970. විශ්ව ශක්තිය ද? ප්‍ර‍ත්‍ය ශක්තිය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ධර්මයේ හෙතුපලවාදය මත ධර්මතා ඇතිවනු නැතිවනු මිස විශ්ව ශක්තිය හා සම්බන්ධ සදහනක් නැහැ නේද?
කරුණාකර පහදන්න.

A / S. “ප්‍ර‍ස්ථාන ක්‍ර‍මය

අනිකක් ඇතිවීමට උපකාර වන දෙයට “ප්‍ර‍ත්‍යය” යි කියනු ලැබේ. අනික් දෙයක් ඇති කරන දෙය “ප්‍ර‍ත්‍යය” යි කිව ද වරද නැත. අනිකක උපකාරයෙන් ඇති වූ දෙයට “ප්‍ර‍ත්‍යයෝත්පන්නය” යි කියනු ලැබේ. අනික් දෙයකින් ඇති කරන ලද දෙය “ප්‍ර‍ත්‍යයෝත්පන්නය” යි කීම ද සුදුසු ය. ගිනිකූර අග රඳවා ඇති ද්‍ර‍ව්‍යයෙහිත් ගිනි පෙට්ටියේ ආලේප කොට ඇති ද්‍ර‍ව්‍යයෙහිත් උපකාරයෙන් ගින්න ඇති වේ. ගින්න ඇති වීමට උපකාර වූ නැතහොත් ගින්න නිපදවූ ගිනි කූරෙහි හා ගිනි පෙට්ටියෙහි ආලේප කොට ඇති ද්‍ර‍ව්‍ය දෙවර්ගය ප්‍ර‍ත්‍යය ය. ගින්න ප්‍ර‍ත්‍යයෝත්පන්නය ය. මෙසේ ප්‍ර‍ත්‍යය-ප්‍ර‍ත්‍යයෝත්පන්න දෙක වෙන ම හැඳින ගත යුතු ය.

ගින්න ඇති වීමට ගිනි කූරෙහි ආලේප කළ ද්‍ර‍ව්‍යය උපකාර වන්නේ එක් ආකාරයකිනි. ගිනි පෙට්ටියේ ආලේප කර ඇති ද්‍ර‍ව්‍යය උපකාර වන්නේ අන් ආකාරයකිනි. ගිනි කූරේ බෙහෙත් හා ගිනි පෙට්ටියේ බෙහෙත් ගින්න ඇති වීමට උපකාර වන්නේ එක් ආකාරයකින් ම නම්, ඒ දෙකින් එකකින් ම ගින්න ඇති විය හැකි ය. එසේ නොවෙන්නේ ගින්න ඇති වීමට ඒ දෙකින් වෙන් වෙන් වූ ආකාර ඇති, උපකාර දෙකක් වුවමනා බැවිනි. ගිනි පෙට්ටියෙහිත් ගිනි කූරෙහිත් ප්‍ර‍ත්‍යය වන ආකාර දෙකක් ඇතුවාක් මෙන් ම ලෝකයෙහි ඇති අනේකප්‍ර‍කාර වස්තූන්හි තවත් දේවලට උපකාර වන නොයෙක් ආකාර ඇති බව දත යුතු ය. ඒ උපකාර වන ආකාර විශේෂයන්ට ‘ප්‍ර‍ත්‍යය ශක්තිය’ යි කියනු ලැබේ.

චිත්තය - චෛතසිකය - රූපය යන මේ පරමාර්ථ ධර්මයෝ ප්‍ර‍ත්‍යයෙන් හටගන්නෝ ය. [“සංස්කාර ධර්මයන් ඇති කරවන හේතූන්ට ප්‍ර‍ත්‍යය යන නාමය ද කියනු ලැබේ. https://pitaka.lk/books/abhidharma-margaya/9-1.html”] නිර්වාණය හා ප්‍ර‍ඥප්තිය ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා ඒවා නොවේ. ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා වූ ද, ප්‍ර‍ත්‍යයෙන් නො හට ගන්නා වූ ද සියල්ලෙහි ප්‍ර‍ත්‍යය ශක්ති ඇත්තේ ය. යම් කිසි ප්‍ර‍ත්‍යය ශක්තියක් නැති කිසි ම ධර්මයක් නැත්තේ ය. එක් ධර්මයක ඇත්තේ එක ම ප්‍ර‍ත්‍යය ශක්තියක් නොවේ. සමහර ධර්මවල බොහෝ ප්‍ර‍ත්‍යය ශක්ති ඇත්තේය. සමහර ධර්මයක ප්‍ර‍ත්‍යය ශක්ති ටිකක් ඇත්තේ ය.

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, කාලත්‍රයෙන් මුක්ත වූ ද පරමාර්ථ වශයෙන් හා ප්‍ර‍ඥප්ති වශයෙන් ද ඇත්තා වූ සකල ධර්ම සමූහයෙහි ප්‍ර‍ත්‍යය ශක්ති සූවිස්සක් ඇත්තේ ය. ඒ ප්‍ර‍ත්‍යය ශක්තීන් අනුව ඉහත කී ධර්ම සමූහය ප්‍ර‍ත්‍යය නාමයෙන් පට්ඨාන මහාපකරණයෙහි සූවිසි කොටසකට බෙදා දක්වා තිබේ. ඒ කොටස් සූවිස්සට “සූවිසි ප්‍ර‍ත්‍යය ය” යි කියනු ලැබේ. පට්ඨාන පාළියෙහි සූවිසි ප්‍ර‍ත්‍යය දක්වා තිබෙන පාඨය මෙසේය:- ..."


"ප්‍ර‍ත්‍ය විභාගය

පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුම පිරිසිදු වීමට, නිරවුල් වීමට ප්‍ර‍ත්‍යය විභාගය දත යුතුය. එය ගැඹුරු ධර්‍මයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රැස් විහිදෙන්නට පටන් ගත්තේ ද ප්‍ර‍ත්‍යය විභාගය ඇතුළත් මහා ප්‍ර‍ස්ථාන ප්‍ර‍කරණය මෙනෙහි කිරීමේ දී ය. අභිධර්ම පිටකයෙහි ප්‍ර‍ත්‍යය විභාගය දැක්වෙන්නේ පට්ඨාන ප්‍ර‍කරණයෙහි ය. එහි එන පච්චයුද්දේස පාඨය මෙසේය.

“හේතු පච්චයෝ, ආරම්මණ පච්චයෝ, අධිපති පච්චයෝ, අනන්තර පච්චයේ, සමනන්තර පච්චයෝ, සහජාත පච්චයෝ, අඤ්ඤමඤ්ඤ පච්චයෝ, නිස්සය පච්චයෝ, උපනිස්සය පච්චයෝ, පුරේජාත පච්චයෝ, පච්ඡාජාත පච්චයෝ, ආසේවන පච්චයෝ, කම්ම පච්චයෝ, විපාක පච්චයෝ, ආහාර පච්චයෝ, ඉන්ද්‍රිය පච්චයෝ, ඣාන පච්චයෝ, මග්ග පච්චයෝ, සම්පයුත්ත පච්චයෝ, විප්පයුත්ත පච්චයෝ, අත්ථි පච්චයෝ, නත්ථි පච්චයෝ, විගත පච්චයෝ, අවිගත පච්චයෝ.”

ප්‍ර‍ත්‍යය යනු පහළ නො වූ ධර්මයක පහළ වීමට ද, පහළ වූ ධර්මයන් පරම්පරා වශයෙන් වැඩීමට ද, පරම්පරා වශයෙන් දීර්ඝ කාලයක් පැවතීමට ද උපකාරක ධර්මය ය. පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ සකල ධර්මයෝ ම යම් කිසිවකට ප්‍ර‍ත්‍යය වන්නෝ ය. ප්‍ර‍ත්‍යය නො වන කිසි ධර්මයක් ලෝකයෙහි නැත්තේ ය. අන් කිසි ධර්මයක් ඇති කිරීමේ පාලනය කිරීමේ උත්සාහයක් සත්ත්ව පුද්ගල නො වන ධර්මයන්ට නැත. ගස් වැල් ඇති කරවීමේ හෝ වැඩීමේ හෝ ආරක්ෂා කිරීමේ හෝ බලාපොරොත්තුවක් උත්සාහයක් වර්ෂාවෙහි නැත. එහෙත් වර්ෂාව ඇති කල්හි පොළොවෙහි වෘක්ෂ ලතාවෝ පහළ වෙති. පහළ වූවාහු වැඩෙති. වැඩුණාහු නො නැසී පවතිති. එබැවින් වර්ෂාව ගස් වැල් වලට උපකාරක දෙයක් සැටියට කියනු ලැබේ. එමෙන් යම් කිසි ධර්මයක් යම් ආකාරයකින් ලැබෙන කල්හි, පවත්නා කල්හි ඒ ධර්මය නිසා තවත් ධර්මයක් පහළ වේ නම්, ඒ ධර්මයට ප්‍ර‍ත්‍ය හෙවත් උපකාරක ධර්මය යි කියනු ලැබේ. උපකාරක ධර්මය අනිකකි. එහි ඇත්තා වූ උපකාරකත්වය අනිකකි. ඒ දෙක එකක් සැටියට ගෙන අවුල් නොකර ගත යුතු ය. උපකාරක ධර්මයට කිය නම ප්‍ර‍ත්‍යය ය. එහි ඇති උපකාරත්වයට කියන නම ප්‍ර‍ත්‍යය ශක්තිය ය. ප්‍ර‍ත්‍යය තේරුම් ගැනීම පහසු ය. අපහසු ව්නනේ ඒ ඒ ප්‍ර‍ත්‍යය ධර්මයා ගේ ප්‍ර‍ත්‍යශක්තිය තේරුම් ගැනීම ය. සෑම ප්‍ර‍ත්‍යයක ම ශක්තිය තේරුම් ගැනීමට විශේෂයෙන් උත්සාහ කළ යුතු ය.

ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා වූ ධර්ම අතර යම් කිසි එක ම ප්‍ර‍ත්‍යයකින් හෙවත් එක ම දෙයක උපකාරයෙන් ම හට ගන්නා දෙයක් නැත. එක් දෙයක් ඇති වන්නේ ප්‍ර‍ත්‍යය බොහෝ ගණනක සාමග්‍රියෙනි. එක් දෙයක් ඇතිවීමට උපකාර වන වස්තු රාශිය ඒ දෙයට උපකාර ව්නනේ ද එක් ආකාරයකින් ම නොව නොයෙක් ආකාරයෙනි. ගසකට ගොවියා ද උපකාර කාරයෙකි. බීජය ද උපකාරයෙකි. පොළොව ද උපකාරයෙකි. පෝර ද උපකාරයෙකි. වතුර ද උපකාරයෙකි. අව්ව ද උපකාරයෙකි. සුළඟ ද උපකාරයෙකි. උපකාරත්වයෙන් ඒ සියල්ල සමාන වුව ද ඒවායින් සිදු කරන උපකාර එකිනෙකට වෙනස් ය. ගසට මිනිසා උපකාර වන්නේ එක් ආකාරයකිනි. බීජය උපකාර වන්නේ අන් ආකාරයකිනි. පොළොව උපකාර වන්නේ අන් ආකාරයකිනි. පෝර ආදිය උපකාර වන්නේ ද එකිනෙකට වෙනස් වූ ආකාර වලිනි. එසේ ම සෑම ඵලයකට ම නොයෙක් ආකාර වලින් උපකාර වන ප්‍ර‍ත්‍යය රාශියක් ඇති බව දත යුතු ය. යම් කිසිවකට උපකාර වන දේවල් අතුරෙන් එක් එක් දෙයක් තමා නිසා ඇති වන දෙයට දෙතුන් ආකාරයකින් ද සතර පස් ආකාරයකින් ද උපකාර වේ. එක් දෙයක් වූ වස්ත්‍ර‍ය මිනිසාට එක් වර ම ශරීරය ශෝභන කිරීමය. ශීතෝෂ්ණාදිය දුරු කිරීමය යන කෘත්‍ය දෙකකින් උපකාර වේ. එක් දෙයක් වූ ආහාරය මිනිසාට සා දුක දුරු කිරීම ය, ශරීරය තද කිරීමය, වර්ණවත් කිරීම ය, ශක්තිය ඇති කිරීම ය යනාදි කෘත්‍ය රාශියකින් එක වර ම උපකාර වේ. එසේ එක ම ප්‍ර‍ත්‍යය ධර්මය ඵලයට කීප ආකාරයකින් ද උපකාර වන බව දත යුතු ය. උපකාර භාවයෙන් සාමාන්‍යනේ ප්‍ර‍ත්‍යය එකක් වුව ද පට්ඨාන පකරණයෙහි ප්‍ර‍ත්‍යය සූවිස්සක් දක්වා තිබෙන්නේ උපකාර වන ආකාර බොහෝ බැවිනි.

එක් එක් ප්‍ර‍ත්‍යයක් පිළිබඳ ව ප්‍ර‍ත්‍යය, ප්‍ර‍ත්‍යයෝත්පන්නය ය, ප්‍ර‍ත්‍යනීකය යයි ධර්ම කොටස් තුනක් දත යුතුය. එහි ප්‍ර‍ත්‍යය යනු යම් කිසි ශක්ති විශේෂයකින් ඵලයට උපකාර වන ධර්මය ය. ප්‍ර‍ත්‍යයෝත්පන්නය යනු ප්‍ර‍ත්‍යය නිසා හටගන්නා ධර්මය ය. ප්‍ර‍ත්‍යනීක යනු ප්‍ර‍ත්‍යයෝත්පන්න භාවයට නො පැමිණෙන ධර්මයෝ ය. මේ ප්‍ර‍ත්‍යය කථාවෙහි ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්න ප්‍ර‍ත්‍යනීක විභාගය පහසු වනු සඳහා රූප සමූහය කොටස් සතකට ගණන් ගනු ලැබේ. චිත්තජ රූපය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍ර‍වෘත්ති කර්මජ රූපය යනු ඒ රූප කොටස් සත ය. මෙ තැන් පටන් පිළිවෙලින් ප්‍ර‍ත්‍යය සූවිස්ස විස්තර කරනු ලැබේ. ..."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll