Q. නවක, දශක, ඒකාදශ, ද්වාදශක, තේරසක යන රූප කලාප හා ශුද්ධාෂ්ටක අතර ඇති වෙනස හා ලක්ෂණ තේරුම් ගත හැකි සරල විස්තරයකින් පහදා දෙන්න. බුදුසරණයි!
A. “රූප කලාප
තනි තනිව රූපයෝ නූපදිති. එසේ ඉපදීමට සමත් බවක් ඒවාට නැත. මහාභූතයෝ සතර දෙන ඔවුනොවුන් කෙරෙහි ගැලී හෙවත් එකක් ඉතිරි තුන තුළට වැදී ඉතිරි තුන ඒ එක තුළ වැදී, දෙකක් ඉතිරිදෙක තුළට වැදී ඒ දෙක අනික් දෙක තුළට වැදී ඔවුනොවුන් ඇසුරු කොට සර්වප්‍රකාරයෙන් ඔවුනොවුන් හා බැඳී උපදිති. උපාදාය රූප නම් වූ ඉතිරි රූපයෝ භූතයන් තුළට වැද භූතයන් ඇසුරු කොට උපදිති. එසේ බැඳී උපදනා වූ රූප පිණ්ඩයකට කියන නාමය රූප කලාපය යනු යි.
අෂ්ටක කලාපයය, නවක කලාපයය, දශක කලාපයය, ඒකාදශක කලාපයය, ද්වාදශක කලාපයය, තේරසක කලාපයය යයි එක්වන්නාවූ රූප ගණන්වලට අනුව රූප කලාප සයක් වේ.
භූත රූප සතරය, වර්ණ ගන්ධ රස ඕජා යන උපාදාය රූප සතර ය යන මේ රූප අටින් පමණක් යුක්ත වන රූප පිණ්ඩය අෂ්ටක කලාපය ය. අෂ්ටක කලාප ඇත්තේ එකක් පමණකි.
නවක කලාප තුනකි. අවිනිර්භෝග රූප අටය ජීවිත රූපය ය යන මේ නවය ඇති කලාපය ජීවිත නවක නම් වේ. අවිනිර්භෝග රූප අටය, කාය විඥප්ති රූපය ය යන නවය ඇති කලාපය කායවිඥප්ති නවක නම් වේ. අවිනිර්භෝග රූප අටය, ශබ්දය යන මේ නවයෙන් යුක්ත පිණ්ඩය ශබ්ද නවක කලාප නම් වේ. මෙසේ නවක කලාප තුනක් වේ.
දශක කලාප නවයෙකි. අවිනිර්භෝග රූප අටය, ජීවිත රූපය ය, චක්ෂුඃ ප්‍රසාදය ය යන දශයෙන් යුක්ත වූ රූප පිණ්ඩය චක්ෂුර් දශක කලාප නම් වේ. අවිනිර්භෝග රූප අටය, ජීවිත රූපය ය යන මේ නවයට ශ්‍රෝත්‍ර ප්‍රසාදය එක්වීමෙන් ශ්‍රෝත දශක කලාපය වේ. ඒ නවයට ඝ්‍රාණ ප්‍රසාදය එක්වීමෙන් ඝ්‍රාණ දශක කලාපය වේ. ඒ නවයට ජිහ්වා ප්‍රසාදය එක්වීමෙන් ජිහ්වා දශක කලාපය වේ. ඒ නවයට කාය ප්‍රසාදය එක්වීමෙන් කාය දශක කලාපය වේ. ඒ නවයට ස්ත්‍රී භාව රූපය එක්වීමෙන් ස්ත්‍රී භාව දශක කලාපය වේ. ඒ නවයට පුරුෂ භාව රූප එක්වීමෙන් පුම්භාව දශක කලාපය වේ. ඒ නවයට හෘදය වස්තු රූපය එක්වීමෙන් වස්තු දශක කලාපය වේ. අවිනිර්භෝග රූප අටය, ශබ්ද රූපයය, වාක්විඥප්ති රූපය ය යන දශය වාක්විඥප්ති දශක කලාපය ය.
අවිනිර්භෝග රූප අටය, ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනය යන රූප එකොළොසින් යුක්ත වන රූප පිණ්ඩය ලහුතා ඒකාදශක කලාප නම් වේ. ඒකාදශක කලාප මේ එක පමණෙකි.
ද්වාදශක කලාප දෙකකි. අවිනිර්භෝග රූප අටය, කාය විඥප්ති රූපය ය, ලහුතාදි රූප තුනය යන මේ දොළොසින් යුක්ත වූ රූප පිණ්ඩය කාය විඥප්ති ලහුතාදි ද්වාදශක කලාපය ය. අවිනිර්භෝග රූප අටය, ශබ්ද රූපය ය, ලහුතාදි තුනය යන මේ දොළොසින් යුක්ත වූ රූප පිණ්ඩය ශබ්ද ලහුතාදි ද්වාදශක කලාපය ය. මෙසේ ද්වාදශක කලාප දෙකකි.
තේරසක කලාප දෙකකි. අවිනිර්භෝග රූප අටය, ශබ්දය ය, වාක්විඥප්තිය ය, ලහුතාදි තුනය යන රූප තෙලෙස එහි අඩංගු වන්නේ ය.
කලාපයන්ගේ පරිච්ඡේද මාත්‍රය වන බැවින් ආකාශ ධාතුව ද, කලාපයන්ගේ ලක්ෂණ මාත්‍රයක් ම වන බැවින් ලක්ෂණ රූපසතර ද කලාපවලට නො ගැනේ.”