692. ගාථා කිව්වේ නැත්තං?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගාථා සච්චයනා කල යුතුමද? එය මනසෙන් මෙනෙහි කිරීම ප්‍රමාණවත් නැත් ද? පන්සිල් පද පහ මනසින් මෙනෙහි කොට අනුමෝදන් විය හැකිද? එය වචනයෙන් පැවසිය යුතුමද?

[සමාන - https://dhamma.lk.ingreesi.com/2019/08/190.html]

A. “මෙකල තුනුරුවන් වැඳීමේදී ද මල් පහන් ආදිය පිදීමෙහිදී ද සෑම දෙනා ම වාගේ නානා ප්‍රකාර ගාථා කියති. බොහෝ දෙනා ඒවා කිරීමේ දී ගාථා කිය යුතුම යැයි සිතති. ගාථා නො කියා ඒවා නො කළ හැකිය යි ඇතැම් හු සිතති. ඒ නිසා ඇතැම්හු මල් පූජා ආදිය කිරීමේ දී අමාරුවෙන් වුව ද කෙනෙකු සොයා ගාථා කියවා ගනිති. ගාථා කියන්නට බැරි කම නිසා ඇතැම්හු වැඳුම් පිදුම් නො කරති. ගාථා නො කියා ගාථා නැතිව වැඳුම් පිදුම් නො කළ හැකිය යනු වැරදි හැඟීමකි. වැඳුම් පිදුම් කිරීමට ගාථා කිය යුතුම කියා නියමයක් නැත. ගාථා නො කියා වැඳුම් පිදුම් කිරීමෙන් ද පින් සිදුවන්නේ ය. වැඳුම් පිදුම් කිරීමේ පින කුඩා මහත් වන්නේ කියන ගාථා අනුව නොව කරන තැනැත්තාගේ සිතේ ඇති ශ්‍රද්ධා ප්‍රඥාවන් අනුවය. බලවත් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව වඳින්නහුට බොහෝ අනුසස් ලැබිය හැකි වන බලවත් කුශලයක් අත් වේ. මඳ සැදැහැයෙන්, මඳ නුවණින් වඳින්නහුට දුබල කුශලයක් ලැබේ. සම්පූර්ණයෙන් ප්‍රඥාවෙන් තොරව වඳින්නහුට ඉතා දුබල කුශලයක් ලැබේ.”
https://pitaka.lk/books/punyopadeshaya/13-1.html

“බොහෝ දෙනා මේ වැඳීම පිදීම ගාථා කියා ම කළ යුත්තකැ යි සිතා යම් කිසිවක් පාඩම් කර ගෙන එය කියා වඳිති. තමන්ට නො තේරෙන දෙයක් කියමින් එසේ වන්දනා කරන්නවුන්ට එයින් ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත වූ දුබල කුශලයකි. ඒ දුබල කුශලයෙන්, වන්දනාවෙන් පූජාවෙන් ලැබෙන්නේයැ යි කියා ඇති උසස් අනුසස් නො ලැබෙන්නේ ය. එ බඳු කුශලයකින් මිනිස් ලොව උපදනේ ද දුබලයකු ව ම උපදී. දෙව්ලොව උපදනේ ද අල්පේශක්‍ය දෙවියෙක් වන්නේ ය. වන්දනා ගාථා ප්‍රයෝජන වන්නේ ඒවා තේරුම් ගෙන ඒවායින් කියවෙන ගුණ සිතට නඟා වන්දනා කළ හැකියන්ට පමණෙකි. පාළි ගාථාවල අදහස් තේරුම් ගෙන වැඳීම බොහෝ දෙනාට කළ හැක්කක් නො වන බැවින් මෙහි සිංහල වන්දනා පාඨයක් යොදා ඇත. එය පාඩම් කරගෙන එහි දැක්වෙන බුදුගුණ සලකා ගෙන එය කියා වන්දනා කිරීමෙන් ඥානසම්ප්‍රයුක්ත වන උසස් කුශල් අත්පත් කර ගත හැකිය.
මඟඵල ලබා නිවන් දැකිය හැකි වන්නේ ත්‍රිහේතුක පුද්ගලයන්ට පමණකි.”
https://pitaka.lk/books/punyopadeshaya/14.html

“ඉහත දැක් වූ කරුණු අනුව සිතන කල්හි දැනට කරගෙන යන පරිදි වැඳුම් පිදුම් කිරීමේ දී නොයෙක් ගාථා නොයෙක් වාක්‍යන් කීම නිෂ්ඵල නුවුමනා දෙයකැයි ඇතැමුන්ට සිතෙන්නට පිළිවන. බොහෝ වේලා නොයෙක් දේ කියමින් වැඳීම පිදීම වුවමනා නැති නිෂ්ඵල වැඩකැයි ඇතමුන් කියනු ද සමහරවිට ඇසේ. එසේ කියනුයේ ද ඔවුන්ගේ නො දැනීම නිසාය. වැඳුම් පිදුම් කිරීමේ දී රත්නත්‍රයේ ගුණ දැක්වෙන ගාථා හෝ වාක්‍යයන් කීමේ ප්‍රයෝජන බොහෝ ඇත්තේ ය. වඩා ප්‍රයෝජනය ඇති වන පරිදි එය හොඳින් සකස්කර ගන්නවා මිස අත්හැර දැමිය යුතු නොවේ.”
https://pitaka.lk/books/punyopadeshaya/13-2.html


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll