589. පෙළ පොතත් වැරදි යි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නමෝ බුද්ධාය!
නවය වසර පාසල් බුද්ධ ධර්ම පොතේ සදහන් වෙන්වා බුදු රජාණන් වහන්සේගේ අවසන් මහා රහතන් වහන්සේ සුභද්‍ර රහතන් වහන්සේ බව,
එහෙත් මා කියවා දැනගත් පරිදි සුභද්‍ර ස්ථවිරයන් වහන්සේ පෘථජන භික්ෂූන් වහන්සේ නමකි.
මෙහි නිවරදිබාවය දැනගන්නට කැමතියි
බුදු රදුන් ජීවමාන කල අවසන් මහා රහතන් වහන්සේගේ නාමය කුමක්ද?

A. එකම නාමය / නම වුවත්, ඒ දෙදෙනෙකි.

A / R. “එකල සුභද්‍ර නම්වූ පරිබ්‍රාජකයෙක් (ශාසනයෙන් පිට මහණ තැනැත්තෙක්) කුසිනාරා නම් නුවර වාසය කරන්නේය. ඒ සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම ‘අද රාත්‍රියගේ පශ්චිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේයයි’ කියා ඇසුයේය. ....

“තෙන ඛො පන සමයෙන සුභද්දො නාම පරිබ්බාජකො කුසිනාරායං පටිවසති. අස්සොසි ඛො සුභද්දො පරිබ්බාජකො - ‘‘අජ්ජ කිර රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සතී’’ති.” ....

සුභද්‍ර ස්ථවිර තෙම වනාහි රහතන් වහන්සේලා අතුරෙන් එක්තරා රහත් නමක් විය. ඒ සුභද්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශාක්ෂි ශ්‍රාවක (භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන කල්හි මහණව පසුව රහත්වූ ශ්‍රාවකයා) නම් විය.”

“අඤ්ඤතරො ඛො පනායස්මා සුභද්දො අරහතං අහොසි. සො භගවතො පච්ඡිමො සක්ඛිසාවකො අහොසීති.”

https://pitaka.lk/main?n=161234&p=212

A / R. “ඒ කාලයෙහි සුභද්‍ර නම් බුඞ්ඪ පබ්බජිතයෙක් (මහලුවූ පසු මහණවූවෙක්) ඒ භික්ෂු පිරිසෙහි උන්නේය. සුභද්‍ර නම් බුඞ්ඪ පබ්බජිත තෙම ඒ භික්ෂූන්ට මෙසේ කීය. “ඇවැත්නි, තොප හැඬීමෙන් කම් නැත, සෝක නොකරව්. විලාප නොකියව. ඒ මහාශ්‍රමණයා කෙරෙන් අපි හොඳින් මිදුණෝ වෙමු. තොපට මේ දෙය කැපවන්නේය. මේ දෙය තොපට කැප නොවන්නේයයි අපි පීඩා ලබමින් සිටියෙමු. දැන් අපි යමක් කැමති වෙමුද ඒ දෙය කරම්හ, යමක් නොකැමැති වෙමුද ඒ දෙය නොකරම්හ” යනුවෙනි. එවිට ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “තොප හැඬීමෙන් කම් නැත. තොපි ශෝක නොකරව් විලාප නොකියව්. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සිතට ප්‍රිය සියලු දෙයින් වෙන් වන බව දුරුවන බව අන් බවකට පෙරළෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඇවැත්නි, හටගත්තාවූද පහළවූද ප්‍රත්‍යයෙන් උපදනාවූද විනාශවන ස්වභාවය ඇති සියල්ල ඒකාන්තයෙන්ම විනාශ නොවේවයි යන මේ කාරණයසිදු නොවෙන්නේයයි” කීවේය.”

“තෙන ඛො පන සමයෙන සුභද්දො නාම වුද්ධපබ්බජිතො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො සුභද්දො වුද්ධපබ්බජිතො තෙ භික්ඛූ එතදවොච - ...”

https://pitaka.lk/main?n=161238&p=232

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll