843. ගුරුන් නැතුව හකුරු කන්න ම බැරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සතිපට්ටානය වඩන්න ගුරුවරයෙක් අවශ්යද?

A / R. "... භාවනා කිරීමට ඉතාම සුදුසු ක්‍රමය නම් භාවනා පිළිබඳ පුරුද්ද ඇති ගුරුවරයකු ඇසුරු කරමින් භාවනා කිරීමය. එබඳු ගුරුවරයකු නොලැබිය හැකි කල්හි පොත පතින් කරුණු දැන උගෙන වුව ද භාවනා කළ යුතුයි. එසේ කරන අය පරෙස්සමින් කළ යුතුය. ආශ්‍රය කිරීමට තවත් යෝගාවචරයන් සොයා ගැනීම ද ඉතා ප්‍රයෝජනය. පමණට වඩා ඉන්ද්‍රියයන් වෙහෙස වීමෙන් ද පමණට වඩා නින්දෙන් වැලකීමෙන් ද සිහි විකල ගති සමහර විට ඇති විය හැකියි. පරෙස්සමින් භාවනා කළ යුත්තේ එහෙයිනි. ශරීරයත් සිතත් දෙක භාවනාවට හොඳින් පුරුදු වූ පසු භාවනාව ඉතා මිහිරි වන්නේය. එසේ පුරුදු වීමෙන් පසු කොතෙක් කල් භාවනාවේ යෙදුණත් අමාරුවක් නොවේ. භාවනාවෙහි යෙදීම ම යෝගාවචරයාට සුවයක් වේ. භාවනාව පීඩාවක් හැටියට දැනෙන්නේ ද ප්‍රිය දෙයක් නොවන්නේ ද පුරුදු වන තෙක් ය.

තමන් විසින් ආරක්‍ෂා කළ යුතු, වගකිය යුතු දෙයක් තිබීම යෝගාවචරයනට බාධාවකි. භාවනා කරන්නට වන් කල්හි සිත ඒවාටත් යන බැවින් එබඳු දෙයක් ඇති තැනැත්තා හට සමාධිය ඇති කර ගැනුම අපහසුය. භාවනා කරනු කැමති අය ධනය හා නෑ මිතුරන් හැර පැවිදි වන්නේ ඒ බාධාවෙන් මිදෙනු පිණිසය. ධනය හා නෑ මිතුරන් හැර දැමීම සැමට ම කළ හැකි වැඩක් නොවේ. එබැවින් ඒවා තබා ගෙන ගිහිව භාවනා කරන පින්වතුන් විසින් තමන් භාවනා කරන අවස්ථාවේදී ඒවා ගැන සොයන්නට සිතන්නට සිදු නොවනු පිණිස ඒවා රැකෙන ක්‍රමයක් සලස්වා ගත යුතුය. එසේ ද කැරගත නොහෙන තැනැත්තා විසින් වන්නක් පිළිගන්නට සූදානම් වී තමන්ගේ සිත දැඩි කර ගත යුතුය.

කමටහන් දෙන ගුරුවරයකු ලැබ ගුරුවරයකු ඇසුරු කරමින් භාවනා කරන්නට යන තැනැත්තා විසින් ශුභ දිනයකදී ගුරුවරයා වෙත එළඹ ගෞරවයෙන් ගුරු පඬුරු පිළිගන්වා පා වැඳ කමටහන් ලබාගෙන ගුරුවරයා නියම කරන ආකාරයෙන් භාවනා කරගෙන යා යුතුය.

ගුරුවරයකු නොමැතිව පොත පතින් භාවනා ක්‍රමය උගෙන භාවනා කරන්නට පටන් ගන්නා තැනැත්තා විසින් යම් කිසි දිනයක අරුණෝද්ගමන වේලාවේදී හෝ ශුභ දිනයක හෝ ශුභ මුහුර්තයෙක දී හෝ බුදු රුවක් ඉදිරියට හෝ දාගැබක් සමීපයට හෝ ගොස් මල් පහන් සුවඳදුම් ආහාර ගිලන් පස ආදි පූජා වස්තූන් අවස්ථාවට සුදුසු පරිදි පුදා, තුනුරුවන් වැඳ දෙවියන්ට පින් දී යෝගාවචරයා ගිහියෙක් වේ නම් තිසරණ සහිතව තමන් සමාදන් වන ශීලයක් එතැනදී ම සමාදන් වී එතැන ම හිඳ හැකි පමණ වේලාවක් භාවනා කළ යුතුය. යෝගාවචරයා පැවිද්දෙක් වේ නම් ඇවැත් දෙසුම් ආදියෙන් පළමුව සිල් පිරිසිදු කරගෙන වැඩ පටන් ගත යුතුයි. රුවන්වැලි මහ සෑය වැනි පෞරාණික සිද්ධස්ථානයෙක දී භාවනාව ආරම්භ කළ හැකි නම් වඩාත් හොඳය. ආරම්භයේදී තෙදිනක් හෝ සතියක් එබඳු තැනක ම භාවනා කළ හැකි නම් වඩාත් යහපති. ..."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll