධ වූ පසු, අතීත ගන්ධරූපය ම ගනිමින් මනෝ සම්ඵස්සයෙන් තවත් (අනුබන්ධක) වීථි තුනක් වත් ඇති නොවුණී නම් “පිච්චමල් සුවඳක්” ලෙස දැන ගැනීමට හැකියාවක් නැත.

4. භවංග චිත්තයේ සිට ගත් කල සිත ද චෛතසික ද, ඝාණායතනය ද මල් ගන්ධය ද, පෙර නොතීබීම හටගත් හා කිසිවක් ඉතුරු නොකොට ම නිරුද්ධ වන බව කිව හැකි ය.
(මෙම ක්‍රියාවලිය විස්තර කිරීම ඉතා සංකීර්ණ හා දීර්ඝ වූවක් විය හැකි බැවින්, කරුණාකර චිත්ත වීථි (ඇතිවන හැටි) අධ්‍යනය කරන්න.)

https://pitaka.lk/main?n=541025&p=66
https://pitaka.lk/main?n=541026&p=67

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll