745. පෙරේත තට්ට - පෙරේත ගොට්ට?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කැටවල හේමාලොක හිමියන්ගේ දර්ම දේශණාවක් ඇහුවා උන්වහන්සේ කියනවා මියගිය කෙනෙකුට පිං විතරක් මදි කන්නත් දෙන්න කියලා. ඒකට තියන්න කියනවා ගොට්ටක් නැත්තං තට්ටක්. ඒකට කියන්නේ පේත ගොට්ටලු. උන් වහන්සේ තිරොකුට්ඨ සූත්‍ර දේශණාව උපුටා ගත්ත ද, එහි එහෙම අර්ථ දැක්වීමක් නෑ.

නමුත් ගොඩක් දාන ගෙවල් වල මැරිච්ච ප්‍රාණකාරයන්ට ප්‍රේත ගොට්ටක් සහ තට්ටක් තියෙන සම්ප්‍රදායක් තියෙනවා. ඔබේ අදහස?

A. ඇතැම් (ඥාති) ප්‍රේතයන්ට ආහාරවල රසය / ඕජාව / සුවඳ ආදිය උකහාගෙන කුසගින්න නිවා / අඩු කර ගත හැකි බවට ද මතකයක් ඇත.

“ ... බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර‍ සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ ප්‍රේතයන්ට සියල්ල ම ලබාදීම සඳහාය. ...”
https://pitaka.lk/books/bauddhayage-athpotha/10-6-2.html

A. (අවසරයි අපෙ හාමුරුවණේ!) ගිහි-පැවිදි අපි කාට කාටත් - එකිනෙකාට බුදු දහම අහුවෙන්නේ / තේරෙන්නේ එක එක විදිහට, එක එක ප්‍රමාණවලින්.

1. බුදු-බණ.
2. උපදේශනාත්ම-බණ.
3. පෞද්ගලික-බණ

ආදී ලෙසෙන් ධර්ම දේශනා වර්ගීකරණයක් කළ හැක. බුදු-බණෙහි මුඛ්‍යව ඇත්තේ විමුක්ති-රසයයි. අනෙක් බණවල නොයෙක් “රස” අඩංගු විය හැක. කැටවල හිමියන්ගේ ඇත්තේ උපහාසාත්මක රස මුසු වූ උපදේශනාත්මක ශෛලියකි - එසේම උන්වහන්සේගේ දේශනා විලාශයෙහි ව්‍යංගාර්ථ (කෙලින් ම නොකියා වටින් පිටින් කීම / වටින්-ගොඩින්  කීම - “වහෙන් ඔරෝ භාෂාව” = “ඔහෙන් වරෝ”) ද බහුලව අන්තර්ගත ය.

නොයෙක් භාෂා හෝ නොයෙක් භාෂා ශෛලීන් හෝ නොයෙක් භාෂා ප්‍රයෝග නොතේරීම අපේ ම අඩුවකි.

කුමන බණකින් හෝ (දෘෂ්ටිය ඍජු කිරීම හෝ) අවම වශයෙන් සමාජ ශෝධනය (තමාට / මෙරමාට / සමාජයට වැඩක් වීම) හෝ සිදුවන්නේ නම් එය හෝ අදාළ දේශකයා / දේශකයාණන් වහන්සේ අවතක්සේරු කිරීම නොවටී / නොගැලපේ.

“දෙසන්නෝ දෙසති - අසන්නෝ අසති. දෙසන නිසා අසති - අසන නිසා දෙසති!”

{පැය විසිහතර ම දිවා රෑ නොබලා, බුදු-බණ පමණක් ම දේශනා කරනු ලබන ත්‍රිපිටක පොත් වහන්සේ නමැති අත්‍යුත්තම දේශකයාණන් වහන්සේ අටුවා-ටීකා වහන්සේලා ද පිරිවරා ගරු-ගාම්භීරව-විරාජමානව වැඩ සිටින බව ද කවර කලෙකවත් අමතක නොකළ යුතුය. (රේරුකානේ මා හිමියන්, නා උයනේ මා හිමියන්, ...)}

https://tipitaka.lk/

වරදක් ඇතොත් වියත්හු ම දුරලත්වා!

T / R. "මළවුන්ට පින්දීම

හැකි තාක් පව්කම්වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝ ද සමහර විට මරණාසන්නයේ දී මෙලොව ඇති දේවලට ආශාව ඇති වීම නිසා පරදත්තුපජීවික ප්‍රේත ව උපදිති. ඒ පරදත්තුප ජීවික ප්‍රේතයෝ සා පිපාසා සන්සිඳුවා ගත හැකි පමණට බත් පැන් නො ලබන්නෝ ය. විළි වසා ගැනීමට වස්ත්‍ර‍ නැත්තෝ ය. වාසය කිරීමට ගෙවල් නැත්තෝ ය. ඔවුහු ඉතා දුක්ඛිතයෝ ය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත්තේ ය. ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එක ම ක්‍ර‍මය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීම ය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ ප්‍රේතයෝ ද පින් ගැනීමට එති. බිම්සර රජතුමාගේ පෙර ජාතියක දී නෑයන් වූ දහස් ගණනක් ප්‍රේතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිට එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝ ය. ප්‍රේතත්වයට පැමිණ සිටින තමාගේ ඥාතීන්ට සංග්‍ර‍හ කිරීමට ආහාර පානාදිය ලබාදීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍ර‍මයත් ඔවුන් උදෙසා පින් කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීම ය. එබැවින් බෞද්ධයෝ පෙර පටන් ම මියගිය ඥාතීන් උදෙසා පින් කොට ඔවුනට පින් අනුමෝදන් කරවති.

ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඥාතීන් හා මිත්‍ර‍යන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මිය ගිය හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නො සලකා සිටීම අසත් පුරුෂ කමෙකි. එබැවින් මිය ගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සැම දෙනා විසින් ම පින් දීම කළ යුතු ය. මිය යන සෑම දෙනා ම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නො වෙති. බලාපොරොත්තු වන්නෝ ප්‍රේත වූවන් පමණකි. එහෙත් මිය ගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මිය යන සෑම දෙනා ම උදෙසා පින් කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය.

පින් අනුමෝදන් වන පරදත්තූප ජීවික ප්‍රේතයන්ට එහි ඵලය එකෙණෙහි ම ලැබෙන්නේ ය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් ප්‍රේතයන්ට සැම දෙයම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාර ද, වස්ත්‍ර‍ ලැබීම සඳහා වස්ත්‍ර‍ ද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු ඇතිරිලි ආදිය ද දන් දී පින් දිය යුතු ය. බිම්සර රජතුමා ආහාර පානයන් දන් දී පින අනුමෝදන් වීමෙන් ඥාති ප්‍රේතයෝ බත් පැන් ලැබූහ. එහෙත් හැඳීමට වස්ත්‍ර‍ නො ලැබුවෝ ය. වස්ත්‍ර‍ නො ලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්න ව රජතුමාට පෙනී සිටියෝ ය. පසු දින රජතුමා වස්ත්‍ර‍ දන් දී ඔවුනට පින් දිණ. එයින් ඔවුහු වස්ත්‍ර‍ ලැබූහ. බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර‍ සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ ප්‍රේතයන්ට සියල්ල ම ලබාදීම සඳහාය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll