175. "මම" කියලා කෙනෙක් ඇත්තට ම ඉන්නවා ද නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඇත්තටම "මම" කියල කෙනෙක් ඉන්නවද? ඇත්තටම "මම" කියල කෙනෙක් නැද්ද? පෙර බවයේ "මම" සහ මේ භවයේ "මම" යනු එකක්මද? (එක්කෙනෙක්ද?)

A. බොහෝ දෙනා "මම කියලා කෙනෙක් නෑ" කියලා කිව්වට, "මම" ඇත/සිටී කියා හෝ "මම" නැත/නොසිටී කියා බුදුන්වහන්සේ දේශනා කොට නැත. උන්වහන්සේ දේශනා කරන්නේ "මම නොවේ" - නෙසොහමස්‌මි (මාගේ නොවේ / මම නොවේ / මාගේ ආත්මය නොවේ) ලෙසටයි.
නැත/නෑ කියන වචනයයි නොවේ යන වචනයයි බැලූ බැල්මට නිශේදනාර්ථ හඟවන සමාන වචන දෙකක් සේ පෙනී ගිය ද, ඒ වචන දෙක අතර විශාල දාර්ශනික වෙනසක් පවතී - එනම්, නැත/නෑ කියන වචනය උච්ඡේද දෘෂ්ටිය ඇසුරු කරන අතර (ඇත යන වචනය ශාස්වත දෘෂ්ටිය ඇසුරු කරයි) නොවේ යන වචනය සම්‍යක් දෘෂ්ටිය ඇසුරු කරයි.
එනම්, අනෙක් අතට, නැත/නෑ කියූ විට ඇතිවීම හෝ හේතු ඵල දහම පෙන්විය නොහැක; "ඇත" කියූ විට නිරෝධය (නැතිවීම) පෙන්විය නොහැක. "නොවේ" කියූ විට, ඇතිවීම-පැවැත්ම-නැතිවීම හා හේතු-ඵල දහම පෙන්විය හැක.

 R. "සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි. ස්වාමීනි කෙතෙක් කරුණකින් වනාහි සම්‍යක්දෘෂ්ටිය වේද?”

... මේ ලෝවැසි තෙම බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. .... සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි."

A. “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘මෙය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්මයය, යන දෘෂ්ටිය උපදීද?” - http://pitaka.lk/23126/cs,aps

A. “… මම අතීත කාලයෙහි උත්පත්ති වශයෙන් කිසිවෙක් වූයෙම්ද? …. මම අනාගත කාලයෙහි කිසිවෙක් වන්නෙම්ද? …. මම යන කිසිවෙක් ඇත්තේද, මම යන කිසිවෙක් නැත්තේද, …; මෙසේ නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට සය ආකාර දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් උපදියි. …”
http://pitaka.lk/18102/18/cs,aps
http://pitaka.lk/18102/19/cs,aps
(http://pitaka.lk/18102/17/cs,aps 17 > 21)

Aපූර්‍වයොගප්‍රශ්නය / ‘පූර්වයොග ප්‍රශ්නය’ ද කියවන්න.

R. “ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි. ස්වාමීනි කෙතෙක් කරුණකින් වනාහි සම්‍යක්දෘෂ්ටිය වේද?”
කච්චායනය, මේ ලෝවැසි තෙම බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට වනාහි ලෝකයෙහි නැත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය, නොවෙයි කච්චායනය, මේ ලෝවැසි තෙම වනාහි බොහෝ සෙයින් උපාය උපාදාන අභිනිවෙස නම්වූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් බඳනා ලද්දේ වෙයි. (එහෙත්) මේ ආර්ය ශ්‍රාවකතෙම අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියනලද තෘෂ්ණාදෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොපැමිණෙයි, නොගනියි, නොපිහිටයි. උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙතෙක් කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය වෙයි.
කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක. (කෙසේද?) අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll