220. විඤ්ඤාණ හා නාම යනු එකක් ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. නාමරූප යනු කුමක්දැයි පහදාදියහැකිද​?
2. පටිච්ච සමුප්පාද ධර්මය ගැන සිතීමේදී, එහි එන "විඤ්ඤාණ " හා "නාමරූප " යන කොටස මට පැටලිළි සහගතයි. විඤ්ඤාණ හා නාම යනු එකක්මද​?.

A / R. 1. "එක් සත්ත්වයකුට නාමකාය ය, රූපකාය ය යි දෙ කයක් ඇත්තේ ය. සත්ත්වයා අයත් චිත්ත චෛතසික පරම්පරාවට නාමකාය යයි කියනු ලැබේ. ඇසට පෙනෙන්නට තිබෙන ශරීරයට රූපකාය ය යි කියනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාවට නාම ය යි කියනුයේ ශරීරය සේ ඇසින් බලා හෝ අතින් අල්ලා හෝ දත හැක්කක් නොව, නම අසා නමට අනුව ම දත යුතු බැවිනි. නාමය ස්කන්ධ වශයෙන් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥාන ස්කන්ධය යි සතරක් වේ. විඥානස්කන්ධය හැර ඉතිරි ස්කන්ධ තුන විඥානය නිසා හටගන්නා නාමය යි. රූපය භූතරූපය උපාදායරූපය යි දෙ වැදෑරුම් වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ප්‍ර‍ධාන රූප සතර භූත රූප නම් වේ. ඒ රූප සතර නිසා පවත්නා වූ වර්ණ ගන්ධ රසාදි අප්‍ර‍ධාන රූප සූවිස්ස උපාදාය රූප නම් වේ. රූප සියල්ල ම අට විස්සකි."

A / R. "චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය යන මේ සය සංස්කාර හේතුවෙන් හටගන්නා වූ විඤ්ඤාණය යි දැක්විණ. ‘විඤ්ඤාණය’ යනු දැනීම හෙවත් සිත ය. සයක් වූ විඤ්ඤාණයන්ගෙන් චක්ඛුවිඤ්ඤාණයට පෙනීම ය යි ද, සෝතවිඤ්ඤාණයට ඇසීම ය යි ද කියනු ලැබේ. විඤ්ඤාණය සාමාන්‍යයෙන් එකක් වුව ද කුශලාකුශලාව්‍යාකෘත වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් මෙහි ගනු ලබනුයේ අව්‍යාකෘත විඤ්ඤාණය යි. එ ද විපාක ක්‍රියා වශයෙන් දෙවැදෑරුම් වේ. මෙහි ගනු ලබනුයේ විපාක විඤ්ඤාණය යි."


R. "සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං.
සංස්කාරයන් හේතු කොට විඤ්ඤාණය වේ.
ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයන් හේතු කොට ඇති වන විඤ්ඤාණය ය. ලෝකෝත්තර විපාක මෙහි නො ගනු ලැබේ. ලෞකික විපාක ද, ප්‍ර‍තිසන්ධි විපාක - ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ කොටසකි. සංස්කාරයන් අතුරෙන් උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාකයන්ට ප්‍ර‍ත්‍යය නො වේ. අභිඥා චේතනාව එක ම විපාක විඤ්ඤාණයකට ද ප්‍ර‍ත්‍යය නො වේ. උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාක නො දෙන බව පස්වන පරිච්ඡේදයේ කියා ඇත. අභිඥා චේතනාව ඔබට දත හැකි වන්නේ කර්මස්ථාන කාණ්ඩයෙන් ය.

සංස්කාරයන් හේතු කොට විපාක විඤ්ඤාණයන් ඇති වීම ගැඹුරු කරුණෙකි. කර්මයක් නැතිව මේ විපාක විඤ්ඤාණයන් ඇති වන්නේ නම්, හැම විපාක විඤ්ඤාණයක් ම සැම දෙනාට ම ඇති විය යුතු ය. ඒ ඒ කර්ම කළවුන්ට මිස, අන්‍යයන්ට ඒ ඒ කර්මයන් සම්බන්ධ විපාක විඤ්ඤාණ ඇති නො වේ. කර්මයක් නැතහොත් විපාක විඤ්ඤාණයක් ඇති නො වන බව එයින් තේරුම් ගත යුතු ය. කර්මය ඇති කල්හි ම විපාක විඤ්ඤාණයන් ඇති වන බැවින් කර්මය විපාක විඤ්ඤාණයන්ට ප්‍ර‍ත්‍යය වන බව දත හැකි ය."

"විඤ්ඤාණ පච්චයා නාමරූපං.
විඤ්ඤාණය හේතු කොට නාමරූපය වේ.
විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමයෝ නම් ඒ ඒ විඤ්ඤාණයන් හා බැඳී උපදනා චෛතසිකයෝ ය. චෛතසික දෙපනස ය, කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් හට ගත් නාම රූපයෝ ය යන මේවා විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමරූපයෝ ය. ඒ ඒ විඤ්ඤාණයන් නිසා හට ගත හැකි නාම-රූප වෙන් වශයෙන් ඉහත පරිච්ඡේදවලදී කියවුණු කරුණු අනුව තේරුම් ගත යුතු ය.
සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන්නේ විපාක විඤ්ඤාණයන් පමණෙකි. කුශලාකුශල ක්‍රියා විඥානයෝ ද නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වෙති. එබැවින් සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන විඥානය විපාක විඥානය වශයෙන් ද, නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වන විඥානය, විපාක අවිපාක විඤ්ඤාණ සියල්ල ම බව ද දත යුතු ය.
ප්‍ර‍තිසන්ධි විඥානය ප්‍ර‍ත්‍යය වන්නේ නාමයන්ට හා කර්මජ රූපයන්ට පමණෙකි. ප්‍ර‍වෘත්ති විඥානය නාමයන්ට හා සියලු ම රූපයන්ට ප්‍ර‍ත්‍යය වේ.
විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප හට ගැනීම භව අනුව තේරුම් ගත යුතු ය. කාම-රූප භව දෙක්හි විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප දෙක ම ඇති වේ. අරූප භවයෙහි විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නේ නාම පමණෙකි. අසංඥ භවයෙහි විඥාන නැත්තේ ය. එහි අතීත භවයට අයත් කර්ම විඥානයේ බලයෙන් රූප පමණක් ඇති වේ.
විඥානය පහළ නුවුවහොත් නාම රූපයන්ගේ පහළ වීමක් නෙ ාව්නනේ ය. එයින්  නාම-රූපයන්ගේ පහළ වීම විඤ්ඤාණය නිසා වන්නක් බව දත හැකි ය. ගින්න හටගන්නා කල්හි එයින් ආලෝකය ඇතිවන්නාක් මෙන් විඤ්ඤාණය හටගන්නා කල්හි එයින් නාම රූප ද ඇති වීම දත යුතු ය."

Q. මෙතන (නාමරූප යටතේ) සඳහන් කර ඇති "ඵස්ස" යන්නත්, පටිච්ච සමුප්පාදයේ සළායතන වලට පසුව එන "ඵස්ස" යන්නත් කොහොමද පැහැදිලි කරගන්නේ? මේ දෙකම එකක්ද​?

A. "විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාම හටගන්නා විට හා සළායතන ප්‍රත්‍යයෙන් හටගන්නා “ඵස්ස” යනු දෙකම එක ම “ඵස්ස” චෛතසිකය ම වේ. එහෙත් මෙතැන ලොකු පැහැදිළි වෙනසක් තියනවා.
ඒතමා, විඤ්ඤාණය ප්‍රත්‍ය නොවුණොත් “ඵස්ස” චෛතසිකය (කිසිම චෛතසිකයක්) ඇති වෙන්නේ නෑ. ඒ වගේම තමයි ආධ්‍යාත්මික ආයතන හය ප්‍රත්‍ය නොවුණොත් “ඵස්ස” චෛතසිකය උපදින්නේ (ක්‍රියාකාරී) වෙන්නේ නෑ.
කාම ලෝකයේ සම්ඵස්ස හය ම ඇති උණත්, අරූප ලෝකයේ ඇතිවන්නේ “මනෝ සම්ඵස්සය” ම පමණකි. ඒ අනුසාරයෙන් වැඩිදුර හිතා බලන්න."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll