Q. අධ්‍යාපනික කටයුත්තක් සඳහා බෞද්ධ කොඩිය පිළිබඳ විස්තර පළ කිරීමට කාරුණික වන්න.
A. "ක්‍රි.ව. 1885 අප්‍රේල් මස 28 දින (අධි වෙසක් පසොළොස්වක) ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය එසවීනි. මෙය නිල වශයෙන් සිදුවූයේ ශ්‍රී ලංකාවෙදීය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. මෙවැනි තත්ත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්‍ෂූන් වහන්සේගේ අකලංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයකි. ඒ අනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත්, ලාංකේය ඉතිහාසයේත්, සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහි වීම විශේෂ ලක්‍ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.
සංකේතාත්මක සන්නිවේදනයේ මාධ්‍යයක් වශයෙන් දුරාතීතයේ සිට ම භාවිතා කළ කොඩියේ පරමාර්ථ අතිශය පුළුල් පරාශයක යෙදේ. ඒ පිළිබඳ විවරණයක් සපයන සිංහල විශ්ව කෝෂයේ ‘ජන කොට්ඨාසයක්, සංවිධානයක්, ආගමක්, විශේෂ ජයග්‍රහනයක් හෝ ශෝකාත්මක අවස්ථාවක් පිළිබිඹු කිරීමට ද ඓශ්චර්යය, සෞභාග්‍ය, ආරක්‍ෂාව අභියෝගය, අවනත භාවය, අභිමානය, ගෞරවය, පක්‍ෂපාතීත්වය හා අපේක්‍ෂා යන විවිධාර්ථ ප්‍රකාශ කිරීම පිණිස කොඩිය හෙවත් ධ්වජය භාවිතා කෙරේ.’ යනුවෙන් අන්තර්ගතය. ඒ අනුව බෞද්ධ කොඩිය බිහි වූයේ බුදු දහම, බෞද්ධ සමාජය, බොදු හැදියාව, බෞද්ධත්වය කොටින්ම බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කිරීම පිණිසයි. ලෝකයේ ඇති එකම උතුම් ආගම ලෙසද විදහා දක්වයි.
බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) පීත (කහපාට) ලෝහිත (රතු පාට) ඔදාත (සුදු පාට) මාංජෂ්ට (මදටිය පාට) ප්‍රභාස්වර (සියලු පාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය.
නීල : බුද්ධ ශරීරයේ කෙස් ලොම් ආදියෙන් විහිදී ගිය වර්ණය.
පීත : බුද්ධ ශරීරයේ සම තුළින් විහිද ගිය වර්ණය.
ලෝහිත : බුද්ධ ශරීරයේ ලේ මස් ආදිය තුළින් විහිදී ගිය වර්ණය.'
ඕදාත : බුද්ධ ශරීරයේ ඇට සහ දත් තුළින් විහිද ගිය වර්ණය.
මාංජේෂ්ඨ : බුද්ධ ශරීරයේ අතුල්ල පතුල්ල තොල් වලින් විහිද ගිය වර්ණය.
තව ද,
> නීල වර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්‍රීයත් සාමයත්,
> කහ වර්ණය මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව,
> රතු වර්ණයෙන් පාටින් ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්යසාඵල්‍ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වය,
> සුදු පාටින් ධර්මයේ පාරිශුද්ධ බව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහසත්,
> තැඹිලි පාටින් ප්‍රඥාව හා බෞද්ධ දේශනයත්,
> වර්ණ පහෙන් සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථ ගැන්වෙන බව දැක්වේ."