572. වාසනාව ද අවාසනාව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සියල්ල කර්ම ශක්තිය අනුව සිදුවේනම් වාසනාව කියලා දෙයක් තිබිය හැකිද???

A. සියල්ලට ම වඩා පාහේ, කර්ම හා කර්ම-විපාක අතිශයින් ම බලවත් වූ හේතු-සාධකය වුව ද, සියල්ල ම කර්ම (/ විපාක) ශක්තියෙන් සිදු නොවේ.

ව්‍යවහාරය කෙසේ වෙතත්, “වාසනාව” ලෙස යෙදිය යුත්තේ නම්, හොඳ/පුණ්‍ය/කුසල (කර්ම හා/හෝ) කර්ම-විපාක සඳහා ම ය.
[“අවාසනාව” ලෙස යෙදිය යුත්තේ නම්, නරක/පාප/අකුසල (කර්ම හා/හෝ) කර්ම-විපාක සඳහා ම ය.]

“වාසනාව” ලෙස ධර්මයේ යෙදෙන්නේ නම්, රහත්බව ලැබුවාට පසුව ද පවා, සසර/පෙර පුරුද්දට (සිතෙන/)කියන/කෙරෙන ආකාරය නොහොත් “සාංසාරික/පෙර පුරුදු” හැඳින්වීමට ය.

T / R - සූවිසි මහ ගුණය - රේරුකානේ චන්දවිමල මහනාහිමි.

 "දක්ෂිණාර්භභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙස් කෙරෙන් පවිත්‍ර බව ය. කෙලෙස් තනි කර ගෙන සිටින්නෝ ද දක්ෂිණාර්භයෝ ය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙළෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත්හු අග්‍රදක්ෂිණාර්භයෝ ය. ලොව්තුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේ පාරිශුද්ධියට රහතුන්ගේ  පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොව්තුරා බුදුහු අග්‍රදක්ෂිණාර්භයන්ට වැඩි දක්ෂිණාර්භයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්භ භාවය යි. තණ, වල්පැලෑටි, ගල් බොරළු නැති කුඹුරක වී වපුළ ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙළෙසුන්ගෙන් පවිත්‍ර සන්නාතියක් ඇති පුද්ගලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබෙය යන මේ කරුණු තේරුම් ගැනිමට දුෂ්කර, ඔප්පු කිරිමට දුෂ්කර ගැඹුරු කරුණකි. මෙබඳු කරුණු වලදි ශ්‍රාද්ධාවම පිටකර ගත යුතු ය. අතිතයේ ඇතැම් සැදැවතුන් සමාන්‍ය කෙනෙකු විසින් දිය නොහෙන, දීමට අතිශයින් දුෂ්කර දානයන් තිබේ. එවැනි දුෂ්කර දානයන් කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දිමනාවක් කළ බොහෝ දෙනෙකුන් ලක්දිව විසු බව කථාපුවත් වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනිමයි, වැළදීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂුන් ජිවිත පරිත්‍යගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත් වූ බව දැක්වෙන කථා ප්‍රවෘත්තීන් ගණනක් ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ ය."

"බුදුරදුන්ට ඒ අරහං ගුණය ඇතිවූයේ සවාසනා සකළක්ලේශ ප්‍රහාණයෙන් අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලැබිමෙනි. බෝධිසත්ත්ව කාලයේ දී ද ඒ අරහං ගුණයේ බීජය උන්වහන්සේට තිබිණ."

‘ආරකා හි සො සබ්බකිලෙසෙහි විදුර සුවිදුරෙ ධීතො, මග්ගෙන සවාසනානං කිලෙසානං විඬංසිතත්තා ති ආරකත්තා අරහං’

(විසුද්ධිමග්ග 146)

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් වාසනාව සහිත ක්ලේශයන් විධ්වංශනය කළ බැවින් සකළ ක්ලේශයන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටන බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. යනු එහි තේරුම ය.

"රහත්හු ද  අර්හත්මාර්ගයෙන් ක්ලේශයෙන් නිරවශේෂයෙන්  ප්‍රහාණය කෙරෙති, බුදුහු ද රහතුන් සේම අර්හත්මාර්ගයෙන් ක්ලේශයන් ඉතිරි නො කොට ප්‍රහාණය කෙරෙති. එහෙත් බුදුරදුන්ගේ හා රහතුන්ගේ ක්ලේශප්‍රහාණයෙහි වෙනසක් තිබේ. රහත්හු ක්ලේශ ප්‍රහාණයට මිස වාසනා ප්‍රහාණයට සමත් නොවෙති. ක්ලේෂ ප්‍රහාණයෙන්  පසු රහතුන්ට වාසනාව ඉතිරිව පවති. සාමාන්‍ය ජනයා අතර ‘වාසනා’  යන වචනය ව්‍යවහාර කරන්නේ පිනට හෝ භාග්‍යටය. පින් ඇත්හුට ‘වාසනාවන්තයා’ යි කියති. වාසනා යන වචනයෙන් මෙහි අදහස් කරන අර්ථය අනිකකි. රා තුබු කළයකින් එවා ඉවත් කොට සොදා ගන්නා ලද කල්හි එහි රා මඳකුදු නැත ද රා ගඳ එහි ඉතිරිව පවතී. එමෙන්ම අර්හත්මාර්ගයෙන් සකල ක්ලේශයෙන් දුරු කළ රහතුන්ගේ සන්තානවල නො රහත් කාලයේ ඉරියවු පැවැත්වු ආකාරයෙන් - ක්‍රියා කළ ආකාරයෙන් - කථා කළ ආකාරයෙන්, ඉරියවු පැවැත්වීමට - ක්‍රියා කිරීමට - කථා කිරීමට හේතුවන ක්ලේශයන්ටම අයත් එක්තරා ශක්තියක් ඉතිරි වේ. මෙහි ‘වාසනාව’  කියනුයේ ඒ ශක්තීන් විශේෂට ය. ඒ ශක්තිය ඉතිරි වී ඇති බැවින් සමහර විට රහතන් වහන්සේ මඳවු ද රාගයක් නැතිව සරාගීන් රාගයෙන් බලාන්නාක් මෙන් බලති, කථා කරන්නාක් මෙන් කථා කරති, මඳවු ද ද්වේශයක් නැතිව කෝපවුවන් සේ ක්‍රියා කරති, කථා කරති, මඳවු ද මානයක් නැතිව මානීන් සේ ඉරියවු ඉරියව් පවත්වති, කථා කරති. ඒ නිසා සමහර විට සෙස්සෝ රහතුන්ටද කලකිරෙති. පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ රහතුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ මානයක් නැතිවම කෝපයක් නැතිවම ‘මෙහෙ වර වසලී, පල වසලී’  යනාදීන් නො සරුප් ලෙස ගිහියන්ටත් පැවිද්දන්ටත් කථා කරති. එක් දවසක් භික්ෂුහු පිළින්දියච්ඡ තෙරුන් වහන්සේගේ මේ නො සුරුප් කථාව ගැන ශාස්තෘන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ ‘එසේ කථා කරන බව සැබෑවදැ’ යි පිළින්දිවච්ඡ තෙරණුවන්ගෙන් අසා ‘සැබෑව’  යි සැල කළ කල්හි, අතීතය බලා වදාරන සේක්:- අතීතයෙහි පිළිවෙළින් ජාති පන්සීයක් බ්‍රාහ්මණ කූලයෙහි ඉපද එසේ කථා කරන්නට පුරුදු වී ඇති බව දැක, භික්ෂුන් අමතා ‘මහණෙනි, ක්ෂීණාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැත, මගේ පුත්‍ර වු වච්ඡ නපුරු සිතක් නැතිවීම පෙර පුරුද්ද නිසා එසේ කථා කරන්නේය’  යි වදාළ සේක. තථාගතයන් වහන්සේ වාසනාවත් සමඟම ක්ලේශයන් දුරු කොට ඇති බැවින් උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරව සිටන සේක. එය තථාගතයන් වහන්සේට ඇති ගුණ විශේෂයකි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll