765. එදින ම ද? - දින 7ක් තුළ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. වර්තමානයේ කාන්තාවක් රහත් ඵලයට පැමිණිය හොත් භික්ෂුණී උපසම්පදාව නොමැති නිසා දින 7 න් පිරිනිවන් පානවද?

A. 1. ගිහි කාන්තාවක් රහත් වුවහොත් එක්කෝ පිරිනිවන් පෑ යුතුය, නැතහොත් දස සිල් මාතාවක් ලෙස පැවිදි විය යුතු ය.

2. දස සිල් මාතාවක් රහත් වුවහොත්, එසේ ම වැඩ සිටිය හැකි ය.

ලෙස, දස සිල් මාතාවන් ගැන කරුණක් මූලාශ්‍ර වලින් සොයා ගැනීමට නොහැකි නිසා, සිදුවන ක්‍රියාවලිය අනුව අනුමාණ කොට කිව හැකියි.

Q / A / T. "එදිනම” යන සටහන පැහැදිලිව ම තිබිය දී දින 7ක් තුළ යන්න කොහින් පැමිණියා ද?

‘යමෙක් ගෘහස්ථභූමියෙහි දී ම රහත්ඵලයට පැමිණියේ වී නම්, එදවස් ම ඔහු පැවිදි වන්නේ හෝ ය. පිරිනිවන් පාන්නේ හෝ ය. ඕහට මේ ගතිහු දෙකෙක් ම වන්නාහ. අනික් ගතියෙක් නැත්තේ ය. ඒ රහත් වූ දවස ගෘහස්ථභූමියෙහි ම සිට අතික්‍රාන්ත කරන්නට නො හැක්කේ ය’
https://pitaka.lk/books/milinda-prashnaya/72.html

‘යො ගිහී අරහත්තං පත්තො, ද්වෙ වාස්ස ගතියො භවන්ති අනඤ්ඤා, තස්මිං යෙව දිවසෙ පබ්බජති වා පරිනිබ්බායති වා. න සො දිවසො ¶ සක්කා අතික්කමෙතු’
https://tipitaka.app/?a=er3-126-si

T.

T. ඛේමා තෙරණිය සම්බන්ධව මෙසේද සඳහනක් අටුවාවෙන් ලැබේ.

T. "==ඛෙමා තෙරණිය==

‍දෙවැන්නෙහි ඛෙමා යනු මෙබදු නම් ඇති භික්‍ෂුණියයි. මෙතැන් පටන් ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයයි නොකියා සියලු තන්හි පුණ්‍යකර්‍මය (පැතුම) ආදි කොට ඇති කියයුත්තම කියමු.

අතීතයෙහි වනාහි පියුමුතුරා බුදුන්කල හංසවතී නුවරෙහි මෝතොමෝ අනුන් අයත් දැස්සකවී උපන්නාය. ඉක්බිති එක්දිනක් ඒ භාග්‍යවතුන්වහන්සේගේ අගසව්වූ සුජාත තෙරුන් පිඬු හැසිරනු දැක රසකැවිලි තුනක්දී එදිනම තම කෙස් වැටිය විකුණා ගෙන තෙරුන්ට දන්දී අනාගතයෙහි බුද්ධොත්මපාදයක නුඹවහන්සේ මෙන් මහ පැනවතෙක් වන්නෙම්වායි ප්‍රාත්‍ථ‍ර්‍‍නා කොට දිවිඇති තෙක් කුශල කර්‍මයෙහි නොපමාව කල්පලක්‍ෂයක් දෙවිමිනිසුන් අතර සැරිසරා කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයෙහි කිකී නමැති කාශි රජුගේ ගෙහි පිළිසිඳගෙන සොහොයුරියන් සත්දෙනාට ඇතුළත්ව විසිදහසක් අවුරුදු ගෙහිම කුමරිබඹසර හැසිර ඒ සොයුරියන් සමඟ බුදුරජාණන්වහන්සේට විසීමට පිරිවෙණක් කරවා එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාදයෙහි මදුරට සාගලනුවර රජකුලයෙහි පිළිසිඳ ගත්තාය. ඇයට ඛේමායි නම් කළාහුය. ඇයගේ සිරුරු පැහැය රන්රස කලතක් විය. වියපත්වූවා බිම්සර රජුගේ මාලිගයට ගියාය.

ඕතොමෝ රජගහනුවර ඇසුරුකොට වේළුවනාරාමයෙහි තථාගතයන්වහන්සේ වැඩවසනකල්හි, ශාස්තෘන්වහන්සේ වනාහි රූපයෙහි දොස් දක්වනසේකැයි රූපමදයෙන් මත්වූවා මගේද රූපයෙහි දොස් දක්වනසේකැයි බියෙන් ශාස්තෘන්වහන්සේ දැකීමට නොයයි. රජතෙමේ මෙසේ සිතීය. ‘මම ශාස්තෘන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වෙමි. මාවැනි වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුගේ අගමෙහෙසිය තථාගතයන්වහන්සේ දැකීමට නොයයි. එය මට රුචි නොව්.’ මෙසේ සිතා හෙතෙම කවීන් ලවා වෙළුවන උයනෙහි වැණුම් රචනාකොට ඛේමා දේවියගේ සවන් වැකෙන දුරෙහි ගයවු’යි කීවේය. ඕ උයනේ වැණුම අසා යනු කැමැත්තීව රජුගෙන් විමසුවාය. රජතෙමේ ‘උයනට යන්නේ ශාස්තෘන්වහන්සේ නොදැක ඒමට නොලැබෙන්නේය’යි කීවේය. ඕ රජුට පිළිවදන් නොදීම මගට පිළිපන්නාය. රජතෙමේ ඇය සමග යන පුරුෂයන්ට, ‘ඉදින් දේවිය, උයනින් ආපසු හැරී එන්නී තථාගතයන්වහන්සේ බලන්නී නම් මැනවි. ඉදින් නොබලන්නී නම් රජඅණින් ඇයට දක්වවුයි කීවේය. ඉක්බිති ඒ දේවිය දවල් කාලය උයනෙහි හැසිර ආපසු එන්නී තථාගතයන්වහන්සේ නොදැකම යාමට පටන් ගත්තාය.

ඉක්බිති රාජපුරුෂයෝ ඇයව තම නොකැමැත්තෙන්ම ශාස්තෘන්වහන්සේ‍ සමීපයට පැමිණෙව්වාහුය. ශාස්තෘන්වහන්සේ ඇය එනු දැක සෘද්ධියෙන් එක් දෙවඟනක මවා විජිණිපතක් ගෙන පවන්සලන්නියක මෙන් කළසේක. ඛේමාදේවිය ඇය දැක ‘නටුවාවෙමි. මෙබඳු දෙමඟනන් බදු ස්ත්‍රීහු තථාගතයන්වහන්සේ නුදුරෙහි සිටිත්. මම මොවුන්ගේ සේවිකාවකටද නොහොබින්නී වෙමි. නිකරුණේ පවිටුසිත් වශයෙන් නටුවා වෙමි’යි නිමිති ගෙන ඒ ස්ත්‍රිය දෙසම බලමින් සිටියාය. ඉක්බිති ඇය බලාසිටියදීම තථාගතයන්වහන්සේගේ අදිටන් බලයෙන් ඒ ස්ත්‍රිය පළමුවිය ඉක්ම මැඳුම්වියෙහි සිටියාක් මෙන්ද මැඳුම්විය ඉක්ම පැසුළුවියෙහි සිටියාක් මෙන්ද රැළිවැටුනි, පැසුණු කෙස් ඇත්තී කැඩුණු ලිහිල් වූදත් ඇත්තී වූවාය. ඉක්බිති ඇය බලාසිටියදීම විජිනිපත සමඳ පෙරළී වැටුනාය. ඉක්බිති ඛෙමාදේවිය පෙර හේතුවෙන් යුක්තවූවා ඒ අරමුණ ආපාතගතවූ කල්හි මෙසේ සිතුවාය. ‘මෙබඳුවූ ශරීරයද මෙබඳු විපතට පැමිණෙයි. මගේ සිරුරද මෙබඳු ගති ඇත්තේම වන්නේය’ (යනුවෙනි) අනතුරුව ඇයට මෙසේ සිතුණු කෙණෙහි තථාගතයන්වහන්සේ ධර්‍මපදයෙහි මේ ගාථාව වදාළසේක.
මකුළුවා තමාමකළ දැලට ඇද වැටෙන්නාක් මෙන් රාගයෙන් වැඩුනාහු (සසර) සැඬපහරට ඇදවැටෙත්, මෙයද සිඳ දමා බලාපොරොත්තු රහිතවූවෝ කම්සුව අත්හැර පැවිදිව හැසිරෙත්.
ඕතොමෝ ගාථා කෙළවර සිටි පියවරෙහි පිහිටියාම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය.

රහත්බවට පැමිණි ගිහිගෙහි වෙසෙන්නකු නම් එදවසම පිරිනිවිය යුතු හෝ පැවිදිවිය යුතු හෝ වෙයි. ඕ තොමෝ වනාහි තමන්ගේ ආයුසංස්කාරය පවත්නා බව දැන තමන්ගේ පැවිද්ද අනුදන්වන්නෙමැයි ශාස්තෘන්වහන්සේ වැඳ රජනිවසට ගොස් රජුට නොවැඳම සිටියාය. රජතෙමේ ආර්‍ය්‍යධර්‍මයවූ රහත්බවට පැමිණියා වන්නීයයි ඉඟියෙන්ම දැනගත්තේය. ඉක්බිති, ඇයට දේවිය ශාස්තෘන්වහන්සේ දැක්මට ගියාවෙහිදැයි කීය. ‘මහරජ, නුඹවහන්සේ විසින් දුටු දැක්ම සුළුය. මම වනාහි ශාස්තෘන්වහන්සේ මනාව දුටුවකු කෙළෙමි. මගේ පැවිද්ද අනුදන්නා මැනවැ’යි කීවාය. රජතෙමේ ‘මැනවි දේවිය’යි පිළිගෙන රන්සිවිගෙයකින් භික්‍ෂුණී ආශ්‍රමයට යවා පැවිදි කරවූයේය. ඉක්බිති ඛේමා නම් ගිහිබවෙහි වූවාම රහත්බවට පැමිණියායි ඇයගේ මහනුවණැති බව ප්‍රකට වූයේය. මේ කථාවස්තුව මෙපමණෙකි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ජේතවනයෙහි වැඩහුන්සේක් භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබමින් ඛේමා තෙරණිය මහ පැනවතියන් අතුරින් අගතැන්හි තැබූසේක."
https://www.facebook.com/path.nirvana/posts/1955217497878896/

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll