28. පන්සිල්වල අනුහස් මේ භවයේ දී ම ලැබෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පන්සිල්වල අනුහස් මේ භවයේ දී ම ලැබෙනවා ද?

A. ඔව්.

"... ශීලයෙන් ලැබෙන අනුසස් පසක් ප්‍ර‍කාශිත ය. මහත් වූ භෝගස්කන්ධයක් ලැබිය හැකි බව ය, යහපත් කීර්තියක් ඇති වන බව ය. ඕනෑම පිරිසකට නිර්භීත ව යා හැකි බව ය, නො මුළා වී කාල ක්‍රියා කරන බව ය, මරණින් මතු ස්වර්ගයට පැමිණෙන බව ය යන මේ පස එයින් ප්‍ර‍කාශිත ශීලානිසංසයෝ ය.

සාසනෙ කුල පුත්තානං - පතිට්ඨා නත්ථි යං විනා
ආනිසංස පරිච්ඡේදං - තස්ස සීලස්ස කො වදෙ.

මේ ශාසනයෙහි කුල පුත්‍ර‍යනට ශීලය හැර අන් පිහිටෙක් නැත. ඒ ශීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කීමට සමත් වේද? කිසිවෙක් සමත් නොවේ ය යනු මෙහි අදහස ය. ශීලයෙන් කිය නොහෙන තරමේ අනුසසක් ලැබෙන බව එයින් ප්‍ර‍කාශිත ය. කෙටියෙන් කියත හොත් සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තිය ම ශීලයෙන් ලැබෙන බව කිය යුතු ය."


5. ‘‘පඤ්‌චිමෙ, ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්‌පදාය. කතමෙ පඤ්‌ච?

ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සැපත්හි (ශීලසම්පත්තියේ) මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද? යත්:

ඉධ, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො අප්‌පමාදාධිකරණං මහන්‌තං භොගක්‌ඛන්‌ධං අධිගච්‌ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.

ගැහැවියනි, මෙහි සිල්වත් තෙමේ ශීලයෙන් යුක්ත වූයේ නො පමා හෙයින් මහත් භොග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ පළමු අනුසස ය.

‘‘පුන චපරං, ගහපතයො, සීලවතො සීලසම්‌පන්‌නස්‌ස කල්‍යාණො කිත්‌තිසද්‌දො අබ්‌භුග්‌ගච්‌ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.

තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්තයාගේ උතුම් යසගොසෙක් පැන නගී. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ දෙවන අනුසස ය.

‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො යඤ්‌ඤදෙව පරිසං උපසඞ්‌කමති – යදි ඛත්‌තියපරිසං, යදි බ්‍රාහ්‌මණපරිසං, යදි ගහපතිපරිසං, යදි සමණපරිසං – විසාරදො උපසඞ්‌කමති අමඞ්‌කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.

තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්ත වූ තැනැත්තේ කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙදැත්තේ බිය නැත්තේ එළැඹෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ තෙවන අනුසස ය.

‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො අසම්‌මූළ්‌හො කාලඞ්‌කරොති. අයං චතුත්‌ථො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.

තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ නොමුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ සිවුවන අනුසස ය.

‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො කායස්‌ස භෙදා පරං මරණා සුගතිං සග්‌ගං ලොකං උපපජ්‌ජති. අයං පඤ්‌චමො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.

තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ පස්වන අනුසස ය.

ඉමෙ ඛො, ගහපතයො, පඤ්‌ච ආනිසංසා සීලවතො සීලසම්‌පදායා’’ති.

ගැහැවියෙනි, මොහු වනාහි සිල්වත්හුගේ ශිලසම්පත්තියේ අනුසස් පස ය."


“ගෘහපතියෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පස් අනුසස් කෙනෙක් වෙති. ඒ කවර පසෙක්ද යත්? ගෘහපතියෙනි, මේ ලොකයෙහි පිරිසිදුවූද, සම්පූර්ණවූද සිහියෙන් යුත් සිල් ඇති පුද්ගලතෙම අප්‍රමාදය (එළඹ සිටි සිහිය) හේතුකොට මහත් භොගරාශියට පැමිණෙයි, සිල්වත්හුගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පළමුවන අනුසස වන්නේය. තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද සම්පූර්ණවූද, ශීලයෙන් යුත් සිල්වතාගේ යහපත් කීර්ති ඝොෂය පැනනගී. සිල්වතාගේ ශීල සම්පත්තිය හේතුකොට මේ දෙවන අනුසස වන්නේය, තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද, සම්පූර්ණවූද ශීලයෙන් යුත් සිල්වත්තෙම ක්ෂත්‍රියයන්ගේ පිරිසකට වේවයි බමුණන්ගේ පිරිසකට වේවයි, ගෘහපතියන්ගේ පිරිසකට වේවයි, ශ්‍රමණයන්ගේ පිරිසකට වේවයි, යම් යම් පිරිසක් කරා පැමිණේද, නිර්භයව පැමිණේ. සිල්වතාගේ ශීලසම්පත්තිය හේතුකොට මේ තුන්වන අනුසස වන්නේය. තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද, සම්පූර්ණවූද, ශීලයෙන් යුත් සිල්වත්තෙම සිහිමුළානොවූයේ කලුරිය කෙරෙයි. සිල්වතාගේ ශීල සම්පත්තිය හේතුකොට මේ සිව්වන අනුසස වන්නේය. තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද සම්පූර්ණවූද ශීලයෙන් යුත් සිල්වත් තෙම කයබිඳී මරණින් මත්තෙහි සොඳුරු ගති ඇත්තාවූ අග්‍රවූ දිව්‍යලොකයට පැමිණෙයි, සිල්වතාගේ ශීලසම්පත්තිය හෙතුකොට මේ පස්වන අනුසස වන්නේය. ගෘහපතියෙනි, සිල් ඇත්තහුගේ ශීලසම්පත්තිය හේතුකොට (වන්නාවූ) මේ පස් අනුසස් වෙත් යයි” (වදාළසේක.)


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll