274. ප්‍රාර්ථණීය බෝධිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මා අසා තිබෙනවා පින්කමක් අවසානයේ එම පින පතන්න වූ බෝධියකින් නිවන් සුව පිණිස හේතු වේවා යනුවෙන් සදහන් කරනවා. එහි තේරුම කුමක්ද? යමෙක් යම් බෝධියකින් නිවන් ලැබීමට ප්‍රර්ථනා කරනවා නම් පාරමී ධර්මයන් පිරිය යුතුද? එවන් අයෙක්ට ධර්මය ශ්‍රවනය කර මාර්ගයේ ගමන් කල පමණින් නිවන් දැකිය නොහැකිද? පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!

A / R. "තුන්තරා බෝධිය කියැවෙන තන්හි ගැනෙන "බෝධි" යන වචනයෙන් කියැවෙනුයේ ලෝකෝත්තර වූ ආර්‍ය්‍යමාර්ගය හා සර්වඥතා ඥානය ය. බෝධි යනුවෙන් කියැවෙන ලෝකෝත්තර මාර්ගය සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය. ශ්‍රාවක බෝධිය යයි තෙවැදෑරුම් වේ. එයින් ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ලබන සර්වඥතා ඥානාදි සකල බුද්ධ බලයනට කාරණය වන අර්හත් මාර්ගය සම්‍යක් සම්බෝධි නමි. මහාබෝධි යනු ද එයට ම නමෙකි. පසේ බුදුවරයන්ගේ අර්හත් මාර්ගය ප්‍රත්‍යේක සම්බෝධි නමි. බුද්ධ ශ්‍රාවකයන්ගේ අර්හත් මාර්ගය ශ්‍රාවකබෝධි නමි.

තුන්තරා බෝධියෙන් යම්කිසිවක් පතා පින්කරන්නා වූ සත්පුරුෂයෝ බෝධිසත්ත්ව නම් වෙති. බෝධිත්‍රයා ගේ වශයෙන් බෝධි සත්ත්වයෝ තිදෙනෙකි. සම්‍යක් සම්බෝධිය පිණිස පින් කරන තැනැත්තේ මහාබෝධිසත්ත්ව නමි. ඒ මහා බෝධිසත්ත්වයනට මහා සත්ත්වයෝ යයි ද කියනු ලැබේ. ප්‍රත්‍යේක සම්බෝධිය පිණිස පින් කරන තැනැත්තේ ප්‍රත්‍යේක බොධිසත්ත්ව නමි. ශ්‍රාවක බෝධිය සඳහා පින් කරන තැනැත්තේ ශ්‍රාවක බෝධිසත්ත්ව නමි."

 “සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය, ශ්‍රාවක බෝධිය ය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නො පැමිණ කිසිවකුට සසර දුකින් මිදී නිවනට නො පැමිණිය හැකි ය. ඒ ඒ බෝධියට පැමිණීමට පිරිය යුතු පාරමිතාවන් සම්පූර්ණ නො කොට කිසිවකුට බෝධිත්‍රයෙන් එකකට වත් නො පැමිණිය හැකි ය. ....
මේ ජාතියේ රහත් වුවත් නොවූවත් රහත් වනු පිණිස වෑයම් කරන පින්වත්හු දැනුදු නැත්තාහු නො වෙති. ඔවුනතර මේ ජාතියේ දී ම රහත්වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙත් නම්, ඔවුහු ක්‍රමානුකුලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත් නම්. ඒ පින්වත්හු සව් කෙලෙසුන් නසා මේ ජාතියේදී ම රහත් ව නිවන් දක්නාහ. එසේ උත්සාහ කරන පින්වතුන්ට මේ ජාතියේදී රහත් වන්නට නුපුළුවන් වුයේ ද, ඒ උත්සාහය නිෂ්ඵල නො වන්නේ ය. එය පසු ජාතියක දී අර්හත්වය ලැබීමේ පාරමිතාව වන්නේ ය. ....

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සන්තානයන්හි ඇත්තේ ඒ ඥානවිප්‍ර‍යුක්ත භවාංගය ය. උත්කෘෂ්ට ඥානසම්ප්‍ර‍යුක්ත කුශලයෙන් අතිශයින් පරිශුද්ධ වූ ඥානසම්ප්‍ර‍යුක්ත භවාංගයක් උපදවනු ලැබේ. එය අභිධර්ම පොත්වල ත්‍රිහේතුක භවාංග නාමයෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක භවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද කරුණු එහි සැපෙයි. එබැවින් ඒ භවාංගය ඇති සන්තානයෙහි ස්කන්ධ ධාත්වායතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍ර‍තීත්‍යසමුත්පාදාදි ධර්ම දැන ගන්නා වූ ද ධර්මයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ දැනගන්නා වූ ද සිත් වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහු ම ධ්‍යාන මාර්ගඵලාදි උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නො සමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මයේ දී ම ලැබීමට ත්‍රිහේතුක පුද්ගලයකු ම විය යුතුය යි කියනුයේ සුපරිශුද්ධ භවාංග සන්තානය නැතියවුන්ට ඒ ගැඹුරු ධර්ම සිතින් හසු කර ගත නො හෙන බැවිනි.”

A. බුදු, පසේබුදු, අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක රහතන් වහන්සේලා වී නිවන් දැකීමට නම් අදාළ පාරමිතා පිරිය යුතුය. නැතහොත් ඊට පහළ පියවරකින් නිවන් දැකීමට නම් ප්‍රමාණවත් තරම් ප්‍රභාශ්වර මනසක් තිබිය යුතුය.

කෙසේ නමුත් නිවන් දැකීම සඳහා ගන්නා කිසිදු (කායික/මානසික/වාචික) උත්සාහයක් කිසිදා අපතේ යන්නේ නැත. ඒවා පාරමී වන්නේ ය.

පාරමී = “බෝධිත්‍රය අතුරෙන් යම් කිසිවක් හෝ සංසාරයේ පර තෙර වූ නිවන හෝ පතා කරන්නා වූ කුශලයෝ “පාරමී” නම් වෙති. පාරමිතා යනු ද ඒවාට නමෙකි.”

("පාර" යනු ගංගා සමුද්‍රාදියේ පරතෙරට (එගොඩ ඉවුරට) නමෙකි. නිර්වාණය සංසාරයාගේ පරතෙර ය. එබැවින් එයට ද පාර යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. සංසාර සාගරයාගේ පරතෙර බැවින් පාර නම් වූ නිවනට පමුණුවන ධර්මයෝ ය, යන අර්ථයෙන් නිවන් පතා හෝ, බෝධිය පතා හෝ, කරන කුශලයෝ පාරමී නම් වෙති. තව ද "පරම" යනු උත්තම යන අර්ථය දෙන වචනයෙකි. දාන ශීලාදී ගුණ විශේෂයන් නිසා බෝසත්හු අන්‍යයන්ට වඩා උත්තම බැවින් පරම නම් වෙති. පරම නම් වූ බෝසතුන්ගේ ක්‍රියාවෝය යන අර්ථයෙන් ද නිවන් පිණිස හා බෝධිය පිණිස කරන්නා වූ කුශලයෝ පාරමී නම් වෙති. තවත් නොයෙක් ආකාරවලින් චර්‍ය්‍යාපිටකාර්ථකථාදියෙහි පාරමී ශබ්දය වර්ණනා කර තිබේ. ඒ සියල්ලෙන් ම දැක්වෙන්නේ සම්බෝධිය හා නිවන පතා කරන කුශලයෝ ම ය.”)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll