Q. රූපය පිරිසිද දකින්න ... උදව් කරන්නකෝ...
A. පහත පළමු සබැඳියෙන් පිවිස, එතැන් සිට දෙවන සබැඳිය දක්වා (හෝ කැමති දුරකට) ඉදිරියට කියවාගෙන යන්න.
"ශරීරය යයි කියනු ලබන, බඹයක් පමණ උසට වැඩී තිබෙන කොටස වනාහි එක් ස්වභාවයකින් ම නො පවතින, නැවත නැවත අමුතු අමුතු ආකාරවලට පැමිණෙන දෙයකි. එය බාල කාලයේ දී බොහෝ දෙනාට ප්‍රිය වූ කුඩා දෙයකි. එය තරමක් පරණ වන කල්හි බඹයක් පමණට වැඩී අමුතු ආකාරයකට පෙරළෙන්නේය. එය තවත් පරණ වන කල රැලි වැටුණ, වක් වුණ. බොහෝ දෙනාට අප්‍රිය දෙයක් වේ. තවත් පරණ වන කල්හි බලන්නට වත් නුපුළුවන් වන සේ පිළිකුල් වූ, ගෙයක තබා ගමක වත් තබා ගත නොහෙන මළ කුණක් වේ. තවත් පරණ වන කල්හි වියළි ඇට ගොඩක් වේ. තවත් පරණ වන කල්හි පස් ගොඩක් වේ. මෙසේ පළමු තිබූ ස්වභාවය හැර නිතරම අමුතු ස්වභාවයකට පැමිණෙන බැවින් ඒ කොටසට රූපය යයි කියනු ලැබේ. රූප යන්නෙහි තේරුම පළමු ස්වභාවය හැර නැවත නැවත අන්‍ය ස්වභාවයනට පැමිණෙන දෙය යනුයි. ඒ වර්ගයට අයත් බාහිර වස්තූහු ද රූප නම් වේ.
ශරීරය යි කියනු ලබන රූප සමූහයන් වෙන් වෙන් වශයෙන් හැඳින්වීමට “ජේමිස්, කරෝලිස්, ජුවානිස් යනාදි නොයෙක් නම් කියති. “රූපං ජීරති මච්චානං නාමගොත්තං නජීරති” යනාදි දේශනා වල නාමය යි කියා තිබෙන්නේ ඒ නම් වලට ය. පරමාර්ථ ධර්ම කථාවෙහි නාමය යි කියනු ලබනුයේ ඒ නම් වලට නොවන බව මතක තබා ගත යුතුයි. ශරීරය වනාහි වැටුණු තැනක නොසෙල්වී එලෙස ම තිබෙන ක්‍රියා කිරීමේ ශක්තියක් නැති දැනීමක් නැති ලී කොට කැබැල්ලක් වැනි දෙයකි. එය තුළ විඥානය නම් වූ දෙයක් වේ. යන්ත්‍ර බලයෙන් ඔබ මොබ ගමන් කරන රථයක් මෙන් ඒ විඥානයේ බලයෙන් විඥානයේ මෙහෙයවීමෙන් ඒ ශරීරය ගමනාදි ක්‍රියා කරන්නේය. ඒ සිදුවීමෙහි තතු නොදත් අන්ධ පෘථග්ජන තෙමේ “මම යමි ය” කිය කියා එයට මුළා වන්නේය.
පරමාර්ථ ධර්ම කථාවෙහි නාමයයි කියනු ලබනුයේ සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම සමූහය සහිත වූ ඒ විඥානයට ය. විඥානය යනු දැනීමය. එය නිතරම දනු ලබන දෙය වූ අරමුණ හා සම්බන්ධය ඇතිව උපදනා දෙයකි. එබැවින් විඥානයාගේ පැවැත්ම අරමුණ තිබෙන දෙසට නැමී තිබෙනු වැනිය. එසේ අරමුණට නැමී පැවතීම නිසා සම්ප්‍රයුක්ත ධර්ම සහිත වූ විඥානය නාමය යි කියනු ලැබේ. සතර පරමාර්ථයෙන් එක් ධර්මයක් වූ නිර්වාණය මේ නාම රූප දෙකට ම සමාන නොවන අති සූක්ෂ්ම ධර්මයෙකි. එය සම කරත හොත් මඳෙකින්වත් සම කළ හැක්කේ නාම ධර්මයනටය. එබැවින් පරමාර්ථ ධර්ම කථාවෙහි දී ඒ නිවන නාමයනට ම ඇතුළත් කරනු ලැබේ.
ලෝක සම්මුතියේ හැටියට මිනිසුන් හා ද්‍රව්‍යයන් හැඳින්වීමට තබන ලද නාම, නාම නම් වෙති. පරමාර්ථ ධර්ම කථාවෙහි එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, නිවන ය යන මේ ධර්මයෝ නාම නම් වෙති. විදර්ශනා කථාවෙහි විදර්ශනා කිරීමට ගත යුතු ලෞකික සිත් එක් අසූවට හා චෛතසික දෙපනසට නාමය යයි කියනු ලැබේ. ලෝකෝත්තර ධර්ම විදර්ශනාවට නොගනු ලැබේ. මේ නාම විහාගය හොඳින් සිහි තබා ගත යුතුයි.
මෙතැන් පටන් “ඡද්ධාතුරොයං භික්ඛු පුරිසො” යනුවෙන් “ධාතු විභංග” සූත්‍රයෙහි වදාරන ලද සයක් වූ ධාතූන්ගේ වශයෙන් දෘෂ්ටි විශුද්ධි භාවනා ක්‍රමය දක්වනු ලැබේ. සත්ත්වයා නම් සයක් වූ ධාතුන්ගේ සමූහයකි.
ධාතු සය නම් :-
පෘථිවි ධාතුව ය
ආපෝ ධාතුව ය
තේජෝ ධාතුව ය
වායෝ ධාතුව ය
විඥාන ධාතුව ය
යන මොහුය. මෙයින් පෘථිවිධාත්වාදි පස රූපයෝය. විඥාන ධාතුව නාමයයි.
භාවනාවට පටන් ගත යුත්තේ නාම රූප ධාතූන් පිළිබඳ හොඳ අවබෝධයක් පළමුකොට ඇති කර ගෙනය. එබැවින් ධාතූන් පිළිබඳ සාමාන්‍ය විස්තරයක් කරනු ලැබේ. මෙය ඉතා හොඳින් නැවත නැවතත් කියවා ධාතූන් පිළිබඳ තේරුමක් ඇති කර ගත යුතුයි. මේ තතු වැටහෙන්නට දින ගණනක් ගත වන්නට පිළිවන. එහෙත් අවධානයෙන් යුතුව කියවා මුත් අන් සැටියෙකින් මේ වැටහීම නොලබා ගත හැකිය.
නාම ධාතු රූප ධාතු දෙවර්ගයෙන් රූප ධාතු ඖදාරික බැවින් ද ඇසට පෙනෙන බැවින් ද ස්පර්ශ කළ හැකි බැවින් ද අවබෝධ කර ගැනීම පහසුය. එ බැවින් භාවනා කරන කල්හි පළමුව රූප ධාතු පිළිබඳ භාවනා කළ යුතුය. එයට කලක් ගත විය හැකිය. රූප ධාතූන් ඥානයට හොඳින් දර්ශනය වූ කල්හි ඒවායේ අනුසාරයෙන් සූක්ෂ්ම වූ ද නාම ධාතූන් පහසුවෙන් දත හැකිය. එබැවින් රූප ධාතූන් පිළිබඳ විස්තරය මෙහි පළමු කොට කරනු ලැබේ.
“ධාතු” යන වචනයෙහි තේරුම සත්ත්වයකු නොවන පුද්ගලයකු නොවන සත්ත්ව පුද්ගල ස්වභාවය නැති දෙය ය යනුයි.
“පෘථිවි” යන්නෙහි තේරුම පස යනුයි. “පෘථිවි ධාතුව” යන්නෙහි තේරුම සත්ත්වයකු පුද්ගලයකු නොවන පස යනුයි. තද බව එහි ලක්ෂණයයි. මේ ශරීරයෙහි ඇති, ගත් කල්හි වැගිරී නොයන්නා වූ කැබලි වශයෙන් ගත හැකි වූ තද බව ලක්ෂණ කොට ඇත්තා වූ කෙස් ලොම් නිය දත් ආදීහු පෘථිවි ධාතූහුය.
“ආපෝ” යනු ජලයට නමකි. සත්ත්ව පුද්ගල ස්වභාවය නැති ජලය ආපෝ ධාතුවය. වැගිරෙන ස්වභාවය හා ඇලෙන ස්වභාවය ද එහි ලක්ෂණයයි. මේ ශරීරයෙහි වැගිරෙන ගතිය ඇලෙන ගතිය සෙවෙල් ගතිය ඇත්තා වූ පිත් - සෙම් ආදීහු ආපෝ ධාතූහුය.
“තේජෝ” යනු ගින්නට නමෙකි. සත්ත්ව පුද්ගල ස්වභාවය නැති ගින්න තේජෝ ධාතුවයි. මඳ වූ කල්හි එයට උණුසුම යයි ද කියනු ලැබේ. දවන ස්වභාවය එහි ලක්ෂණයයි. ඉපිදවීම, ආරක්‍ෂා කිරීම, මේරවීම, දිරවීම, විකාරයට පැමිණවීම, විනාශ කිරීම යන මොවුහු තේජෝ ධාතුවගේ කෘත්‍යයෝ ය. ශරීරයෙහි ඇත්තා වූ උණුසුම් ගතිය තේජෝ ධාතුහුය.
“වායෝ” යනු සුළඟට නමකි. සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැති සුළඟ වායෝ ධාතුවයි. පිම්බවීම හා සෙලවීම එහි ලක්ෂණයෝය. ශරීරයෙහි ඇත්තා වූ ආශ්වාසාදි වාතයෝ වායෝ ධාතූහුය.
“ආකාශ” යන වචනයෙහි තේරුම ඉරි ගැසිය නොහැකි තැන යනුයි. පෘථිවි ආදි වස්තූන්ට ස්ථාන වීම හා එකෙකින් අනෙක වෙන් කිරීම එහි ලක්ෂණයෝ ය. ශරීරයෙහි කන් සිදුරු, නාස් සිදුරු ආදි කිසිවක් නැත්තා වූ ස්ථානයෝ ආකාශ ධාතුහු ය.
පෘථිව්‍යාදි ධාතුහු විශාල වස්තූන් නොව ඉතා කුඩා ද්‍රව්‍යයෝය. විශාල වස්තූන් සේ පෙනෙනුයේ ධාතු සමූහයන්ය. වැලි කැටය ඉතා කුඩා දෙයකි. ඒවා සමූහයක් වූ කල්හි සියල්ල සිතින් එකක් කොට ගෙන වැලි කන්දයයි කියනු ලැබේ. නමුත් වැලි හැර කන්දය කියා අමුතු දෙයක් එහි නැත. කන්ද නම් සිතට දැනෙන ආකාරයක් පමණෙකි. එය සත්‍ය වශයෙන් ඇති දෙයක් නොවේ. විශාල වස්තූන් හැටියට සලකන සියල්ල ම මේ වැලි කන්ද වැනි සත්‍ය වශයෙන් නො ලැබෙන ධාතු සමූහයෝය.
එක් එක් ධාතුවක ගේ ප්‍රමාණය අභිධර්ම ක්‍රමයේ සැටියට කියතොත් යෝගාවචරයන්ගේ නුවණට අසු නොවන තරමේ කුඩා දෙයක් වේ. එපමණකුත් නොව අභිධර්ම ක්‍රමයේ සැටියට දක්වන රූපකලාපයක ධාතු සතර ම ඇත්තේය. කෙස් ලොම් ආදීන්ට පමණක් නොව සියුම් දේ වූ චන්ද්‍රාලෝක සූර්‍ය්‍යාලෝකාදි ආලෝකයන්හි පවා ධාතු සතර ම ඇත්තේය. ඒ අභිධර්ම ධාතු විභාග ක්‍රමය ඉතා සියුම් බැවින් දුරවබෝධය. උත්සන්නභාවයා ගේ වශයෙන් ධාතූන් දැක්වීම සෞත්‍රාන්තික ක්‍රමය යි. එය සුබෝධය. පෘථිවි ධාතුව උත්සන්න දෙය පෘථිවි ධාතුව සැටියට ද ආපෝ ධාතුව උත්සන්න දෙය ආපෝ ධාතුව සැටියට ද වායෝ ධාතුව උත්සන්න දෙය වායෝ ධාතුව සැටියට ද තේජෝ ධාතුව උත්සන්න දෙය තේජෝ ධාතුව සැටියට ද සෞත්‍රාන්ත්‍රික ක්‍රමයේ දී දක්වනු ලැබේ. දෘෂ්ටි විශුද්ධිය ඇතිවීමට ඒ ක්‍රමය ප්‍රමාණ වේ.
සෞත්‍රාන්ත්‍රික ක්‍රමයේ සැටියට එක් එක් ධාතුවක් සුණු - අලු - සිමෙන්ති - පිටි - සහල් ආදි වස්තූන්ගේ කුඩා කොටස් තරමට සැලකිය යුතුයි. ඒවා ද එක එකක් වෙන් කොට ගත හොත් ඇසට නොපෙනෙන පමණට කුඩාය. එක් එක් කුඩා ධාතු කොටසකට මෙහි කලාප යන නාමය ම ව්‍යවහාර කරන්නෙමු. “කලාප’’ යන්නෙහි තේරුම සමූහයක්ය මිටියක්ය යනුයි. කුඩා ධාතු කොටසකට ඒ නම ව්‍යවහාර කරනුයේ අභිධර්ම ක්‍රමයේ සැටියට එය එකක් නොව කුඩා සමූහයක් වන බැවිනි.
ධාතු කලාපයන්ගේ සැටි ආකාශධාත්වානුසාරයෙන් පහසුවෙන් තේරුම් ගත හැකිය. ආකාශ ධාතුව කලාපයනට ඇතුළත් නැත. යම් තැනක පෘථිව්‍යාදි ධාතු නැද්ද, එතැන ඇත්තේ ආකාශ ධාතුවය. අවිඤ්ඤාණක සවිඤ්ඤාණක වශයෙන්, ලොව ඇති සියල්ල ම ඇත්තේ මේ ආකාශ ධාතුව තුළ ය. ඒවා සෙලවෙනුයේ ද ක්‍රියා කරනුයේ ද ඔබ මොබ යනුයේ ද ආකාශ ධාතුව තුළය. තමන් වටේ ආකාශ ධාතුව නැතහොත් කිසිම වස්තුවකට ක්‍රියා කිරීම තබා සෙලවීම ද නො කළ හැකිය. ඔවුනොවුන්ගෙන් වෙන්ව තිබෙනු පෙනෙන ධාතු සමූහ වූ විශාල වස්තූන් මෙන්ම එකට ගැටී පවත්නා කලාපයෝ ද තමන් වටේ ආකාශ ධාතුව ඇතිව ඒ ආකාශ ධාතුවෙන් අන්‍ය කලාපයන්ගෙන් වෙන්වී තිබෙත්. ඒ බව මතු දක්වන සැටියෙන් තේරුම් ගත යුතුයි.
තද කොට බඳනා ලද සහල් පොට්ටනියක් දිය බඳුනක ලා මඳ වේලාවක් තිබෙන්නට හැර ඉවතට ගෙන ලිහා බැලුවහොත් සහල් සියල්ල තෙමී තිබෙනු දැකිය හැකිය. සහල් තෙමීම නම් සහල් ඇට වල පිට පැත්ත හැම තැනම ජලය තැවරීමය. එකිනෙකට තද වී තිබුණු සහල් අතරට ජලය ඇතුළු විය හැකි වූයේ සහල් ඇට අතර ඉඩක් තිබුණ බැවිනි. ඒ ඉඩ ආකාශ ධාතුවයි. මේ කාරණය සලකා එකට එක සැපී තිබෙන ද්‍රව්‍ය අතර ද ආකාශය ඇති බවත් ඒ ආකාශයෙන් ම ඒවා එකිනෙකින් වෙන් වී පවත්නා බවත් තේරුම් ගත යුතුය.
දැන් එක සහල් ඇටයක් ගැන සලකා බලමු. සහල් ඇටයක් එක් ද්‍රව්‍යයක් නොව පිටි නම් වූ කුඩා ද්‍රව්‍යයන් ගේ සමූහයකි. ඒ කුඩා ද්‍රව්‍යයෝ පෘථිවි කලාපයෝය. සහල් ඇටය දිය බඳුනක ලා පැය කිහිපයක් තිබෙන්නට හැර ඉවතට ගෙන බැලුවහොත් එය මොළොක් වී තිබෙනු දැකිය හැකිය. ඒ මොළොක් බව සිදු වූයේ සහල් ඇටයට අයත් පිටි නම් වූ පෘථිවි කලාප අතරට ජලය යෑමෙනි. එක් දෙයක් තිබෙන තැනකට තවත් දෙයකට නොපැමිණිය හැකි බැවින් ඒ පෘථිවි කලාපයන් අතරට ඉඩක් හෙවත් ආකාශ ධාතුවක් නො තිබුණා නම් සහල් ඇටයට ජලය නො වැදිය හැකිය. හැකි වූයේ එහි වූ සියළු ම පෘථිවි කලාප වටේ ආකාශ ධාතුව තිබුණු බැවිනි. මේ කරුණෙන් සෑම වස්තුවකට ම අයත් වූ සියළු ම රූප කලාපයගේ වටේ ආකාශ ධාතුව ඇති බවත් ඒ ආකාශ ධාතුව නිසා ඒවා එකිනෙකින් වෙන් වී පවතින්නා බවත් තේරුම් ගත යුතුය.
දිය බින්දුවක් ලෝහ තහඩුවක් මත හෝ වීදුරු තහඩුවක් මත හෝ හෙළා ඇඟිල්ලෙන් තුනී කළ හොත් අන්තිමේදී වතුර නො පෙනී යන්නේය. නො පෙනී ගියේ ඒ වතුරට කුමක් වීමෙන් ද යන බව සලකා බලනු. නො පෙනී ගියේ අන් හේතුවකින් නොව එක් වී තිබුණ වතුර ඇසට නොපෙනෙන තරමේ කුඩා කොටස් වලට වෙන් වී යෑමෙනි. නැවත ඒවා තිබුණු සැටියටම එකතු කළ හැකිනම් පළමු තිබුණු දිය බින්දුව දැකිය හැකි වනු ඇත. වෙන් වූ කල ඇසට නොපෙනෙන තරමට කුඩා වූ ඒ ජල කොටස් ආපෝධාතු කලාපයෝය. වැව් පොකුණු ගංගාදියෙහි විශාලව පෙනෙන ආපෝ ධාතු සමූහයෝ පළමු කී දිය බින්දුවෙහි කොටස් වැනි ආපෝ කලාපයෝ ය. සහල් ඇටයේ පිටි මෙන් ඒවා ද එකිනෙකට වෙන්ව එකක් පාසා වෙන වෙනම ආකාශ ධාතුවෙන් වටවී තිබෙන බව සහල් ඇටයට අනුව සිතා තේරුම් ගත යුතුය. තේජෝ වායෝ ධාතු දෙක ද ආපෝධාතු කොටස් සේ ආකාශ ධාතුවෙන් වට වී ඇති කුඩා කොටස් බවද සලකා ගත යුතුය.
පොල් ගෙඩි තුනක් එක්කොට ලණුවකින් තද කොට බඳිනු ලැබුව හොත් මැද කුහරයක් පෙනෙනු ඇත. ඒ කුහරය නම් ආකාශ ධාතුවයි. ඒ ආකාශ ධාතුව පොල් ගෙඩි තුන එක්වීම නිසා ඇති වූ අමුතු දෙයක් නොව, පොල් ගෙඩි තුන එක්ව තිබෙන තැන පෙර පටන්ම පැවති ආකාශය බව දත යුතුය. පොල් ගෙඩි තුන එතැනින් අන් තැනකට ගත හොත් එතන ද පොල් අතරේ කුහරය පෙනෙනු ඇත. ඒ පෙනෙනුයේ පළමු ගෙඩි තුන තිබුණු තැන ආකාශය නොව, දැන් පොල් ගෙඩි තුන තිබෙන තැන පෙර පටන් පැවති ආකාශය ය. ආකාශය නිශ්චල දෙයක් බැවින් තැනින් තැනට නොයයි. පොල් ගෙඩි තුන පමණක් ගෙන යන කල්හි ආකාශයේ ඔබ මොබ යයි. මෙයින් ආකාශ ධාතුව සැම කල්හි ම තිබෙන තැන ම තිබෙන දෙයක් බව තේරුම් ගෙන පොල් ගෝනියක් දෙසට සිත යොමු කරනු.
පොල් ගෝනියක පොල් ගෙඩි තුන හතර එක්වුණු සෑම තැන්වල ම කුහරයෝ වෙති. මේ කුහරයෝ ආකාශ ධාතුව ය. ඒ කුහරවල වූ ආකාශයෝ සෑම පැත්තෙන් ම පිටත ආකාශය හා සම්බන්ධව ම පවතින්නාහ. ගෝනියෙන් පිටත එක් පසෙක ආකාශය ගෝනියේ පොල් අතරින් අනික් පස ආකාශය හා සම්බන්ධව පවතී. ගෝනිය තුළ වූ කුහර සියල්ල ම පොල් ගෙඩි අතරින් එකට සම්බන්ධව පවතී. පොල් ගෝනිය නම් සෑම පැත්තකින් ම අනෙක් පැත්තට පසා වී ගිය සිදුරු වලින් යුක්ත දෙයකි. එය අන් තැනකට ගෙන ගියහොත් එහි වූ ආකාශ ධාතුව පොල් ගෝනිය සමඟ නොගොස් එ තැනම ඉතිරි වේ. අනෙක් තැනදී පොල් ගෝනිය තුළ පෙනෙන ආකාශය එතැන ආකාශය ම ය. මෙය හොඳින් තේරුම් ගෙන ඒ පොල් ගෝනිය රථයෙක තබාගෙන යන කල්හි ඇති තත්ත්වය සලකා බැලිය යුතුය. ගෝනියේ පොල් එකිනෙකට ගැටී තිබෙන තැන් වල ද අතර මඳ වශයෙන් ආකාශ ධාතුව ඇති බැවින් පොල් සියල්ලම වෙන වෙනම ආකාශ ධාතුවෙන් වට වී තිබෙන බව හෙවත් සෑම පොල් ගෙඩියක් වටේ ම ආකාශ ධාතුව ඇති බවත් මෙහිදී සිහි කර ගත යුතුයි.
මී මැසි සමූහයක් අහස්හි යන කල්හි ඒ සමූහයට අයත් සෑම මී මැස්සා ම තමන් වටේ ආකාශ ධාතුව ඇතිව අන්‍යයන් හා නොගැටී තමන්ගේ මාර්ගයේ ගමන් කරන්නාක් මෙන් මේ ගෝනියේ පොල් සමූහය ද එකක් පාසා ම තමන් වටේ ආකාශ ධාතු ඇතිව තම තමන්ගේ මාර්ගයේ රථය යන සැටියට ගමන් කරන්නේය. මෙය හොඳින් වැටහුණු පසු සහල් ගෝනියක් රථයක තබා ගෙන යන කල්හි ඇති තත්ත්වය ගැන සිතනු. එය හොඳින් වැටහුණු පසු සහල් ඇටයක් ගෙන යන කල්හි එහි පෘථිවි ධාතු කලාප සමූහයේ ගමන ගැන කල්පනා කරනු. සහල් ඇටයේ පෘථිවි කලාපයන් ගේ ගමන ද මී මැසි සමූහයේ ගමන සේ ම වටහා ගත හැකි වනතුරු කල්පනා කරනු. සහල් ඇටයේ තත්ත්වය තේරුම් ගත් පසු ශරීරයේ ධාතූන් ගැන සිතනු.
සම්පූර්ණයෙන් ම වැඩුණු මිනිසකුගේ ශරීරයේ පෘථිවි කලාප ද්‍රෝණයක් පමණ ද, ඉන් අඩක් හෙවත් අට නැළියක් පමණ ආපෝ ධාතු ද ඇත්තේය. සියුම් රජස් වූ වියළි පෘථිවි ධාතු කලාප ආපෝ ධාතුවෙන් තෙත් කොට විසිරී නො යන තැනට පමුණුවන ලදුව වායෝ ධාතුවෙන් පුම්බන ලදුව තේජෝ ධාතුවෙන් උණුසුම් කොට ආරක්‍ෂා කරන ලදුව එක් දෙයක් එක් පුද්ගලයකු සේ පෙනෙන හැටියට ඒ ධාතුන්ගෙන් ශරීරය සෑදී තිබේ.
ශරීරයෙහි වූ පෘථිවි ආපෝ තේජෝ වායෝ කලාප ද පොල් ගෝනියේ පොල් ගෙඩි මෙන් ද, සහල් ගෝනියේ සහල් ඇට මෙන් ද, සහල් ඇටයේ පිටි මෙන් ද, වෙන වෙන ම ආකාශ ධාතුවෙන් වටවී තිබෙන සැටි නුවණින් සලකා අවබෝධ කර ගත යුතුය. පොල් ගෝනිය ඔබ මොබ ගෙන යන කල්හි ඒ පොල් ඒ ඒ තැන තිබෙන ආකාශ ධාතුවට පිවිසෙන්නාක් මෙන් ගමන් කරන කල්හි ශරීරයේ වූ ධාතු කලාප වෙන වෙනම ආකාශ ධාතුව අතරින් ගමන් කර ඒ ඒ තැනට පැමිණෙන සැටි ද, ශරීරයේ ද පොල් ගෝනියේ සහල් ගෝනියේ මෙන්ම කුහර ඇති සැටි ද කල්පනා කරනු. කුඩා දේ මහත් කොට පෙන්වන කණ්නාඩියකින් බැලුවහොත් මී වදයක මෙන් ශරීරයේ සෑම තැනම සිදුරු දැකිය හැකිය. රූප ධාතු පස කී සැටියට හොඳින් තේරුම් ගෙන මතු දක්වන සැටියට භාවනා වෙහි යෙදුණ හොත් ඉක්මනින් ම දෘෂ්ටි විශුද්ධිය ඇති වනු ඇත. මෙය බොහෝ වාර ගණනක් කියා දින ගණනක් ම මේ ගැන කල්පනා කරත්වා!
පෘථිවි ධාතු කොටස් විස්ස
කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත, අක්මාව, දලබුව, ඇලදිව, පෙණහල්ල, අතුණු, අතුණුබහන්, නො පැසුණු අහර, පැසුණු අහර, මොළය.
මේ කොටස් විස්ස හා තවත් ශරීරයේ කරකශ ලක්ෂණ ඇති යමක් වේ නම් ඒ සියල්ල ම පෘථිවි ධාතූහු ය.
ආපෝ ධාතු කොටස් දොළස
පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍ර යන මේ කොටස් දොළොස හා ශරීරයේ ආබන්ධන ලක්ෂණයෙන් යුක්ත වූ අන්‍ය වූ ද යම් කිසිවක් වේ නම් ඒ සියල්ල ම ආපෝ ධාතූහුය. පෘථිවි ධාතු කොටස් විස්ස හා ආපෝ ධාතු කොටස් දොළස හොඳින් කටපාඩම් කරගත යුතුය. යෝගාවචරයන් විසින් ඒ ඒ ධාතු කොටස් වල සැටි හොඳින් දැන ගත යුතුය. ග්‍රන්ථය දික්වන බැවින් කොටස් වල සැටි මෙහි නොදක්වනු ලැබේ. භාවනාව පටන් ගැනීමට මත්තෙන් ඒ ඒ ධාතු කොටස්වල පැහැය සටහන පිහිටි ස්ථානය යන මේවා ශරීරය පිළිබඳ විස්තර ඇති පොතකින් බලා හෝ දත් කෙනකුගෙන් අසා හෝ දැන ගෙන භාවනාව පටන් ගත යුතුය.
තේජෝ ධාතු කොටස් සතර
සන්තාපන තේජෝ ධාතුවය, ජිරාපන තේජෝ ධාතුවය, පරිදහන තේජෝ ධාතුවය, පාචක තේජෝ ධාතුවය යයි ශරීරයේ තේජෝ ධාතු කොටස් සතරකි.
ශරීරයේ උණුසුම “සන්තාපන තේජෝ ධාතු” නමි. එය උණ ගැනුණු අවස්ථාවලදී වඩා ප්‍රකට වන්නේ ය. ශරීරයේ දිරීම සිදු කරන්නා වූ තේජෝ ධාතුව “ජිරාපන තේජෝ ධාතු” නමි. කල් යෑමෙන් ශරීරය දිරන්නේ හිසකේ පැසීම ඇඟ රැලි වැටීම ආදිය සිදු වන්නේ ඒ තේජෝ ධාතුවෙන් කරන තැවීම නිසාය. ශරීරය දවන්නා වූ තේජෝ ධාතුව “පරිදහන තේජෝ ධාතුව” නමි. මිනිසුන් විසින් ඇස් දැවිල්ලය, පපුව දැවිල්ලය, අත්පා දැවිල්ලය යනාදිය කියනුයේ ඒ තේජෝ ධාතුවෙන් කරන දැවීමට ය. දැවීම මිස එහි උණුසුමක් නැත. අනුභව කළ ආහාරය පැස වන්නා වූ තේජෝ ධාතුව “පාචක තේජෝ ධාතු” නමි.
වායෝ ධාතු කොටස් සය
උද්ධංගම වාතය ය, අධෝගම වාතය ය, කුච්ඡිසය වාතය ය, කොට්ඨාසය වාතය ය, අංගමංගානුසාරී වාතය ය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යි ශරීරයේ වායෝ ධාතු කොටස් සයෙකි.
හික්කා වමනාදිය පවත්වන උඩ බලා ගමන් කරන වාතය “උද්ධංගම වාත” නම් වේ. මල මුත්‍ර බැහැර කිරීම් ආදි වශයෙන් ශරීරයේ යට බලා ගමන් කරන්නා වූ වාතය “අධෝගම වාත” නමි. කුස තුළ බඩ වැලින් පිටත හැසිරෙන වාතය “කුච්ඡිසය වාත” නමි. බඩවැල ඇතුළත හැසිරෙන වාතය “කොට්ඨාසය වාත” නමි. හුස්ම ඉහළ පහළ ගැනීමේදී ඇති වන වාතය “ආශ්වාස ප්‍රශ්වාස වාත” නමි. ශරීරයේ සෑම තැනම හැසිරෙන ශරිරාවයවයන් ක්‍රියා කරවන්නා වූ වාතය “අංගමංගානුසාරි වාත” වාත නමි.
පෘථිවි ධාතු කොටස් විස්සය, ආපෝධාතු කොටස් දොළොසය, තේජෝ ධාතු කොටස් සතරය, වායෝ ධාතු කොටස් සය ය යන මේ ධාතු කොටස් දෙ සාළිසට ද්වාචත්තාළීසාකාරය යි කියනු ලැබේ.
ආකාශ ධාතුව
කන් සිදුරු දෙකය, නාස් සිදුරු දෙකය, මුඛයේ සිදුරය, ග්‍රීවයේ සිදුරය, අනුභව කළ ආහාර රැස්වන ස්ථානයේ කුහරය ය, දිරූ ආහාර පිට කරන සිදුරය යනාදි ශරීරයේ ඇති සිදුරු සියල්ල ආකාශ ධාතුවයි.
මතු දක්වන වගන්ති පාඩම් කරගෙන පෙර කී උපදෙස් අනුව සිහි නුවණින් යුක්ත ව දෘෂ්ටි විශුද්ධිය සඳහා භාවනා කරනු.
පළමු කොටස
1. කෙස් මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි. එක් එක් කෙස් ගසක් එක් එක් පෘථිවි කලාප සමූහයෙකි. පෘථිවි ධාතු කලාප හැර කෙස්ය කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ පෘථිවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස් වැල් ආදියෙහි වූ පෘථිවි ධාතුවත් කෙස් වල පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවිධාතු සත්ත්වයන් පුද්ගලයන් නො වන්නාක් මෙන් කෙස් යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
2. ලොම් මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි. එක් ලෝමයක් එක් පෘථිවි කලාප සමූහයකි. පෘථිවි කලාප හැර ලොම්ය කියා දෙයක් සත්‍ය වශයෙන් නැත්තේය. සත්‍ය වශයෙන් ඇත්තේ පෘථිවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුවත් ලොම් යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවිධාතු සත්ත්වයන් පුද්ගලයන් නො වන්නාක් මෙන් ලොම් යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
3. නිය මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි. එක් නියපොත්තක් එක් පෘථිවි කලාප සමූහයෙකි. පෘථිවි කලාප සමූහය හැර නියය කියා දෙයක් සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පෘථිවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස් වැල් ආදියෙහි ඇත්තා වූ පෘථිවි ධාතුවත් නිය යයි කියන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුව සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් නිය යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
4. දත් මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි. එක් දතක් එක් පෘථිවි කලාප සමූහයකි. පෘථිවි කලාප සමූහය හැර දත්ය කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පෘථිවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි ඇත්තා වූ පෘථිවි ධාතුවත් දත් යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුව සත්ත්වයන් පුද්ගලයන් නො වන්නාක් මෙන් දත් යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
5. සම මේ ශරිරයෙහි ඇති පෘථිවි ධාතු කොටසකි. පෘථිවි කලාප හැර සමය කියා දෙයක් සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පෘථිවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුවත් සම යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවිධාතුව සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් සම යයි කියනු ලබන මේ පෘථිවි ධාතු සමූහය ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
කෙස් - ලොම් - නිය - දත් - සම යන මේ කොටස් පස පිළිබඳ භාවනාව කියන පරිදි සතියක් කරනු. දිනක භාවනා කරන කාලය පැයකට අඩු නම් දෙසතියක් ම මේ භාවනාව කරනු. ඉදිරියට යන්නට ඉක්මන් නොවනු. භාවනාව කරන කල්හි ද ඉක්මන් නොවී ධාතු කොටස් හොඳින් වැටහෙන සැටියට පෙනෙන සැටියට භාවනා කරනු.
දෙවන කොටස
1. මස් මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි. එක් මස් පිඩක් එක් පෘථිවි කලාප සමූහයකි. පෘථිවි කලාප හැර මස්ය කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පෘථිවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි ඇත්තා වූ පෘථිවි ධාතුවත් මස් යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ය. ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුව සත්ත්වයකු පුද්ගලයකු නොවන්නාක් මෙන් මස් යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
2. නහර මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොටසකි. එක් නහරයක් එක් පෘථිවි කලාප සමූහයකි. පෘථිවි කලාප හැර නහරය කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුවත් නහරයයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ය. ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුව සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් නහර යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
3. ඇට මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොටසකි. එක් ඇටයක් එක් පෘථිවි කලාප සමූහයකි. පෘථිවි කලාප හැර ඇට ය කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුවත් ඇට යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ය. ගස්වැල් ආදියෙහි දී පෘථිවි ධාතුවත් සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් ඇට යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
4. ඇටමිදුළු මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොට්ඨාසයකි. පෘථිවි කලාප සමූහය හැර ඇටමිදුළු ය කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පෘථිවි කලාප සමූහයක් පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුවත් ඇටමිදුළු යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුව සත්ත්වයකු පුද්ගලකු නො වන්නාක් මෙන් ඇටමිදුළු යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
5. වකුගඩුව මේ ශරීරයෙහි එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි. පෘථිවි කලාප සමූහය හැර වකුගඩුවක් කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පෘථිවි කලාප සමූහයක් පමණෙකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුවත් වකුගඩුව යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවි ධාතුව සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් වකුගඩුව යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩුව යන මේ ධාතු කොටස් පස පිළිබඳ භාවනාව කියන ලද පරිද්දෙන් සතියක් කරනු. ඉක්බිති පළමු සතියේ භාවනාවත් මෙයත් එකතු කොට කෙස්වල පටන් වකුගඩුව දක්වා ඇති ධාතු කොටස් දසය පිළිබඳ භාවනාව සතියක් කරනු. භාවනා කරන කාලය මඳ නම් මෙහි සතියක් ගත කරන්නට කියන භාවනා සියල්ල ම දෙසතිය බැගින් කරනු.
තුන්වන කොටස
1. හෘදය මාංශය මේ ශරීරයේ එක් පෘථිවි ධාතු කොටසකි. පෘථිවි කලාප සමූහය හැර හෘදය මාංශය කියා දෙයක් ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පෘථිවි කලාප පමණෙකි. ශරීරයෙන් පිටත ගස් වැල් ආදියෙහි පෘථිවි ධාතුවත් හෘදය මාංශය යයි කියනු ලබන මේ පෘථිවි ධාතුවත් පෘථිවි ධාතු වශයෙන් එක ම ය. ගස්වැල් ආදියෙහි පෘථිවිධාතුව සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් හෘදය මාංශය යයි කියනු ලබන මේ පෘථිවි ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
2. අක්මාව මේ ශරීරයේ එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි.
- පෙ -
3. දලබුව මේ ශරීරයේ එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි.
- පෙ -
4. ඇළදිව මේ ශරීරයේ එක් පෘථිවි ධාතු කොට්ඨාසයකි.
- පෙ -
5. පෙණහල්ල මේ ශරීරයේ එක් පෘථිවි ධාතු කොට්ඨාසයකි. - පෙ -
මෙහි සම්පූර්ණ කර නැති 2, 3, 4, 5 යන අංක ඇති වගන්ති කියන ලද වගන්ති වල අනුසාරයෙන් සම්පූර්ණ කරගෙන හෘදය මාංශය, අක්මාව, දළබුව, ඇළදිව, පෙණහල්ල යන මේ කොටස් පස පිළිබඳ භාවනාව සතියක් කරනු. නැවත කේසයෙහි පටන් පෙණහල්ල දක්වා ඇති කොටස් පසළොස ම එක් කොට සතියක් භාවනා කරනු.
සතරවන කොටස
අතුණු, අතුණුබහන්, නො පැසුණු අහර, පැසුණු අහර, මොළය යන පෘථිවි ධාතු කොටස් පස පිළිබඳව ද, “අතුණු” නම් මේ ශරීරයේ එක් පෘථිවි ධාතු කොට්ඨාසයෙකි යනාදීන් පෙර කී පරිද්දෙන් වාක්‍ය යොදා සතියක් භාවනා කරනු. නැවත ධාතු කොටස් විස්ස ම එක්කොට සතියක් භාවනා කරනු.
පස්වන කොටස
පිත මේ ශරීරයෙහි එක් ආපෝ ධාතු කොට්ඨාසයකි. ආපෝ කලාප සමූහය හැර පිත ය කියා දෙයක් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ ආපෝ කලාප සමූහය පමණෙකි. ලිං පොකුණු ගංගාදියේ ඇති ආපෝ ධාතුවත් පිත යයි කියනු ලබන මේ ආපෝ ධාතුවත් ආපෝ ධාතු වශයෙන් එක ම ය. ලිං පොකුණු ගංගාදියේ ආපෝ ධාතුව සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් පිත යයි කියනු ලබන මේ ආපෝ ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
සෙම මේ ශරීරයෙහි එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. ආපෝ කලාප සමූහය හැර සෙම ය කියා දෙයක් නැත. සත්‍ය වශයෙන් ඇත්තේ ආපෝ කලාප සමූහය පමණෙකි. ලිං පොකුණු ගංගාදියේ ඇති ආපෝ ධාතුවත් සෙම යයි කියනු ලබන මේ ආපෝ ධාතුවත් ආපෝ ධාතු වශයෙන් එක ම ය. ලිං පොකුණු ගංගාදියේ ආපෝ ධාතුව සත්ත්වයන් පුද්ගලයන් නො වන්නාක් මෙන් සෙම යයි කියනු ලබන මේ ආපෝ ධාතුව ද සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
සැරව මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
ලේ මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
ඩහදිය මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
මේද තෙල මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
මෙහි සම්පූර්ණ නොකරන ලද වගන්ති සම්පූර්ණ කොට කියමින් සතියක් භාවනා කරනු. ඉක්බිති පෘථිවි ධාතු කොටස් විස්ස ද එක් කොට සතියක් භාවනා කරනු.
සවන කොටස
කඳුළු මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
වුරුණුතෙල මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
කෙළ මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
සොටු මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
සඳමිදුළු මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
මුත්‍ර මේ ශරීරයේ එක් ආපෝ ධාතු කොට්ඨාසයෙකි. - පෙ -
මෙය සතියක් භාවනා කරනු. නැවත පසුකළ සියල්ල හා එක් කොට සතියක් භාවනා කරනු.
සත්වන කොටස
සන්තාපන තේජෝ ධාතුවය, ජිරාපන තේජෝ ධාතුවය, පරිදහන තේජෝ ධාතුවය, පාචක තේජෝ ධාතුවය යි ශරීරයේ තෙජෝ ධාතු කොටස් සතරකි. ශරීරයෙහි ඇත්තා වූ තේජෝ ධාතුවත් ශරීරයෙන් පිටත ඒ ඒ තැන්වල ඇති ගිනි හා උණුසුම් ගති ද සිසිල් ගති ද, තේජෝ ධාතු වශයෙන් එක ය. ශරීරයෙන් පිටත ඒ ඒ තැන ඇති ගිනි උණුසුම් ගති සිසිල් ගති සත්ත්වයන් පුද්ගලයන් නො වන්නාක් මෙන් ශරීරයෙහි වූ තේජෝ ධාතුවද, සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
උද්ධංගම වාතය ය, අධෝගම වාතය ය, කුච්ඡිසය වාතය ය, කොට්ඨාසය වාතය ය, අංගමංගානුසාරී වාතය ය, ආවාස ප්‍රශ්වාස වාතය යි ශරීරයේ වායෝ ධාතු කොටස් සයෙකි. ශරීරය අවට අවකාශයෙහි ඇති වායුවත් ශරීරයේ ඇති වායුවත් වායෝ ධාතු වශයෙන් එක ම ය. ශරීරය අවට අවකාශයෙහි ඇති පිරී පවත්නා වූ වායුව සත්ත්වයකු නො වන්නාක් මෙන් ශරීරයෙහි වූ වායෝ ධාතුව ද,සත්ත්වයකු නොවේ. පුද්ගලයකු නොවේ. “මම” නොවේ.
මේ ශරීරයේ කන් සිදුරු නාස් සිදුරු ආදියෙහි පෘථිවි කලාපාදිය අතරෙහි ඇත්තා වූ ආකාශයත් ශරීරයෙන් පිටත ඇත්තා වූ ආකාශයත් ආකාශ ධාතු වශයෙන් එක ම ය. ශරීරය අවට පවත්නා වූ ආකාශ ධාතුව සත්ත්වයකු පුද්ගලයකු නො වන්නාක් මෙන් ශරීරයෙහි වූ ආකාශ ධාතුව ද, සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
මෙසේ තේජෝ වායෝ ආකාශ ධාතු පිළිබඳව ද සතියක් භාවනා කරනු. ඉක්බිති සියල්ල ම එක්කොට රූප ධාතු කොටස් හොඳින් වැටහෙන තුරු නැවත භාවනා කරනු. කියන ලද පරිදි විස්තර වශයෙන් භාවනා කොට ධාතුන් වැටහුණු කල්හි සංක්ෂේප ක්‍රමයෙන් භාවනා කරනු. ඒ මෙසේය.
මේ ශරීරයෙහි කර්කශ බව තද බව ලක්ෂණ කොට ඇත්තා වූ සියල්ල පෘථිවි ධාතූහුය. දැනුමක් නැත්තා වූ ක්‍රියා කිරීමේ ශක්තියක් නැත්තා වූ ඒ පෘථිවි ධාතුව සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
මේ ශරීරයෙහි වැගිරෙන බව ඇලෙන බව ලක්ෂණ කොට ඇත්තා වූ සියල්ල ආපෝ ධාතූහුය. දැනීමේ හා ක්‍රියා කිරීමේ ශක්තියක් නැත්තා වූ ඒ ආපෝ ධාතුව සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම නොවේ”.
මේ ශරීරයේ උණුසුම් බව, දවන බව, පැසවන බව, ලක්ෂණ කොට ඇත්තා වූ සියල්ල තේජෝ ධාතුහුය. දැනීම හා ක්‍රියා කිරීමේ ශක්තියක් නැත්තා වූ ඒ තේජෝ ධාතුව සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
මේ ශරීරයේ සැලෙන ලක්ෂණ පුම්බන ලක්ෂණ ඇත්තා වූ සියල්ල වායෝ ධාතූහුය. දැනීම හා ක්‍රියා කිරීමේ ශක්තියක් නැත්තා වූ ඒ වායෝ ධාතුව සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
මේ ශරීරයේ කුහර සියල්ල ආකාශ ධාතූහුය. දැනීමක් නැති ක්‍රියා කිරීමේ ශක්තියක් නැති ඒ ආකාශ ධාතුව සත්ත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. “මම” නොවේ.
මෙසේ විස්තර වශයෙන් හා සංක්ෂේප වශයෙන් ද, රූපධාතු පිළිබඳ භාවනාව කොට ඒවා හොඳින් වැටහුණු පසු, ඒවායේ නිස්සත්ව හාවය හොඳින් වැටහුණු පසු විඥාන ධාතුව පිළිබඳ භාවනාව ආරම්භ කළ යුතුය."