971. ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක සහ කර්මපථ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක සහ කර්මපථ පැහැදිලි කරන්න හැකි කෙනෙක්.

A. “කර්මයන්ගේ විපාක, ප්‍ර‍තිසන්ධි විපාක ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.”


A. “කර්මපථය යි කියනු ලබන්නේ ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍ර‍තිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට කර්ම යන නාමය පමණක් කියනු ලැබේ.”


A. “අකුශල කර්මපථ දශයෙක: ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයන්හි වරදවා හැසිරීම, මුසා බස් බිණීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, ප්‍රලාප දෙඩීම, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය.

කුශල කර්මපථ දශයෙක: පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, ප්‍රලාප දෙඩීමෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය.”


{T. “හානභාගික ධර්ම දශය කවර යැ? ප්‍රාණාතිපාතය අදත්තාදානය කාමමිථ්‍යාචාරය මෘෂාවාදය පිසුණවචනය පරුෂචවචනය සම්ඵප්‍රලාපය අභිධ්‍යාව ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්මපථ දශය යැ. මේ හානභගික ධර්ම දශය යැ.
විශේෂභාගික ධර්ම දශය කවර යැ? ප්‍රාණවධයෙන් වැළැක්ම, අදත්තාදානයෙන් වැළැක්ම, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්ම, බොරුකීමෙන් වැළැක්ම, කේලාම් කීමෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, සම්ඵප්‍රලාපයෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය යන කුශල කර්මපථ දශය යැ. මේ විශේෂභාගික ධර්ම දශය යැ.”


“සබ්බපාප” නම්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන තුන් දුශ්චරිතයෝ යි. ඔහු දශඅකුශල කර්මපථයෝ යැ: පාණාතිපාත යැ අදින්නාදාන යැ කාමෙසු මිච්ඡාචාර යැ මුසාවාද යැ පිසුනාවාචා යැ ඵරුසාවාචා යැ සම්ඵප්පලාප යැ අභිජ්ඣා යැ ව්‍යාපාද යැ මිච්ඡාදිට්ඨි යි. ඔහු චේතනා කර්මය ද චේතසික කර්මය දැයි කර්මයෝ දෙදෙනෙක් වෙති. එහි යම් පාණාතිපාතයෙක් පිසුනාවාචායෙක් ඵරුසාවාචායෙක් ඇද්ද, මේ දෝසසමුට්ඨාන යැ, යම් අදින්නාදානයෙක් කාමෙසුමිච්ඡාචාරයෙක් මුසාවාදයෙක් ඇද්ද, මේ ලෝභසමුට්ඨාන යැ, යම් සම්ඵප්පලාපයෙක් වේ ද මේ මෝහ සමුට්ඨාන යි. මේ සත් කරුණ චේතනාකර්ම යැ, යම් අභිධ්‍යායක් ඇද්ද මේ ලෝභ අකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද දෝසඅකුශලමූල යැ, යම් මිත්ථ්‍යාදෘෂ්ටියක් ඇද්ද මේ මිත්ථ්‍යාමාර්ග යි. මේ තුන් කරුණ චෙතසික කර්ම යි. එයින් කීහ: “චෙතනාකම්මං චෙතසිකං කම්මං” යී.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll