29. සෝවහන් කෙනාටත් "මම" "මගේ" කියල හිතෙනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝවහන් කෙනාටත් "මම" "මගේ" කියල හිතෙනව ද?

A / R. "අස්මිමානෝ
පෘථග්ජන පුද්ගලයන්ට හා සෝවාන් සකෘදාගාමී අනාගාමී පුද්ගලයන්ට ගමනාදි ඉරියව් පැවැත්වීමෙහිදී මම යෙමි යි රූපස්කන්ධයෙහි මමය යන හැඟීමක් ඇති වේ. සුවදුක් විඳිනා කල්හි මම විඳිමි යි වේදනා ස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. සංඥා පහළ වන කල්හි මම දනිමි යි සංඥාස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. දානාදි ක්‍රියා සිදු කරන කල්හි මම දෙමිය ගනිමිය කතා කරමිය යනාදීන් සංස්කාර ස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. දැකීම් ඇසීම් ආදිය සිදු වන කල්හි මම දකිමිය අසමිය යනාදීන් විඥානස්කන්ධයෙහි මමය යන හැඟීම ඇති වේ. එසේ පඤ්චස්කන්ධයෙහි ඇති වන මමය යන හැඟීම අස්මිමාන නම් වේ. රූපය මමය වේදනාව මමය යනාදීන් ඇති වන සක්කාය දෘෂ්ටිය එක් ක්ලේශයෙකි. රූපය මමය යනාදීන් ඇති වන අස්මිමානය අනිකකි. මේ දෙකින් මමය යන දෘෂ්ටිය සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වේ. අස්මිමානය අර්හන්මාර්ගය දක්වා පවතී. එය ප්‍ර‍හීණ වන්නේ අර්හන් මාර්ගයෙනි. “අස්මිමානස්ස යෝ විනයෝ එතං වේ පරමං සුඛං” යි වදාරා ඇත්තේ ඒ නිසා ය."

T. {["නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන ව්‍යවහාර මාත්‍රයෙන් ('මම කියමි', 'මට කියති' යනාදිය) ව්‍යවහාර කරන්නේය.’’]
"සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන යම් රහත් භික්‍ෂුවෙක් වේනම්, ඔහු 'මම කියමි' කියාත් කියන්නේද? '(ඔවුහු) මට කියති' කියාත් කියන්නේද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) "කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු 'මම කියමි' කියාත් කියන්නේය. 'මට කියත්ය' කියාත් කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන ව්‍යවහාර මාත්‍රයෙන් ('මම කියමි', 'මට කියති' යනාදිය) ව්‍යවහාර කරන්නේය.’’ - https://pitaka.lk/main?n=211033}

A. සෝවාන් ඵලස්ථ පුද්ගලයට අය කිසිම දවසක / වෙලාවක කිසිම දෙයක් (විසි ආකාර සක්කාය දෘෂ්ටිය, සතර විපල්ලාසය, ත්‍රිලක්ෂණය, බුද්ධාදී අට තන්හි සැකය ආදිය) ගැන වැරදි දෘෂ්ටියක් / සැකයක් ඇතිවෙන්නේ ම නෑ. (සතර විපල්ලාසයෙන් ඇතැම් විපල්ලාස කෙරෙහි සිත හා සංඥාව උපදිනවා.)

එයයි සාමාන්‍ය පුද්ගලයාගෙයි සෝවාන් පුද්ගලයාගෙයි වෙනෙස. ඒ හැරෙන්නට, ඔහුත් ව්‍යවහාරික / සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාරික / සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ම තමා ජීවත් වෙන්නේ.

එත්, මෝහය වගේම රාගය, ද්වේෂයත් සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩුයි කියලත් මෙතැනදී (අමුතුවෙන් කියන්න ඕන්නැති උනත්) කියන්න ඕන. (අධිකව රාගය ඇතිවෙන අවස්ථා තියෙන්නත් පුළුවන්.)

Q. "විසි ආකාර සක්කාය දෘෂ්ටිය, සතර විපල්ලාසය, ත්‍රිලක්ෂණය, බුද්ධාදී අට තැන්හි සැකය" ආදිය කියන්නෙ මොනව ද?

A / R. විසි ආකාර සක්කාය දෘෂ්ටිය = "මම ය කියා ද නුඹ ය කියා ද දෙවියා මිනිසා ගවයා අශ්වයා ඇතා කියා ද තවත් නොයෙක් නම් වලින් ද ව්‍යවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුඤ්ජයන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේ ධර්ම කොටස් පස පමණෙකි. ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට නො සමත් ධර්මය නො දත් අන්ධ පෘථග්ජනයෝ ඒවා රූප වේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදි ස්කන්ධ පස මම ය නුඹය මිනිසාය දෙවියා ය කියා වැරදි ලෙස සලකති. ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කායදිට්ඨි නම් වේ. මෙයට ආත්ම දෘෂ්ටිය යි ද කියනු ලැබේ. මේ දෘෂ්ටිය එක් එක් ස්කන්ධයක සතර සතර ආකාරයකින් ඇති වන බැවින් ස්කන්ධපඤ්චකයෙහි ඇති වන සක්කාය දෘෂ්ටිය විසි වැදෑරුම් වේ. රූපස්කන්ධයෙහි සිව් වැදෑරුම් සක්කාය දෘෂ්ටිය මෙසේ ය.

1.  රූපං අත්තතෝ සමනුපස්සති.

2.  රූපවන්තං අත්තානං සමනුපස්සති.

3.  අත්තනි වා රූපං සමනුපස්සති.

4.  රූපස්මිං වා අත්තානං සමනුපස්සති.

1. ඇතැමෙක් රූපකයින් යාම් ඊම් හිඳීම් සිටීම් කෑම් පීම් ආදි ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මම ය ආත්මය කියා වරදවා දකී. දැල්වෙන පහනෙහි ගිනි සිළත් වර්ණයත් දෙක එක් කොට, යමක් ගිනි සිළ නම් එය ම වර්ණය යි ද යමක් වර්ණය නම් එය ම ගිනි සිළ යයි ද ගන්නාක් මෙන් රූපය ආත්මය යි ද ආත්මය රූපය යි ද රූප ආත්ම දෙක දෙකක් නොව එකක්ම ය යි ද වරදවා ගනී.

2. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට රූපය ඇත ය කියා රූපය ඇති ආත්මයක් දකී. ගස ඡායාව ඇතියක් කොට ගන්නාක් මෙනි.

3. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවාක් මෙන් ඒ ආත්මයෙහි රූපය ඇතය යි සලකති.

4. ඇතැමෙක් වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුවක මැණික් තිබෙන්නාක් මෙන් රූපය තුළ ඇතය යි ගනිති.

වේදනා ස්කන්ධය සම්බන්ධයෙන් සතර ආකාර සක්කායදිට්ඨිය ඇති වන්නේ මෙසේ ය. ඇතැමෙක් සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා වේදනාවන් ඇති වන කල්හි සැප විඳින්නේ මම ය, දුක් විඳින්නේ මම ය, සතුටු වන්නේ මම ය, නො සතුටු වන්නේ මම ය, මැදහත් ව ඉන්නේත් මම ය යි වේදනාව ආත්ම වශයෙන් ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයට වේදනාව ඇත්තේ ය යි ගන්නෝ ය. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූප යන ස්කන්ධ සතර ආත්මය යි ගෙන ඒ ආත්මයෙහි වේදනාව ඇතය යි ගනිති. ඇතැමෙක් සඤ්ඤා සංඛාර විඤ්ඤාණ රූපයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය වේදනාවෙහි ඇතියකැයි ගනිති. මෙසේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධයන්හි සත්කාර දෘෂ්ටිය ඇති වන සැටි සැලකිය යුතු ය.

ඇතැම් දෘෂ්ටීන් ඇති වන්නේ සත්ත්වයන් ගැන හා බාහිර ලෝකය ගැන කල්පනා කිරීමෙන් හෝ උගෙනීමෙනි. සත්කාය දෘෂ්ටිය හෙවත් ආත්ම දෘෂ්ටිය එසේ ඇති වන්නක් නොව එය සැමට ම උත්පත්තියේ පටන් ස්වභාව ධර්මය අනුව ඇති වන දෘෂ්ටියකි. කොතරම් මෝඩයකු වුවත් සත්කාය දෘෂ්ටිය ඇත්තේ ය. ඉතා මඳ දැනුමක් ඇති තිරිසන් සතුන්ට ද එය ඇත්තේ ය. සත්ත්වයන් විසින් මම ය කියා සලකන දෙය සත්‍ය වශයෙන් ම ඇත්තේ නම් එය උත්පත්තියේ පටන් මරණය දක්ා හෝ සංසාරය දිගට ම හෝ පවත්නා දෙයක් විය යුතු ය. එය එක් පුද්ගලයකුට එක බැගින් පමණක් තිබිය යුතු ය. එක් පුද්ගලයකුට ආත්ම දෙක තුනක් සතර පහක් නො තිබිය යුතු ය. මෙය මම යයි කියන්නවුන්ට මමය කියා ස්ථිර එක් දෙයක් නැත. වරින් වර එය වෙනස් කර වෙන වෙන දෙයට මම යයි කියති. එහෙත් ඒ බව ඔවුහු නො දනිති. මම සැම කල්හි මම ම විය යුතු ය. එය කිසි කලෙක මාගේ නො විය යුතුය. මම හා මාගේ දෙක දෙකක් ම විය යුතු ය. රූපකය ගමනාදි ක්‍රියාවන්හි යෙදීම ගැන මම යමි, මම හිඳිමි, මම දනිමි, මම දෙමි, මම ගනිමි, මම කමි, මම බොමි යි රූපකය ආත්ම වශයෙන් ගෙන කථාකරන තැනැත්තා තවත් වරකදී මගේ ඇඟ පණ නැත, මගේ ඇඟ කෙට්ටුය, මගේ ඇඟ රිදෙනවා ය, මගේ ඇඟට ශීතලය, මගේ ඇඟේ ඩහදිය ය යනාදීන් කලින් මමය යි ගත් ඇඟ මාගේ කොට කථා කරයි. ඇඟ මාගේ යයි කීමෙන් දැක්වෙන්නේ එය මම නො වන බව ය. මෙසේ වරින් වර ආත්මය වෙනස් වන්නේ සත්‍ය වශයෙන් ලැබෙන ආත්මයක් නැති බැවිනි.

වැරදි දැකීමක් වන මේ සත්කාය දෘෂ්ටිය නොයෙක් කෙලෙසුන්ට නොයෙක් පව්කම් වලට මුලකි. පඤ්චස්කන්ධය ම ඒ ඒ අතට හරවමින් මම ය යි සලකන්නහුට ඒ පඤ්චස්කන්ධය ගැන මහත් වූ තණ්හාවක් ඇති වේ. පඤ්චස්කන්ධය නැති වෙනවාය කියත හොත් ඔහුට එතරම් අන් කිසිම කරුණක් ගැන බියක් ඇති නො වේ. මාගේ බිරියය මාගේ පුතා ය මාගේ දූ ය මාගේ ගේය යනාදීන් අන් දේවලට තණ්හාව ඇතිවන්නේ මම යන දෘෂ්ටිය ඇති නිසා ය. මේ දෘෂ්ටිය සංසාර ප්‍ර‍වෘත්තියට බලවත් හේතුවකි. එය ඇති තාක් සත්ත්වයාට විමුක්තිය නො ලැබිය හැකි ය. සත්කාය දෘෂ්ටියෙහි ඇති නපුර නිසා,

සත්තියා විය ඔමට්ඨෝ - ඩය්හමානේ ව මත්ථකෙ

සක්කායදිට්ඨිප්පහාණාය - සතෝ භික්ඛු පරිබ්බජේ

(සංයුක්ත නිකාය)

යනු වදාරන ලදී.

සැතකින් පහර ලැබූවකු මෙන් ද, හිස ගිනි ගත්තකු මෙන් ද අන් සියල්ල හැර සත්කාරය දෘෂ්ටිය ප්‍ර‍හාණය කරනු පිණිස උත්සාහ කළ යුතුය යනු එහි අදහස ය."

R. සතර විපල්ලාස = "සංඥාවය චිත්තය දෘෂ්ටිය යි විපර්‍ය්‍යාස ධර්ම තුනෙකි. ඒ එක එකක් අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ යන කරුණු සතර සම්බන්ධයෙන් ඇති වන බැවින් විපර්‍ය්‍යාස දොළොසක් වේ. සංඥා චිත්ත දෘෂ්ටි යන මේ ධර්ම තුන පිළිවෙළින් එකිනෙකට බලවත්ය. මේ විපර්‍ය්‍යාසයන් ඇති වන්නේ මෙසේය. චිත්තය වනාහි සත්ත්ව ශරීරයන්හි හා බාහිර වස්තූන්හි ඇති රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් වෙන් කොට දැකීමට සමත් ධර්මයක් නොවේ. පරමාර්ථ රූප ධර්මයන් ගේ උත්පාද ස්ථිති භංගයන් දැකීමට සමත් එකක් ද නොවේ. චිත්තය දක්නේ එකට බැඳී ඝනව පවත්නා රූප කලාප සමූහයන් එක් එක් දෙයක් ලෙසය. චිත්තයට දැනෙන්නේ පටන් ගත් තැන සිට සමුද්‍ර‍ය දක්වා ගඟක ඇති ජලස්කන්ධය එක දෙයක් ලෙස ය. සවස් කාලයේ දල්වන ලදුව මධ්‍යම රාත්‍රිය දක්වා පවත්නා පහන් සිළුව එක් දෙයක් ලෙස ය. අද පවත්නා වූ ද අවුරුදු ගණනකට පෙර පැවැතියා වූ ද තමාගේ ශරීරය එක් දෙයක් ලෙස ය. උත්පත්තියේ පටන් මරණය දක්වා පවත්නා සිත් පරම්පරාව එක් සිතක් ලෙසය. සිත දක්නේ නාම රූප ධර්මයන් පිළිබඳ වූ සමූහ සන්තති ප්‍ර‍ඥප්ති දෙක ය. එබැවින් සිතට වස්තූන් මිස පරමාර්ථ ධර්ම දැනෙන්නේ නැත. සන්තතිය මිස ඉපදීම් පෙනෙන්නේ නැත. එබැවින් සිත අනිත්‍ය වූ නාමරූප ධර්මයන් නිත්‍ය ඒවා ලෙස දකී. ඒ චිත්ත විපර්‍ය්‍යාසය ය. සිත එසේ ස්කන්ධයන් වරදවා ගත් කල්හි ඒ නාම රූප ධර්ම මමය, සත්ත්වයාය, නැතහොත් සත්ත්වයාගේ සාරය බලන තැනැත්තාය, අසන තැනැත්තාය කියා වරදවා තදින් ගන්නා ස්ථිර වශයෙන් ගන්නා දෘෂ්ටි ඇති වේ. ඒ දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය. සංඥාව දුබලය. එය තමා විසින් ම යම්කිසිවක් නිත්‍යාදි වශයෙන් වරදවා හෝ නිත්‍යාදි වශයෙන් සත්‍ය ලෙස හෝ ගැනීමට සමත් ධර්මයක් නො වේ. පඤ්චස්කන්ධය නිත්‍ය ය යි ගන්නා සිත හා එක්වීමෙන් ද දෘෂ්ටිය හා එක්වීමෙන් ද සංඥාව ද අනිත්‍ය හා නිත්‍ය වශයෙන් ගනී. එසේ ගන්නා සංඥාව, සංඥා විපර්‍ය්‍යාස ය. යම්කිසි කරුණක් ගැන ඇති වූ සංඥාව කලින් දුබල වුව ද කල් යාමෙන් ස්ථිර වී, දුරු කළ නො හෙන තත්ත්වයට පැමිණේ. සත්ත්වයාට සසරින් නො මිදිය හැකිව ඇත්තේ මේ සංඥා චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාසයන් නිසා ය. සත්ත්වයා තුළ ඒවා ඇති තාක් ඔහු සංසාර චක්‍රයේ කැරකෙන්නේ ය. විදර්ශනා භාවනාව ඇත්තේ මේ විපර්‍ය්‍යාසයන් ප්‍ර‍හාණය කිරීම පිණිස ය. විදසුන් වඩා විපර්‍ය්‍යාසයන් ප්‍ර‍හාණය කොට සසර දුකින් මිදෙත්වා!

මේ දොළොස් වැදෑරුම් විපර්‍ය්‍යාසයන් අතුරෙන් අනිත්‍ය දෙය නිත්‍ය යයි ගන්නා සංඥා චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාස තුන ය, ආත්ම නොවන පඤ්චස්කන්ධය ආත්ම යයි ගන්නා සංඥා චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාස තුනය, දුඃඛය සුඛයයි ගන්නා දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය, අශුභය ශුභයයි ගන්නා දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය යන විපර්‍ය්‍යාස අට සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වේ. දුඃඛය සුඛ යයි ගන්නා සංඥා විපර්‍ය්‍යාසය, චිත්ත විපර්‍ය්‍යාසය, අශුභය ශුභයයි ගන්නා සංඥා විපර්‍ය්‍යාසය, චිත්ත විපර්‍ය්‍යාසය යන මේ විපර්‍ය්‍යාස සතර සෝවාන් පුද්ගලයන්ට ද ඇත්තේ ය. අනිත්‍ය ලක්ෂණය දුඃඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන මේ තුනෙන් දුඃඛ ලක්ෂණය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට දුෂ්කර ලක්ෂණය ය. සෝවාන් පුද්ගලයාට සතර අපායට අයත් ස්කන්ධයන්ගේ දුඃඛ ලක්ෂණය නිරවශේෂයෙන් වැටහී ඇත. එබැවින් ඔහු කිසි කලෙක අපායට නො යයි. මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකවල දුඃඛය සෝවාන් පුද්ගලයාට සර්ව සම්පූර්ණයෙන් වැටහී නැත. ඔහුට ඒවා පිළිබඳ සුඛ දෘෂ්ටිය නැත ද සුඛ සංඥාව සුඛ චිත්තය ඇත්තේ ය. එබැවින් සෝවාන් පුද්ගලයෝ සෙස්සන් මෙන් ම මිනිස් ලොව මිනිස් සම්පත් විඳිති. දෙව්ලොව දිව්‍ය සම්පත් විඳිති. බඹලොව බ්‍ර‍හ්ම සම්පත් විඳිති. අනාගාමීන්ට කාම සම්පත් පිළිබඳ සුඛ සංඥා සුඛ චිත්ත සුඛ දෘෂ්ටි නැත්තේ ය. එබැවින් ඔවුහු කාම ලෝකයේ නූපදිති. බ්‍ර‍හ්ම සම්පත්තිය පිළිබඳ වූ සුඛ සංඥාව සුඛ චිත්තය ඔවුනට ඇත්තේ ය. එබැවින් ඔවුහු බ්‍ර‍හ්ම ලෝකවල ඉපිද බ්‍ර‍හ්ම සම්පත් විඳිති. බ්‍ර‍හ්ම සුඛය පිළිබඳ වූ සංඥාවිපර්‍ය්‍යාස චිත්ත විපර්‍ය්‍යාසයන් ප්‍ර‍හාණය වන්නේ අර්හත් මාර්ගයෙනි. ඒවා ප්‍ර‍හාණය වීම නිසා රහත්හු බ්‍ර‍හ්ම ලෝකයෙහි නො ඉපිද පිරිනිවෙති."

R. බුද්ධාදී අට තැන්හි සැකය = විචිකිච්ඡාව අභිධර්මයෙහි අෂ්ඨාකාරයකින් ද සබ්බාසව සූත්‍රයෙහි ෂෝඩෂාකාරයකින් ද දේශනය කර ඇත්තේ ය. එය අභිධර්මයෙහි දේශනය කර ඇත්තේ මෙසේ ය.

තත්ථ කථමා විචිකිච්ඡා?
1.  සත්ථරි කංඛති විචිකිච්ඡති
2.  ධම්මේ කංඛති විචිකිච්ඡති
3.  සංඝෙ කංඛති විචිකිච්ඡති
4.  සික්ඛාය කංඛති විචිකිච්ඡති
5.  පුබ්බන්තේ කංඛති විචිකිච්ඡති
6.  අපරන්තේ කංඛති විචිකිච්ඡති
7.  පුබ්බාපරන්තේ කංඛති විචිකිච්ඡති
8.  ඉදප්පච්ඡයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡති.
(ඛුද්දකවත්ථු විභංග)

1. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් ප්‍ර‍තිමණ්ඩිත ෂට්වර්ණරශ්මිමාලා ඇති ශරීරයක් තිබිය හැකි ද? අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් සියල්ල දත හැකි නුවණක් තිබිය හැකි ද? දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා රශ්මි මාලාවන් ඇති සියල්ල දන්නා නුවණ ඇති පුද්ගලයකු සිටිය හැකි දැ යි ශාස්තෘන් වහන්සේ ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

2. ක්ලේශ ප්‍ර‍හාණයට ආර්‍ය්‍යමාර්ග සතරක් හා කෙලෙස් සන්සිඳ වූ ඵලධර්ම සතරක් ද සියලු දුක්වල නිමවීම වූ නිර්වාණයක් ද ඇත ද නැත ද කියා නවලෝකෝත්තර ධර්මය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

3. සතර මාර්ග සතර ඵලයන්හි ආර්‍ය්‍ය සංඝ රත්නයක් ඇත්තේ ද මේ සංඝයා සුප්‍ර‍තිපන්න ද නැත ද සංඝ රත්නයට දන්දීමේ විපාකයක් ඇති ද නැති ද කියා සංඝරත්නය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

4. ත්‍රිශික්ෂාවය කියා දෙයක් සත්‍ය වශයෙන් ඇත්තේ ද ඒ ශික්ෂාවන් පිරීමෙන් ප්‍ර‍තිඵලයක් ඇත ද නැත ද කියා ශික්ෂාව පිළිබඳ ව ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

5. අතීත භව පරම්පරාවක් තිබී ද නො තිබී ද කියා අතීත ස්කන්ධයන් පිළිබඳ වූ සැකය එක් විචිකිච්ඡාවෙකි.

6. අනාගත භව පරම්පරාවක් ඇත්තේ ද නැත්තේ ද කියා අනාගත ස්කන්ධයන් ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

7. අතීතානාගත භව පරම්පරා දෙක ම සම්බන්ධයෙන් ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

8. මේ සත්ත්වයා හේතුඵල පරම්පරාවක් ද, ඉබේ ම ඇති වූවක් ද, කෙනකු විසින් මවන ලද්දක් ද කියා පටිච්චසමුප්පාදය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි. මේ අභිධර්මයේ දැක්වෙන විචිකිච්ඡා අටය.

සබ්බාසව සූත්‍රයේ දැක්වෙන ෂෝඩෂාකාර විචිකිච්ඡාව මෙසේ ය.

“අහෝසිං නු ඛෝ අහං අතීතමද්ධානං, න නු ඛෝ අහෝසිං අතීත මද්ධානං, කිං නු ඛෝ අහෝසිං අතීත මද්ධානං, කථං නු ඛෝ අහෝසිං අතීතමද්ධානං, කිං හුත්වා කිං නු ඛෝ අහෝසිං අහං අතීතමද්ධානං භවිස්සාමි නු ඛෝ අහං අනාගතමද්ධානං, නනු ඛෝ භවිස්සාමි, අනාගතමද්ධානං, කිං නු ඛෝ භවිස්සාමි අනාගතමද්ධානං, කථං නු ඛෝ භවිස්සාමි අනාගත මද්ධානං, කිං හුත්වා කිං භවිස්සාමි න ඛෝ අහං අනාගතමද්ධානං, අහං නු ඛෝස්මි, කෝ නු ඛෝස්මි, කිං නු ඛෝස්මි, කථං නු ඛෝස්මි, අයං නුඛෝ සත්තෝ කුතෝ ආගතෝ කුහිං ගාමී භවිස්සති.”

මම අතීතයේ වූයෙම් ද, නොවූයෙම් ද, මම අතීතයේ මනුෂ්‍ය දේව තිරශ්චීනාදීන්ගෙන් කවරක් වූයෙම් ද, මම අතීතයේ කෙබඳු සටහන් ඇතියෙක් වූයෙම් ද, මම අතීතයේ කවරක් වී කවරෙක් වූයෙම් ද, මෙසේ අතීතය පිළිබඳ වූ විචිකිච්ඡා පසෙකි. මම මරණින් මතු අනාගතයෙහි ඇත්තෙම් ද, නැත්තෙම් ද, මම අනාගතයෙහි කවරෙක් වන්නෙම් ද, කෙබඳු කෙනෙක් වන්නෙම් ද, මම අනාගතයෙහි කවරකු වී කවරෙක් වන්නෙම් ද, මෙසේ අනාගතය පිළිබඳ විචිකිච්ඡා පසෙකි. උත්පත්තියේ පටන් මරණය දක්වා පවත්නා වර්තමාන පඤ්චස්කන්ධය ගෙන මේ මම දැ යි සැක කරයි. මේ මම නොවෙම් දැ යි සැක කරයි. මම කවරෙක් ද, මාගේ සැටි කෙසේ ද? මම කොහි සිට මේ භවයට ආයෙම් ද, මෙයින් මම කොහි යන්නෙම් ද? මෙසේ වර්තමාන භවය සම්බන්ධයෙන් ඇති වන විචිකිච්ඡා සයෙකි. මේ සබ්බාසව සූත්‍රයේ දැක්වෙන විචිකිච්ඡා සොළස ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll