726. සීල හා වෘත යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සීලය සහ වෘත යනු කුමක්ද...?
දෙකෙහි වෙනස කුමක්ද ...?

A. “සීලබ්බතපරාමාසය.
මෙහි ගවාදි සතුන්ගේ ප්‍ර‍කෘතිස්වභාවය සීල නම් වේ. එනම් සතර පයින් යාම, බිම නිදාගැනීම, අතට නො ගෙන මුවින් ම ආහාර ගැනීම, හුන් තැන ම මලමුත්‍ර‍ පහ කිරීම ආදිය ගවයන්ගේ ප්‍ර‍කෘති ස්වභාවය ය. ගවයකු මෙන් හැසිරෙමි යි මනුෂ්‍යයකු විසින් සමාදන් වී පවත්වන ඒ ගව ස්වභාවය ව්‍ර‍ත නම් වේ. බුදු සසුනෙන් පිටත්හි ඇතැම් ශ්‍ර‍මණයෝ ශීලයෙන් ව්‍ර‍තයෙන් සත්ත්වයා ශුද්ධ වන්නේ ය යි සලකති. ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සීලබ්බත පරාමාස නම් වේ. සත්කායදෘෂ්ටිය විචිකිච්ඡාව ශීල ව්‍ර‍තපරාමර්ශ යන මේ තුන සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වන සංයෝජනයෝ ය.”
https://tipitaka.lk/library/472/download#_Toc462519252

174. ‘‘සීලවා වතසම්පන්නො (වත්තසම්පන්නො (ස්‍යා.)), ඣායී ඣානරතො සදා;
පඤ්චාභිඤ්ඤාබලප්පත්තො, සුරුචි නාම තාපසො.
174. “සිල්වත්ව, වෘත සම්පන්නව ධ්‍යාන කරණ සුළු වූයේ, හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ, පඤ්චාභිඥා බලයට පැමිණියේ “සුරුචි” නම් තවුසෙක් වීමි.
https://pitaka.lk/main?n=46103&p=174

"... එහි වතවත්තං ධුතඬ්ග ගුණවලින් සමන්විත වූ, ..."
https://pitaka.lk/dhammapada/katha-282.html

A. "සීල නම් කිම.
සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ (1) චේතනා, (2) චෛතසික, (3) සංවර, (4) අව්‍යතික්‍ර‍ම, යන මේ ය.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කිං සීලං ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්ක මො සීලං....[1] යි.

(1) චේතනා සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළැකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ චේතනා ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෛන් චේතනා චෛතසිකය සීල නම් වෙයි යූ සේයි.)

තවද ප්‍රාණඝාතාදිය හැර පියන්නකු ගේ සප්ත කර්‍මපථ චේතනා ද සීල නම් වෙයි. (සප්ත කර්‍මපත නම්, පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සමඵප්පලාප යන මේයි.)

(2) චෛතසිකය ශීල නම් : ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්‍ර‍ය චෛතසික සීල නම් වෙයි. යූ සේයි) තවද අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන මේ ධර්‍මයෝ ද චෛතසික ශීල නම් වෙත්. “අභිජ්ඣා පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති”[2] යනාදීන් වදාළ හෙයිනි.

(3) සංවර ශීලය වනාහි, පාතිමොක්ඛසංවරය, සතිසංවරය ඤාණ සංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ වේ. “ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො”[3] යනාදි දේශනා පාළියෙහි පාතිමොක්ඛ සංවරයද “රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[4] යනාදි දේශනායෙහි සති සංවරය ද,

“යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා)

සති තෙසං නිවාරණං - සොතානං සංවරං බ්‍රැමි

පඤ්ඤායෙතෙ පිථියරෙ”[5]

යන දේශනාවෙහි ඤාණසංවරය ද, (පච්චයසන්නිස්සිතසීලය ද මෙහි මැ ඇතුළති) “ඛමොහොති සීතස්ස උණහස්ස”[6] යනාදි දෙශනායෙහි ඛන්තිසංවරය ද, උප්පන්තං කාමවිතක්කං නාධිවාසෙති”[7] යනාදි තන්හිවීරිය සංවරය ද, (ආජීව පරිසුධි සීලය ද මෙහි මැ ඇතුළති) සීල වශයෙන් වදාළේ ය. මේ පංච විධ සංවරය හා පාපභීරුක කුලපුත්‍ර‍යන්ගේ සම්පත්ත චිරතිය ද යන මේ සියල්ල සංවර සීලය යි දතයුතු.

(4) අව්‍යතික්‍ර‍ම ශීල නම් - සමාදන් වැ ගත් සීලය කයෙන් වචනයෙන් නොබිඳ රැක ගන්මයි.

“සීල නම් කුමක් ද?” යනු මෙතෙකින් විසඳන ලද්දේය.

2. කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේද

සීලන අර්‍ථයෙන් සීල යයි කියනු ලැබේ. සීලන නම්, සමධානය හෝ උපධාරණය යි. කුශල කායකර්‍මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය. කුශල ධර්මයන් ප්‍ර‍තිෂඨා වශයෙන් ධැරීම උපධාරණය යි. (සීලවන්තයා විපිළිසර නොවන්නේ ය. සීලයෙහි සමාධානර්‍ථය ඇති හෙයිනි.) ධ්‍යාන මාර්‍ග - ඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වේ. (සීලයෙහි උපධාරණාර්‍ථය ඇති හෙයිනි.) ශබ්ද ලක්‍ෂණඥයෝ මේ අර්‍ථද්වය මැ මෙහි ලා පිළිගනිති. ඇතැම්හු ශිරස් (හිස යන) අර්‍ථයෙන් සීලය වේ. ශීතලාර්‍ථයෙන් සීලය වේ. යනාදීන් ප්‍ර‍පඤ්ච (විස්තර) කෙරෙත්.

කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේ ද

යනු මෙතෙකින් විසඳන ලද්දේ යි."

A. "සීලය කී වැදෑරුම්ද.

සීලය වනාහි සීලන ලක්‍ෂණයෙන් එක් වැදෑරුම් වේ. සීලන ලක්‍ෂණ යට විස්තර කරන ලදී.

චාරිත්ත සීල, වාරිත්ත සීල වශයෙන් දෙවැදෑරුම් වේ. එසේ ම ආභිසමාචාරික සීල, ආදීබ්‍ර‍හ්මචරියක සීල වශයෙන් ද, විරති සීල අවිරති සීල වශයෙන් ද, නිස්සිත සීල, අනිස්සිත සීල වශයෙන් ද, කාලපරියන්ත සීල, ආපාණකොටික සීල වශයෙන් ද, සපරියන්ත සීල, අපරියන්ත සීල වශයෙන් ද, ලොකිය සීල, ලොකුත්තර සීල වශයෙන් ද දෙවැදෑරුම් දෙවැදෑරුම් වේ.

හීන සීල, මධ්‍යම සීල, ප්‍ර‍ණීත සීල වශයෙන් තෙවැදෑරුම් වේ. එසේ මැ, අත්තාධිපතෙය්‍ය සීල, ලොකාධිපතෙය්‍ය සීල, ධම්මාධි පතෙය්‍ය සීල වශයෙන් ද, පරාමට්ඨ සීල, අපරාමට්ඨ සීල, පටිප්පස්සධි සීල වශයෙන් ද, විශුද්ධි සීල, අවිසුද්ධි සීල, මෙතික සීල වශයෙන් ද, සෙඛ සීල, අසෙඛ සීල, නෙවසෙඛනාසෙඛ සීල වශයෙන් ද තෙවැදෑරුම් තෙවැදෑරුම් වේ.

හානභාගිය සීල, ඨිතිභාගිය සීල, විසෙසභාගිය සීල, නිබ්බෙධ භාගිය සීල වශයෙන් සිව්වැදෑරුම් වේ. එසේ මැ, භික්ඛු සීල, භික්ඛුණී සීල, අනුපසම්පන්න සීල ගහට්ඨ සීල වශයෙන් ද, පකති සීල, ආචාර සීල, ධම්මතා සීල පුබ්බහෙතුක සීල වශයෙන් ද, පාතිමොක්ඛ සංවර සීල, ඉන්‍ද්‍රිය සංවර සීල, ආජිවපාරිසුද්ධි සීල, පච්චයසන්නිස්සිත සීල වශයෙන් ද සිව්වැදෑරුම් වේ.

පරියන්ත පාරිසුදද්‍ධි සීල, අපරියන්ත පාරිසුද්ද්‍ධි සීල, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීල, අපරාමට්ඨ පාරිසුද්ද්‍ධි සීල, පටිප්පස්සද්‍ධි සීල වශයෙන් පස්වැදෑරුම් වේ. වදාළේ මැයි:- පටිසම්භිදායෙහි “පඤ්චසීලානි පරියන්ත පාරිසුදද්‍ධි සීලං, අපරයන්ත පාරිසුදද්‍ධි සීලං, පරිපුණ්ණ පාරිසුද්ද්‍ධි සීලං, අපරාමට්ඨ පාරිසුදද්‍ධි සීලං, පටිප්පස්සදද්‍ධි පාරිසුදද්‍ධි සීලං”[1] යි එසේ මැ, පහාන සීල, වෙරමණී සීල, චෙතනා සීල, සංවර සීල, අවීතික්කම සීල යයි පස් වැදෑරුම් වේ. මොව්හු ක්‍ර‍මයෙන් මතු විස්තර කරනු ලැබෙත් ඒකවිධ සීලය යට දක්වන ලද පරිදි දතයුතු."

A. “වෘත = වත්” ලෙස ද භාවිතා කරයි.

"වත්

වත් පිරීමත් පැවිද්දන්ගේ ශීලයේ කොටසකි. ආචාර්යෝපාධ්‍යාය සද්ධිවිහාරික අන්තේවාසික සෑම දෙනා විසින් ම පිරිය යුතු වත් ඇත්තේ ය. මහ තෙරුන් වහන්සේගේ පටන් එදින ම පැවිද්ද ලත් සාමණේර නම දක්වා ඇති සෑම දෙනා විසින් තම තමන් අයත් වත් සම්පූර්ණ කළයුතු ය.

“වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති,

අසුද්ධසීලෝ දුප්පඤ්ඤෝ චිත්තේකග්ගං න වින්දති.

වික්ඛිත්තචිත්තෝ නේකග්ගෝ සද්ධම්මං න ච පස්සති

අපස්සමානෝ සද්ධම්මං දුක්ඛා න පරිමුඤ්චති.”

(විනය විනිච්ඡය වත්තක්ඛන්ධක)

“වත් සම්පූර්ණ නො කරන තැනැත්තේ ශීලය සම්පූර්ණ නො කෙරේ. ශීල ශුද්ධිය නැති නුවණ නැති තැනැත්තේ සිතේ එකඟ බවක් නො ලබයි. වික්ෂිප්ත වූ එකඟ නො වූ සිත් ඇත්තේ ධර්මය නො දකී. ධර්මය නො දක්නේ දුකෙන් නො මිදේ” වත් නො කිරීමෙන් සාමණේරයෝ දඬුවම් ලැබිය යුත්තෝ වෙති. භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. චූලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයේ වත් තුදුසක් වදාරා තිබේ. ඒවා විනය විනිශ්චයෙහි ගාථා දෙකකින් මෙසේ දක්වා තිබේ.

“ආගන්තුකාවාසික පිණ්ඩචාරී - සෙනාසනාරඤ්ඤනුමෝදනාසු

වත්තානි භත්තේ ගමිකස්ස ජන්තා - ඝරේ තථා වච්චකුටිප්පවේසේ

ආචරියුපජ්ඣායක සිස්ස සද්ධි - විහාරි වත්තානි පි සබ්බසෝව,

වත්තානි වුත්තානි චතුද්දසේව - විසුද්ධචිත්තේන විනායකේන.”

වත් තුදුස අමතක නොවීම පිණිස මේ ගාථා පාඩම් කර ගත යුතුය.

ආගන්තුක වතය, ආවාසික වතය, පිණ්ඩචාරික වතය, සේනාසන වතය, ආරඤ්ඤක වතය, අනුමෝදනා වතය, භත්තග්ග වතය, ගමික වතය, ජන්තාඝර වතය, වච්චකුටි වතය, ආචරිය වතය, උපජ්ඣාය වතය, සද්ධිවිහාරික වතය, අන්තේවාසික වතය කියා මෙසේ වත් තුදුසක් ඇත්තේ ය."
https://pitaka.lk/books/shasanavatharanaya/22.html

A. “වෘත = ධුතාංග / ධූතාංග” ලෙස ද භාවිතා කරයි.

S. "තෙළෙස් ධුතාංග
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති, ධර්මවේදී නාලන්දේ
විමලවංශ හිමි

අප්පිච්ඡතා, සන්තුට්ඨිතා කියන ගුණ දෙක නොමැති පැවිද්දාට හෝ ගිහියාට සැපතක් අත් විඳීමට නොහැක. මෙම ගුණ දෙක නැති පුද්ගලයාට ජීවිතය සිරගෙයක් මෙන් හැඟෙයි. මෙම ගුණ දෙකෙන් යුතු පුද්ගලයාට මුළු ජීවිතයම සැපයක් මෙන් වැටහෙයි.

‘අප්පිච්ඡතා’ යන්නෙන් අදහස් කරන්නේ බොහෝ දෙයට ආශා නොකරන බවය. ‘සන්තුට්ඨිතා’ යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමන්ට තිබෙන ප්‍රමාණයෙන් සතුටු වීමයි. මෙම ගුණ දෙකම එකට බැඳී පවතියි. මෙම ගුණ දෙකෙහි පිහිටි පුද්ගලයාට අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන දුර්ගුණයන් ඇති නොවේ. ‘අත්‍රිච්ඡතා’ යනු, ලද දෙයින් සතුටු නොවී වඩා හොඳ දේවල් පැතීමයි. කෙතෙක් ලැබුණත් සෑහීමට පත් නොවී තව තවත් බලාපොරොත්තු වීම ‘මහිච්ඡතාවයයි’. තමන් තුළ නැති ගුණ ප්‍රදර්ශනය කිරීම ‘පාපිච්ඡතා’ පුද්ගලයාගේ ලක්‍ෂණයයි. ඉහත සඳහන් කළ අප්පිච්ඡතා, සන්තුට්ඨිකා යන ගුණයන් නිසා සීලයෙහි ගුණාත්මක බව වඩාත් වර්ධනය වෙයි.

සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති භික්‍ෂූන් වහන්සේලාට අතිරේක වශයෙන් සම්පූර්ණ කළ යුතු ධුතාංග දහතුනක් ඇත. හැකි සෑම විටම මෙම ධුතාංග පිරිහීමට, වැඩීමට උත්සාහ කළ යුතු ය. තමන්ගේ ජීවිත කාලයටම ධුතාංගයන් පුරා නොමැති නම් එය පැවිදි ජීවිතයට විශාල අඩුවක් වශයෙන් සැළකෙයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පණ්ඩිතයන් විසින් ඉතා උසස් කොට අගය කරන පිළිවෙත් සතරක් ඇත. තථාගතයන් වහන්සේ එම පිළිවෙත් සතර ‘ආර්යවංශ ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත්තාහ. මෙම පිළිවෙත් සතරට ඉහත සඳහන් කළ ධුතාංග දහතුන අයිති වෙයි. එම පිළිවෙත් හතර නම්,

1. ඉතරීතර චීවර සන්තුඨිතාව (ලැබුන සිව්රකින් සතුටුවීම)
2. ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතාව (ලද ආහාරයකින් සතුටු වීම)
3. ඉතරීතර සේනාසන සන්තුට්ඨිතාව (ලද සේනාසනයකින් සතුටු වීම)
4. භාවනාරාමතාව (භාවනාවෙහි ඇලී වාසය කිරීම)

ධුතාංග දහතුන ඉහත දැක් වූ ආර්යවංස ධර්ම හතර අනුව බෙදී යන්නේ මේ ආකාරයටය.

1. ඉතරීතර චීවර සන්තුට්ඨිතාව - තේචීචරිතාංගය, පාංසුකූලිකාංගය
2. ඉතරීතර පිණ්ඩපාතය – පිණ්ඩපාතිකාංගය, ඛලුපච්ඡාහත්තිකාංගය, සපදානචාරිකාංගය, පත්තපිණ්ඩිකාංගය, ඒකාසනිකාංගය
3. ඉතරීතර සේනාසන – ආරඤ්ඤකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාඝත්ථතිකාංගය,
4. භාවනාරාමතාවය - නේසජ්ජිකාංගය

මෙම ධුතාංග දහතුන සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී නම් උන්වහන්සේ වෙතින් හෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙතින් හෝ රහතන් වහන්සේලා වෙතින් හෝ අනාගාමී, සකෘදගාමී, සෝවාන්, යන ආර්යයන් වහන්සේලා වෙතින් හෝ ත්‍රිපිටකධාරී, ද්වීපිටකධාරී ඒකපිටකධාරී, ඒක සඟිධාරී, අට්ඨකතාධාරී, ධූතාංගධාරී වැනි උතුමන් වෙතින් සමාදන් විය යුතු ය. එවැනි උතුමන් නොමැති විට තමන් විසින් සමාදන් වීම සුදුසු ය. එහෙත් තමන් ධුතාංග සපුරන බවක් කිසිවෙකුට නොපැවසිය යුතු ය. නොඇඟවිය යුතු ය. මෙම එක් එක් ධුතාංගය 1. සමාදානය, 2. විධානය, 3. ප්‍රබේධය, 4. භේදය, 5. ආනිශසය යනු පස් ආකාරයකට විග්‍රහ කළ හැකි ය. කෙලෙස් ධුතාංග පිළිබඳව කෙටි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ දරමු.

1. පංසුකුලිකංගය - මෙම ධූතාංගය සමාදන් වනු කැමති පුද්ගලයා ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමී. තේවීවරි කං සමාදියාමි’ යන මේ වාක්‍ය දෙකෙන් එකක් පැවසීමෙන් සමාදන් විය යුතු ය. එතැන් සිට තමන් කැමති, තෝරා ගත් චීවරයක් පරිභෝග කළ යුතු ය. ධුතාංග වලට ගැළපෙන චීවර වර්ග විසි තුනක් ඇත. එනම්,

1. සෝසානික - සොහොනෙහි දැමූ වස්ත්‍ර, 2. පාපනික - වෙළෙඳපලෙන් ඉවත දැමූ වස්ත්‍ර, 3. රථියචෝල – වීදියෙහි ඉවත දැමූ වස්ත්‍ර, 4. සංඛාරචෝල – කසළගොඩෙහි දැමූ වස්ත්‍ර, 5. සොත්ථිය – ගැබ් – මල පිස දැමූ වස්ත්‍ර, 6. නහානචෝල – යක්ෂාවේශ වූවන් පෙරවූ වස්ත්‍ර, 7. තීත්ථචෝල – නාන තොටෙහි හැරදැමූ වස්ත්‍ර, 8. ගතපච්චාගත - සොහොනට ගියවුන් හැර දැමූ වස්ත්‍ර, 9. අග්ගිදඩ්ඩ – අඩක් දැවුනු වස්ත්‍රය, 10. ගෝඛායිත – හරකුන් කෑ වස්ත්‍රය, 11. උපව්කාඛායිත - වේයන් කෑ වස්ත්‍රය, 12. උන්දුරඛායිත – මීයන් කෑ වස්ත්‍ර, 13. අන්තච්ඡින්නය – අග කඩා ගිය වස්ත්‍ර, 14. දසාච්ජින්නය – දාවලු කැඩී ගිය වස්ත්‍ර, 15. ධජාහටය – නැවෙහි හෝ යුද බිමෙහි හැර දැමූ වස්ත්‍ර, 16. ථූපචීවරය – තුඹස්වල බැඳී වස්ත්‍ර, 17. සමණචීවරය – භික්‍ෂූන් සතු වස්ත්‍රය, 18. ආභිසේතිකය – රාජාභිෂේක කළ තැන දැමූ වස්ත්‍ර, 19. ඉද්ධීමය – ඒහිභික්ෂු චීවරය, 20 - දේවදත්තිය - දෙවියන් දුන් වස්ත්‍රය, 21. වාතාහටය - සුළඟට පැමිණි වස්ත්‍රය, 22. පන්ථිකය – මහමඟ වැටී තිබුණ වස්ත්‍රය, 23. සාමුද්දිය – මුහුදු රළින් පැමිණි වස්ත්‍රය යන මෙම විසිතුන් ආකාර වස්ත්‍ර වලින් එකක් පාංසකූල චීවර වශයෙන් ගත හැකි ය. මෙම ධූතාංගය සමාදන් වූ පසු, ගිහියන් විසින් පිදූ වස්ත්‍රයක් පිළිගතහොත් ධූතාංගය බිඳී යනු ඇත.

2. තෙචීචරිතංගය – ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකංගං සමාදියාමි’ මෙම වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. තුන් සිව්ර හැර වෙනත් චීවරයක් පිළි නොගැනීමයි. යම් හෙයකින් වෙනත් චීවරයක් පිළිගත හොත් ධූතාංගය බිඳී යනු ඇත.

3. පිණ්ඩපාතිකංගය – ‘අතිරේක ලාභං පටික්ඛිපාම්. පිණ්ඩපාතිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා ලබන ආහාරය හැර වෙනත් කිසිම ආහාරයක් නොපිළි ගැනීමයි. පිඬුසිඟා වැඩි පසු යමෙක් ‘අපගේ නිවසෙහි භික්‍ෂූන් පිණ්ඩපාතය වළඳයි. ඔබ වහන්සේද පැමිණ වැළඳුව මැනව යනුවෙන් ඇරයුම් කළහොත් පිළිගැනීම සුදුසුයි. යම් දිනක අතිරේක පිණ්ඩපාතයක් පිළිගතහොත් එම ධුතාංගය බිඳී යයි.

4. සපදානචාරිකංගය – ‘ලෝලුප්පචාරං පටික්ඛිපාමි. සපදානචාරිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා යාමයි. ගෙලිපිවෙල ඉක්මැවූ විටෙක ධුතාංගය බිඳී යයි.

5. ඒකාසනිකංගය – ‘නානාසන භෝජනං පටික්ඛිපාමි. ඒකාසනිතංගං සමාදියාමි’ යනුවෙන් සමාදන් විය යුතු ය. වළඳන විට ප්‍රධාන ආසනයෙහි වාඩි නොවීමයි. එසේම පළමුව අත තැබූ භෝජනය පමණක් වැළඳීමයි. අන් ආසනයක හිඳ වැළදුවහොත් ධුතාංගය බිඳී යයි.

6. පත්තපිණ්ඩිකංගය – ‘දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ මෙයින් කැමති වාක්‍යයක් කියා සමාදන් විය යුතු යි. ලැබෙන භෝජන පාත්‍රයෙන් පමණක් පිළි ගැනීමයි. දෙවන භාජනයක් පිළිගත් මොහොතේම මෙම ධුතාංගය බිඳී යයි.

7.ඛලු පච්ඡාභත්තිකාංගය – ‘අතිරේක භෝජනං පටික්ඛිපාමි. ඛලු පච්ඡාහත්තිකාංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. දන් වළඳා අවසන් වූ පසු නැවත කිසිවක් නොවැළඳීමයි. එනම් ළඟට ගෙනෙන භෝජනය අතින් වසා ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ලැබෙන භෝජන නොවැළඳීමයි. එසේ වැළඳුවහොත් මෙම ධුතාංගය බිඳී යයි.

8. ආරඤ්ඤකංගය – ‘ගාමන්ත සේනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගමෙහි වාසය නොකොට වන ගතව සිටීමයි.අරුණ නැගෙන තුරු ගමෙහි විසුවේ නම් මෙම ධුතාංගය බිඳී යයි.

9. රුක්ඛමූලිකංගය – ‘ඡන්නං පටික්ඛිපාමී. රුක්ඛමූලිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු වෙයි. රාජ්‍ය සීමා දක්වන වෘක්ෂ, මිනිසුන්ගේ පූද පූජා වලට ලක්වන වෘක්‍ෂ, ලාටු, මල්, ගෙඩි ඇති වෘක්‍ෂ, වවුලන් වසන වෘක්‍ෂ, සිදුරු ඇති වෘක්‍ෂ, විහාර මැද පිහිටි වෘක්‍ෂ යන මේවා අත් හැර, විහාර කෙළවර පිහිටි වෘක්‍ෂයක් වාසයට ගත යුතු යි. ;ගයක විසූ විට ධූතාංගය බිඳී යයි.

10. අබ්හෝකාසිකංගය – ඡන්නංච රුක්ඛමූලංච පටික්ඛිපාමි. අබ්හෝකාසිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු යි. ගෙවල් වලත්, රුක් මුල්හිත් වාසය නොකොට, එළිමහන්හි විසීමයි. බණ ඇසීමට, පොහොය කිරීමට, වර්ෂාවෙන් බේරීමට, ඉගෙනීමට, උගැන්වීමට ගෙවලට යාමෙහි වරදක් නොවේ.

11. සෝසානිකංගය – ‘න සුසානං පටික්ක්‍ඛිපාමි. සෝසානිකංගං සමාදියාමි’යන වාක්‍ය වලින් සමාදන් වීමට හැකි ය. රාත්‍රිය සොහොනක වාසය කිරීමයි. සොහොනට නොගොස් ගෙයක විසුවහොත් ධූතාංගය බිඳෙයි.

12. යථාසන්ථිතිකංගය - සේනාසන ලෝලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථිතකංගං සමාදියාමි’ යන වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. දායකයකු විසින් තමන්ට පූජා කළ ආරාමය හැර, වෙනත් ආරාමයක නොවිසීමයි. වෙනත් ආරාමයක් ඉල්ලූ විටෙක ධුතාංගය බිඳී යයි.

13. නේසජ්ජිකංගය – ‘සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. නිදා ගැනීමෙන් වැළකීමයි. අනික් ඉරියව් තුනෙන් රාත්‍රිය ගත කළ යුතු ය. නිදා ගතහොත් ධූතාංගය බිඳී යයි.

මෙම ධූතාංග අතුරෙන් ‘තෙචීචරිතංගය’ හැර අනෙක් දොළොස සාමණේරයන්ට රැකිය හැක. සික්ඛමානාවන්ට සහ සාමණේරීන්ට තෙචීචරිකංගයද, භික්‍ෂුණීන්ට තහනම් කැර තිබෙන ධූතංග පහ හැර අනෙක් ඒවාද, උපාසක උපාසිකාවන්ට ඒකාසනිකංගය සහ පත්තිපිණ්ඩිතංගය යන දෙකද ආරක්‍ෂා කළ හැකි ය. කෙළෙස් ධූතාංග ‘උත්තෘෂ්ඨ, මධ්‍යම, මෘදුක වශයෙන් තුන් ආකාරයකට රැකීමට පිළිවෙන. එසේම මෙම ධූතාංග රැකීමෙන් ලැබිය හැකි ආනිසංසද වෙන වෙනම දැක්විය හැකි ය. ද්වේෂ චරිතයක් ඇති අයට ආරඤ්ඤකංගයත්, රුක්ඛමූලිකංගයත් යන දෙක ද, අනෙක් ධූතංගයෝ රාග චරිතයක් ඇති අයටත්, මෝහ චරිතයක් ඇති අයටත් ගැළපේ."

"ධූතාංග සමාදානය

සීල කොට්ඨාසයට අයත් ධුතාංග නම් වූ ප්‍ර‍තිපත්ති කොටසක් ඇත්තේ ය. උත්සාහවත් උපාසකෝපාසිකාවන්ට සිල් සමාදන් වන දිනවල දී අතිරේක ප්‍ර‍තිපත්තිය වශයෙන් ධූතාංග ද සමාදන් වී රැකිය හැකි ය. ධූතාංග තෙළෙසක් ඇත්තේ ය. ඒ සියල්ල සමාදන් විය හැක්කේ උපසම්පදා භික්ෂූන්ට පමණෙකි. එකක් හැර දොළොසක් සාමණේරයන්ට රැකිය හැකි ය. ගෘහස්ථ උපාසක උපාසිකාවන්ට රැකීමට සුදුසු ධූතාංග දෙකක් ඇත්තේ ය. ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය යන ධූතංග දෙක උපාසකෝපාසිකාවන්ට සුදුසු ධූතාංගයෝ ය.

ඒකාසනිකාංගය

ඒකාසනිකාංගය යනු දිනකට එක්වරක් පමණක් ආහාර වැළඳීමේ ප්‍ර‍තිපත්තියය. එය සමාදන් විය යුත්තේ “නානාසන භෝජනං පටික්ඛිපාමි, ඒකාසනිකංගං සමාදියාමි” යන වැකිය තුන්වරක් කීමෙනි. එහි තේරුම: නොයෙක් වර හිඳ ආහාර වැළඳීම අත් හරිමි, එක් වරක් හිඳ වැළඳීම නමැති ධූත ගුණය සමාදන් වෙමි” යි යනුයි. මෙය සමාදන් වූවහු විසින් ආහාර ගැනීමට හිඳගත් කල්හි දවසට ම සෑහෙන්න ආහාර වැළඳිය යුතු ය. වළඳා හෝ වළඳන අතර අසුනෙන් නැගිට්ට හොත් නැවත ආහාර නො වැළඳිය යුතු ය. එදින නැවත ආහාරයක් වැළඳුව හොත් ධූතාංගය බිඳේ. ගිලන් පස වැළඳීමෙන් වරදක් නැත.

පත්තපිණ්ඩිකාංගය

පත්තපිණ්ඩිකාංගය යනු නොයෙක් භාජනවල නො වළඳා එකම භාජනයක වැළඳීම වූ ධූතගුණය ය. එය “දුතියක භාජනං පටික්ඛිපාමි, පත්ත පිණ්ඩිකංගං සමාදියාමි” යන වැකිය තුන්වරක් කියා සමාදන් විය යුතු ය. එය සමාදන් වූවහු විසින් ආහාර සියල්ල එක භාජනයකට ගෙන වැළඳිය යුතු ය. මිශ්‍ර‍ වූ කල්හි වැළඳීම දුෂ්කර වන කිරි කැවිලි පලතුරු සුප් කැඳ යන මේවා ඒ භාජනයට ම වරින් වර ගෙන වැළඳිය යුතු ය. අන් බඳුනක වැළඳුව හොත් ධූතංගය බිඳේ. වතුර හා ගිලන්පස අන් භාජනවල වැළඳිය හැකි ය.

ඒකාසනිකාංගය - පත්තපිණ්ඩිකාංගය යන මේ ධූතාංග දෙක එක විට සමාදන්ව එක විට ම රැකිය හැකිය. දවසට ම සෑහෙන ආහාර එක් භාජනයකට ගෙන එක් තැනක හිඳ එක් වතාවක දී ම වළඳා අවසන් කිරීමෙන් ධූතාංග දෙකම රැකේ. ධුතාංග සමාදන් විය යුත්තේ උදයේ කිසි ආහාරයක් නො ගෙන ය. ධුතාංග සමාදන් වූවන්ට පෙරවරු කාලයේදී ද ඇල්වතුර උණු වතුර හා ගිලන්පස ගැනීම වරද නැත. 11 ට පමණ දවල් දානය ගැනීම හොඳ ය.

තමා උපාසකවරුන් අතර විශේෂ පුද්ගලයකු වීමේ අදහසින් ධූතාංග සමාදන් නොවිය යුතු ය. තමා ධූතාංග සමාදන් වී සිටින බව ද සෙස්සන්ට නො කිය යුතු ය. උදයේ ආහාර වැළඳීමට අනිකකු ආරාධනා කළහොත් ධූතාංග සමාදන් වී සිටිනා බව නො කියා ප්‍ර‍තික්ෂේප කළ යුතු ය."
https://pitaka.lk/books/pohoya-dinaya/15.html

"ධුතාඞ්ග සමාදන් වීමේ පිළිවෙළ

සිල් රක්නා පින්වතුන්ට වැඩි දුරටත් අල්පේච්ඡතාදි ගුණ දියුණු කර නිවන් ළංකර ගැනීමට ධුතාංගයෝ උපකාරක වෙති. ධුතාංග තෙළෙසකි. ඒ සියල්ල ම රැකිය හැක්කේ පැවිද්දන් විසිනි. ඒකාසනිකාංගය, පත්ත පිණ්ඩිකාංගය යන දෙක උපාසකෝපාසිකාවන්ට ද රැකිය හැකිය. වැඩි දුරටත් ගුණදම් පුරුදු කරනු කැමති පින්වතුන් විසින් සිල් සමාදන් වීමෙන් පමණක් නො නැවතී සිල් සමාදන් වන දිනයන්හි ඒකාසනිකාංග, පත්තපිණ්ඩිකාඞ්ග දෙකින් එකක් හෝ දෙකම හෝ සමාදන් වී රක්ෂා කිරීම ද මැනවි. ඒකාසනිකාංගය සමාදන් වන්නේ මෙසේ ය. උදෑසන යම්කිසි ආහාරයක් නො වළඳා සිල් සමාදන් වී “නානාසන භෝජනං පටික්ඛිපාමි, එකාසනිකංගං සමාදියාමි” යන වාක්‍යය තුන් වරක් කියා හෝ සිතා හෝ ඒකාසනිකාංගය සමාදන් විය යුතු ය. නොයෙක් ඉඳුම්වලින් ආහාර වැළඳීම අතහරිමි, එක් හිඳීමකින් වළඳන්නා වූ අංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම යි. මෙහි නානාසනය යි කියනුයේ නොයෙක් වර හිඳ ගන්නා හිඳුම්වලට ය. ඒකාසනය යි කියනුයේ එක්වර හිඳ ගැනීමට ය. මෙය සමාදන් වූ තැනැත්තා විසින් එක් වරකට ම මුළු දවසට ම සෑහෙන ආහාර වැළඳිය යුතු ය. එදින නැවතත් ආහාරයක් ගතහොත් ධුතාංගය බිඳේ. ගිලන්පස වැළඳුවාට වරදක් නැත.

‘දුතියක භාජනං පටික්ඛිපාමි, පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ යන වැකිය තුන් වරක් කියා හෝ සිතා පත්තපිණ්ඩිකාංගය සමාදන් විය යුතුය. ‘දෙවන භාජන ප්‍ර‍තික්ෂේප කරමි. පත්තපිණ්ඩිකාංගය සමාදන් වෙමිය’ යනු එහි තේරුම ය. මෙය රක්නා තැනැත්තා විසින් වළඳන අහර සියල්ල ම එකවර එක් භාජනයකට ගෙන වැළඳිය යුතුය. මිශ්‍ර‍ වූ කල්හි වැළඳිය නොහෙන ආහාරයක් වේ නම් එය වළඳන භාජනයට ගෙන පළමු ව හෝ පසුව වැළඳිය යුතු ය. දෙවන භාජනයක් වශයෙන් කෙසෙල් පතකුදු ගතහොත්, ධුතාංගය බිඳේ. ආහාරය පිළිගන්නා කල්හි ද පමණ ඉක්මවා නො ගෙන සෑහෙන පමණට පිළිගත යුතු ය. මේ ධුතාංග දෙක ම එකවර සමාදන් වී රැකිය හැකි ය."
https://pitaka.lk/books/bauddhayage-athpotha/10-2-15.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll