121. "විෂ ඝෝර සර්පයා, දැක නෑර මෝඩයා"

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සර්පයෙක් (සතෙක්) මරන්න ම උණොත් පව් අඩු ද?

A. (වැඩිදුර - “පාරමිතා ප්‍රකරණය” - රේරුකානේ චන්දවිමල නාහිමි - පිටු 133/137 - 137/141.)

R. ප්‍රාණඝාතනයේ විපාක බොහෝය - "කර්මයන්ගේ විපාක, ප්‍ර‍තිසන්ධි විපාක ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.

ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි." එබැවින්,

ප්‍රාණඝාතය, හිංසනය ආදිය වෙනුවට මඟහැරයාම, (අල්වා) මුදාහැරීම (අභය දානය), ඉපැරණි සිංහල කෙම්/විද්‍යාත්මක ක්‍රම ආදිය අනුගමනය කිරීමට උපක්‍රමශීලී වෙන්න.

(අවවාදය!) සැලකිය යුතුයි : ඔබ මෛත්‍රිය බහුලව වඩන්නෙක් නොවේ නම්, මෛත්‍රි සහගත චිත්තය පුළුල්ව පතුරවන්නෙක් නොවේ නම්, මෛත්‍රි චිත්තය ප්‍රබලව ඇති කරගත නොහැක්කෙක් නම්, තමාගේ ගුණ දහම් ප්‍රබලව සිහිකර ගත නොහැක්කෙක් නම්, සීල/සමාධි/ප්‍රඥා දුබල නම් ...

(සර්පයෙකු නම්, මෙකල) උගේ නෛසර්ගික ප්‍රතික්‍රියාව වශයෙන් හෝ ආරක්ෂණය ආදිය උදෙසා හෝ දෂ්ටනය සිදු කිරීමේ සම්භාවිතාවය ඉතා ඉහළ අගයක් ගනී. ප්‍රවේසම්වෙන්න!


R. "උසස් ලෙස සිල් රැකි උතුමන්ගේ චරිත කථා.

පෙර ලක්දිව උතුරුවඩුන්නා පව්වෙහි වෙසෙන එක්තරා ගොවියෙක් අම්බරිය විහාරයේ වෙසෙන පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී ගොවිකමින් දිවි රකිමින් විසූයේය. එක් දිනෙක සීසාන අතර වල් වැදුණු ගොනුන් සොයනු පිණිස ඔහු උතුරුවඩුන්නා පව්වෙහි ඇවිදින අතර නපුරු පිඹුරෙකුට හසු විය. පිඹුරා තදින් ගොවියාගේ සිරුර වෙළන්නට පටන් ගත. ගොවියාගේ අතෙහි හොඳට කැපෙන කැත්තක් ද තිබුණි. පිඹුරා ගෙන් ගැලවෙනු පිණිස කැත්තෙන් උගේ හිස කපා දමන්නට ගොවියාට සිත් විය. ඔහුට එ කෙණෙහිම පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් සමාදන් වූ ශීලය සිහි විය.

සම්භාවනීය ගුරුවරයකුගේ සමීපයෙහි දී සමාදන් වූ ශීලය බිඳලීම නුසුදුසු"යි ගොවියා ඉවසුවේ ය. පිඹුරා තවත් වෙළීම තද කරන්නට විය. ගොවියාට බලවත් වේදනා ඇති වී නැවතත් පිඹුරා මරා දමන්නට සිත් විය. එහෙත් හේ එසේ නො කොට ශීලයම රක්ෂා කෙළේ ය. පිඹුරා වෙළුම තවත් තද කරන්නට වන. ගොවියාට නැවත ද ඌ මරා දැමීමේ අදහස පහළ විය. එහෙත් එසේ නො කොට ජිවිතය පරිත්‍යාග කරන්නටත්, ශීලය නො බිඳින්නටත් සිතා තවත් වේදනාව අධික වන කල්හි පිඹුරා මරන්නට සිදු නොවනු පිණිස කැත්ත ඈතට විසි කළේ ය. පිඹුරා ද ඔහු හැර ගියේ ය.

පෙර ලක්දිව විසූ " ධාර්මිකතිස්ස" රජතුමට වටුමස් කෑමේ ආශාව ඇති විය. රජතුමා "ඉදින් මම වටුමස් කන්නට කැමැත්තෙමි" යි අන්‍යන්ට කිවහොත් බොහෝ වටුවන් මරන්නාහ යි සිතා උපන් ආශාව ඉවසමින් තුන් අවුරුද්දක් ගත කළේ ය. ආශාව නිසා ම තෙවසකින් පසු රජතුමාගේ කන් අඩි පැසවීය. ඉන්පසු රජතුමා ඉවසිය නො හැකි වී," මේ නුවර හොඳින් සිල් රක්නා කෙනෙකු ඇත්දැ'යි විචාළේය. "එසේ ය, දේවයන් වහන්ස, නොකඩ කොට සිල් රක්නා තිස්ස නමැත්තෙක් ඇතැය'යි කීහ. රජතුමා ඔහු කැඳවන ලෙස අණ කළේ ය. තිස්ස අවුත් රජුට වැඳ සිටියේ ය.

ඉක්බිති රජතුමා ‘උඹ තිස්සදැ'යි ඔහු ගෙන් අසා, "එසේ ය”යි කී කල්හි ඔහුට යන්නට අණ කොට ඔහු මඳක් දුර ගිය කල්හි කුකුළකු ගෙනවා මේ කුකුළා ගේ මස් තුන් ආකාරයකින් පිස අපට ගෙනැවිත් දෙන ලෙස කියා එක්තරා පුරුෂයකු අත තිස්සට යැවී ය. රාජ පුරුෂයා කුකුළා ගෙන ගොස් තිස්සට කාරණය කී ය. එකල්හි තිස්ස කියනුයේ "පින්වත, ඉදින් මේ කුකුළා මළ එකකු වී නම් අප දන්නා සැටියට පිස රජතුමාට පිළිගැන්විය හැකි ය. ප්‍රාණඝාතය නම් මම නො කරමි"යි කී ය.

රාජ පුරුෂයා රජු කරා ගොස් රජුට ඒ බව කී ය. රජතුමා නැවතත් තිස්ස වෙත ගොස් කුකුළා දෙන්නට නියම කළේ ය. රාජ පුරුෂයා ගොස් "පින්වත, රජ අණ බරපතල දෙයකි. එය නොඉක්මව ව, ශීලය නම් පසුව ද සමාදන් විය හැකි ය. රජ අණ කරව'යි කීය. එකල්හි තිස්ස කියනුයේ "පින්වත රජු මා නො මැරවූවත් මරණය ඒකාන්තයෙන් වන්නේ ය. එයින් නිදහස් විය නො හැකිය. ප්‍රාණඝාතය නම් මම නො කරමි'යි කීය. රාජ පුරුෂයා පෙරළා ගොස් රජුට ඒ බව සැළ කළේ ය. රජතුමා තුන්වන වර ද කුකුළා යැවී ය. තිස්ස නො පිළිගත් කල්හි නැවත ද තිස්ස ගෙන්වා රජතුමා ම තිස්සට කුකුළා පිස ගෙන එන ලෙස කී ය. තිස්ස රජතුමාට ද පළමු සේ ම කී ය.

ඉක්බිති රජතුමා රාජ පුරුෂයන් කැඳවා "මොහු රජ අණ ඉක්ම වන්නේ ය. මොහු ගෙන ගොස් මොහු ගේ හිස සිඳ දමව්" යයි කීයේ ය. එසේ කියා "මොහුට තර්ජනය කරමින් බිය ගන්වමින් මරණ තැනට ගෙන ගොස් හිස් කපනා කොටය උඩ මොහු නිදි කරවා මා හට කියව"යි රහසින් රාජ පුරුෂයන්ට දැන්වීය. රාජ පුරුෂයෝ තිස්ස උපාසක වධකස්ථානයට ගෙන ගොස් දංගෙඩිය මත හොවා, කුකුළා අතට දී රජුගේ නියෝගය කරත හොත් තවමත් නිදහස් වන්නට ඉඩ ඇති බව කීහ. තිස්ස උපාසක කුකුළා අතට ගෙන "දරුව, මාගේ ජීවිතය තට දෙමි. තාගේ ජීවිතය මම ගනිමි. තෝ සුවසේ යව" යි කියා කුකුළා හැරියේ ය. ඌ පියඹා ගසකට ගියේ ය. කුකුළාට අභය දුන් ඒ ස්ථානය කුක්කුටගිරි නම් වේ.

රජ ඒ ප්‍රවෘත්තිය අසා තිස්ස උපාසක ගෙන්වා සර්වාභ-රණයෙන් සරසවා, සත්කාර කරවා, "දරුව මට වටුමස් කෑමට ආශාව ඇති වී තුන් අවුරුද්දක් විය. එය සොයවා ගැනීමට සුදුස්සකු සොයනු පිණිස නුඹ ගැන විමසුවෙමි ය. මා හට ත්‍රිකෝටිපාරිශුද්ධ වටුමසක් සපයා දිය හැකිදැ"යි ඔහුගෙන් ඇසී ය. තිස්ස උපාසක "එසේ ය; දේවයන් වහන්ස ය"යි කියා රජුගෙන් අවසර ගෙන ගොස් එක් උදෑසනක නුවර දොරටුව ළඟදී මළ වටුවන් තිදෙනකු ගෙනෙන මිනිසකු දැක ඔහුගෙන් ඒවා මිලයට ගෙන පිස, රජුට පිළිගැන්වීය.

රජතුමා එක් වටුවකුගෙන් කැබෙල්ලක් කඩා මුඛයෙහි තැබීය. එකෙණෙහි රජුගේ ශරීරයේ සත් සියයක් රස නහරවල මස් රසය පැතිර ගියේය. එකෙණෙහි රජතුමාට සංඝයා වහන්සේ සිහි විය. එතුමා මම රජෙක් ව සිට ද වටුමස් කන්නට සිතී තුන් අවුරුද්දක් නො ලැබ සිටියෙමි. ආහාර පිසීම නො කරන භික්ෂූන් වහන්සේලා කොයින් වටුමස් ලබත්දැ'යි සිතා මුව තුල ලූ මස් කඩ බිම හෙළී ය. තිස්ස උපාසක දණ බිම හැණ ඒ මස් කඩ මුවින් ම ගත්තේ ය. එකල්හි රජතුමා මම නුඹේ නිර්දෝෂ භාවය දනිමි ය කියා මස් කඩ බිම හෙලූ කරුණ ඔහුට කියා ඉතිරි මස් ආරක්ෂා කර තබන්නට කී ය.

දෙවන දිනයෙහි රාජ කුලුපග තෙරුන් වහන්සේ පිඬු සිඟා වැඩියහ. තිස්ස උපාසක තෙරුන් වහන්සේ දැක පාත්‍රය ගෙන රජ මැදුරට වැඩමවා ගෙන ගියේය. මහලු කල පැවිදි වූ තවත් භික්ෂුවක් ද තෙරුන් වහන්සේ හා යන කෙනෙකුගේ විලාසයෙන් රජ ගෙදරට පිවිසියේය. තෙරුන් වහන්සේ ඒ භික්ෂුව රජු ගේ ආරාධනාවකින් එන කෙනෙකැ යි සිතා තුෂ්ණිම්භූත වූහ. උපාසක තුමා ද තෙරුන් වහන්සේ ගේ උපස්ථායක භික්ෂුවක් වන්නට ඇතැ'යි තුෂ්ණිම්භූත විය. රජතුමා ඒ දෙනම වඩා හිඳුවා කැඳ පිළිගන්වා වටුමස් පිළිගැන්වී ය. තෙරුන් වහන්සේ එක් වටුවකු පිළිගත්හ. අනික් භික්ෂුව ද එක් වටුවකු පිළිගත්තේ ය. රජතුමා ඉතිරි කොටස ද නො විචාරා වැළඳීම නුසුදුසු යි සිතා ඉතිරි මස තෙරුන් වහන්සේට එල විය. තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. අනික් භික්ෂුවට පිරිනැමූ කල්හි එය ද පිළිගත්තේ ය.

තුන් අවුරුද්දක් බලාපොරොත්තු වූ රජුට වටුමස් වළඳන්නට නො ලැබිණ. බලවත් දානාධ්‍යාශය ඇතියකු වුව ද රජතුමාට එදා සිත සතුටු කර ගන්නට නුපුළුවන් වි ය. වළදා අවසන් වූ පසු තෙරුන් වහන්සේ වඩනා කල්හි රජතුමා පාත්‍රය ද ගෙන උන් වහන්සේ අනුව ගොස් "ස්වාමීනි, ගෙවලට වඩනා කල්හි වත උගත් භික්ෂූන් සමඟ වඩනට වටනේය’යි සැල කෙළේ ය. එය අසා තෙරුන්වහන්සේ මහළු මහණ රජුගේ නිමන්ත්‍රණයෙන් පැමිණියකු නො වන බව තේරුම් ගත්හ.

තෙරුන් වහන්සේ පසු දින තමන් වහන්සේගේ උපස්ථායක සාමණේර නමක් සමඟ රජ මැදුරට වැඩියහ. රජතුමාට වටුවන් තිදෙනකු ලැබී තිබිණ. තෙරුන් වහන්සේ කැඳ වැළඳූ පසු රජතුමා වටුමස් එල වීය. තෙරුන් වහන්සේ එක් වටුවකු පිළිගත්තේ ය. ඉතිරි වටුවා සාමණේරයන්ට එල වූ කල්හි සාමණේරයෝ ඇඟිල්ලෙන් සංඥා කොට මැදින් කඩවා එක් කොටසක් පිළිගත්හ. රජතුමා එය ද නැවත තෙරුන් වහන්සේට එල වීය. තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක. සාමණේරයන්ට එල වූ කල්හි සාමණේරයෝ ද ප්‍රතික්ෂේප කළහ. රජතුමා ඉතිරි වටුමස් අනුභව කරමින්, වත් දත් පැවිද්දන් වහන්සේලා නිසා වටුමස් එකහමාරක මස් වළඳන්නට ලදිමි'යි කී ය.

ජීවිතයට ද උතුම් කොට සිල් රක්නා එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනකුන් මහාවත්තනි නම් වනයෙහිදී සොරු කළුවැල්වලින් බැඳ නිදිකර වූහ. නො මැරුණු පැලවෙන ස්වභාවය ඇති වැල සිඳ දැමීමෙන් ඇවැත් වන නිසා ඒ සිල්වත් තෙරුන් වහන්සේ ජීවිතය නිසා ද ඒ සුළු වරද නො කළහ. උන්වහන්සේ නිදා සිටිමින් ම විදසුන් වඩා අනාගාමී ඵලයට පැමිණ සත්වන දිනයෙහි කාලක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ.

ලක්දිව එක්තරා වනයක දී සොරු එක්තරා තෙරුන් වහන්සේ කෙනකු රසකිඳ වැල්වලින් බැඳ තැබූහ. ඒ තෙරුන් වහන්සේ වනය ගිනි ඇවිලීගෙන එන කල්හි ද වැල් නො සිඳ, එසේ ම හිඳ විදසුන් වඩා අර්හත්වයට පැමිණ ගින්නෙන් දැවී පිරිනිවන් පා වදාළ සේක. ජීවිතය නො තකා සිල් රැකි උතුමන් පිළිබඳ මෙබඳු කථා බොහෝ ඇත්තේ ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll