Q. චිත්ත වීථි කොටස් කීය ද?
T. "චිත්ත වීථි
ඇසට හමුවන දෙය හරියට දැන ගැනීම ය, කනට එන ශබ්දයන් හරියට දැන ගැනීම ය, නාසයට - දිවට - කයට පැමිණෙන ගන්ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් හරියට දැන ගැනීම ය, තමා විසින් වචනයක් කීම ය, අනුන් කියන වචනයේ තේරුම දැන ගැනීම ය, ශරීරාවයවයන් එසවීම ය, පහත් කිරීම ය, එහා මෙහා කිරීම ය, යෑම ය, ඊම ය, දීම ය, ගැනීම ය යනාදි කරුණුවලින් එකකුදු එක් සිතකින් සිදු නො වේ. ඒ එක් එක් කරුණක් සිදුවීමට ක්‍රමානුකූල ව සිත් පෙළක් ඇති විය යුතු ය. ඒ ඒ කරුණු සිදු කිරීම් වශයෙන් ඇති වන්නා වූ චිත්ත පරම්පරාවලට, සිත් වැල්වලට “චිත්තවීථිය” යි කියනු ලැබේ. කොටින් කියතහොත් එක් එක් කරුණක් සම්බන්ධයෙන් ඇති වන සිත් වැල් චිත්තවීථිය යි කිය යුතු ය.
සිත ඉතා සියුම් ය. එය ඇසට පෙනෙන දෙයක් ද නොවේ. සුළඟ - සීතල - උෂ්ණය යන මේවා ඇසට නො පෙනෙතත් කයට දැනේ. සිත එසේ කයට දැනෙන - හසුවන දෙයක් ද නො වේ. ඉතා ඉක්මනින් ඉපිද බිඳී යන්නක් බැවින් සිත පරීක්ෂණයකට හසුකර ගත හැකියක් ද නො වේ. කරුණු මෙසේ හෙයින් සිතේ සැටි සොයා ගැනීම, ඉතා ම දුෂ්කර ය. සිතේ සැටි දැන ගැනීමට ඉතා ම දුෂ්කර වී ඇත්තේ එය දැන ගැනීමේ උපකරණයත් එයම වීම ය. කපන උපකරණය වූ පිහියෙන් අනිකක් කැපිය හැකි ය. ඒ පිහිය ම එයින් නො කැපිය හැකි ය. එමෙන් දැන ගැනීමේ උපකරණය වූ සිතට ඒ සිතේ සැටි නොදත හැකිය. එබැවින් සිත පිළිබඳ උගෙනීමක් කර නැති සාමාන්‍ය ජනයාට චිත්තවීථිය කියා දෙයක් ඇති බව පවා නො දැනේ. සිත ගැන ඉගෙනීම් කරන - විමසීම් කරන ජනයාට වුව ද මේවා මෙසේ විය යුතු ය කියා අනුමාන වශයෙන් සිත ගැන දැනුමක් ඇති වෙනවා මිස, ඇසට පෙනීම වැනි ප්‍රත්‍යක්ෂ දැනුමක් සිත ගැන ඇති නො වේ. සිත ගැන දැන ගැනීම ඉතා ප්‍රයෝජන බැවින් අනුමාන වශයෙන් වුව ද දැනීමක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න."
A. "වීථි
වීථි වනාහි පඤ්චද්වාර වීථි - මනෝද්වාර වීථි වශයෙන් දෙකොටසක් වෙයි. පඤ්චද්වාර වීථීහු ද, චක්ෂුර්ද්වාර වීථි - ශ්‍රෝත්‍රද්වාර වීථි - ඝ්‍රාණද්වාර වීථි - ජිහ්වාද්වාර වීථි - කායද්වාර වීථි යි පස් කොටසක් වෙති. චක්ෂුර්ද්වාර වීථීහු ද, අතිමහන්තාරම්මණ වීථි - මහන්තාරම්මණ වීථි - පරිත්තාරම්මණ වීථි - අතිපරිත්තාරම්මණ වීථි යි සතර කොටසක් වෙති. චක්ෂුර්ද්වාරයෙහි අතිමහන්තාරම්මණ වීථි එකකි. මහන්තාරම්මණ වීථි දෙකකි. පරිත්තාරම්මණ වීථි සයකි. අතිපරිත්තාරම්මණ වීථි සයෙකි. සියල්ල පසළොසෙකි. ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කායද්වාර වීථිහු ද, එසේ ම පසළොස බැගින් වෙති. පඤ්චද්වාර වීථි සියල්ල පන් සැත්තෑවෙකි.
මූල චිත්තය.
සත්ත්වයාට මරණාසන්නයේ දී ඔහු කළ කර්මයක් හෝ සිහි වෙයි. කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙයි. මරණාසන්නයේ දී සිතට වැටහුණු දෙය අරමුණු කොට දෙවන ජාතියේ පළමු වන සිත පහළ වේ. එයට “ප්‍රතිසන්ධි චිත්තය” යි කියනු ලැබේ. ස්වභාව ධර්මය පරිදි ඒ ප්‍රතිසන්ධි චිත්තය නිරුද්ධ වූ පසුත් ඒ සන්තානයේ මරණාසන්න චිත්තයට අරමුණු වූ දෙය අරමුණු කරන ප්‍රතිසන්ධි චිත්තයට සමාන සිතක් මරණය තෙක් ම නැවත නැවත ඇති වේ. සිත් පරම්පරාව නො සිඳී සත්ත්වයා ජීවත් වන්නේ ඒ සිත් පරම්පරාව නිසා ය. භවයාගේ පැවැත්මට කාරණය වන බැවින් ඒ සිත්වලට ‘භවාඞ්ග සිත්ය යි කියනු ලැබේ. භවාඞ්ග චිත්තය අන් සිතක් නැති සෑම වේලේ ම සත්ත්වයන් කෙරෙහි ඇති වන නමුත් එබඳු සිතක් ඇති වන බව අපට නොදැනේ. ඒ භවාඞ්ග චිත්තය සත්ත්වයාගේ මූල චිත්තය ය. අලුත් අලුත් අරමුණු ගන්නා වීථි පහළ වන්නේ භවාඞ්ග සිත් පරම්පරාවේ අගිනි."
"මනෝද්වාර වීථි
කාම ජවන වීථිය - අර්පණා ජවන වීථිය කියා මනෝද්වාර වීථි දෙ කොටසකි. ‘අර්පණා ජවනය’ යි කියනුයේ මහග්ගත ලෝකෝත්තර ජවනයන්ට ය. චිත්තක්ෂණ සතළොසක් ආයු ඇති වර්‍තමාන රූපයක් අරමුණු කොට ඇති වන විභූතාරම්මණ වීථි පසක් ඇත්තේ ය. ඒවා අරමුණු කොට ඇති වන අවිභූතාරම්මණ වීථි දෙකක් ඇත්තේ ය. රූප විසි අටෙහි චිත්තක්ෂණ සතළොස බැගින් ආයු ඇති රූප දෙ විස්සක් ඇත්තේ ය. අනික් රූප සයට එපමණ ආයුෂ නැත. රූප ගැන රූප කාණ්ඩයේ දී දත හැකි වනු ඇත. චිත්තක්ෂණ සතළොසක් ආයු නැති ඉතිරි නාමරූප ධර්ම හා අතීතානාගත දෙකට අයත් චිත්තක්ෂණ සතළොසක් ආයු ඇති රූප දෙවිස්ස ද අරමුණු කොට උපදනා විභූතාරම්මණ වීථි දෙකක් හා අවිභූතාරම්මණ වීථි දෙකක් ද ඇත්තේ ය. මෙසේ කාමාවචර ජවන මනෝද්වාර වීථි නවයකි."
T. මනෝද්වාර වීථි ඇති වන අවස්ථා
මනෝද්වාර වීථි ගැන හොඳ අවබෝධයක් ඇතිවීමට ඒවා ඇති වන අවස්ථා දැන ගත යුතු ය. චිත්තක්ෂණ සතොළොසකට ආයු ඇති වර්තමාන රූප දෙවිස්ස අරමුණු කොට සප්තදශායුෂ්ක විභූතාරම්මණ අවිභූතාරම්මණ මනෝද්වාර වීථි ඇති වන බව ඉහත කියන ලදී. රූපය ශබ්දය ගන්ධය රසය ස්ප්‍රෂ්ටව්‍යය යන අරමුණු පස ඒ රූප දෙවිස්සට ඇතුළත් ය.
ඔබ රුවන්වැලි මහසෑය කරා ගිය හොත් ඒ මහ සෑය ඔබ දක්නෙහි ය. රුවන්වැලි සෑය දැකීමය කියන්නේ අනිකක් නොව රුවන්වැලි සෑය අරමුණු කොට ඔබගේ සන්තානයෙහි යම්කිසි චක්ෂුර්ද්වාර වීථියක් ඇති වීමය.
ඔබ නිවසට ගියකල්හි දුටු රුවන්වැලි මහසෑය ඔබට සිහිවේ. ඒ රුවන්වැලි මහසෑය සිහිවීම නම්, ඔබ කලින් දුටු රුවන්වැලි මහසෑය අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වීම ය.
ඔබ දුටු රුවන්වැලි සෑය චිත්තක්ෂණ සතොළොසක් ආයු ඇති රූප සමූහයකි. චිත්තක්ෂණ සතොළොස වූ ආයුෂය ගෙවී ඒ රූප සමූහය එකෙණෙහි ම නිරුද්ධ විය. දැන් ඒවා නැත. දුටු රුවන්වැලි සෑය සිහි කිරීම් වශයෙන් ඔබ සන්තානයේ ඇති වූ මනෝද්වාර වීථියට අරමුණු වන්නේ ඔබ ඒ වේලාවේ දී දුට, දැන් නැති, අතීත රූප සමූහයෙකි. ඔබට ඒ වේලාවේ දී ඇති වූයේ අතීත රූප අරමුණු කරන චිත්තක්ෂණ සතළොසක් නැති මනෝද්වාර වීථි දෙකින් එකකි.
ඔබ නිවසේ සිට ඇසට නො පෙනෙන රුවන්වැලි මහසෑය දෙසට හැරී එයට වඳින්නෙහි නම්, ඒ වැඳීමට ලක් වන්නේ ඔබ කලින්් දුටු රුවන්වැලි මහ සෑය නොව, ඒ වේලාවෙහි එතැන ඇති රුවන්වැලි සෑය ය. එයට නමස්කාර කිරීම් වශයෙන් ඔබට ඇති වන්නේ වර්තමාන රූපය අරමුණු කරන සප්තදශායුෂ්ක විභූතාරම්මණ වීථි පසෙන් හා අවිභූතාරම්මණ වීති දෙකින් යම් කිසි වීථියකි. ඒ වන්දනාවට ලක් වන්නේ කලින් දුටු රුවන්වැලි සෑය නොවේය යි කියන්නේ, ඔබ රුවන්වැලි සෑය වශයෙන් කලින් ඇසින් දුටු රූප සියල්ල ම නිරුද්ධ වූ බැවිනි.
ඔබ නිවසේ සිට රුවන්වැලි මහ සෑය වැඳීමේ දී රුවන්වැලි සෑය වශයෙන් ඔබ සලකන, ඉපද එක් චිත්තක්ෂණයක් ඉක්මුණු රූප කලාප සමූහය ද ඔබගේ මනෝද්වාරයට යොමු විය හැකි ය. චිත්තක්ෂණ දෙක තුන සතර පහ ඉක්මුණු රුවන්වැලි මහ සෑයේ රූප කලාප ද ඔබගේ මනෝද්වාරයට එළඹ සිටිය හැකි ය. එවායින් ඔබට පළමු වන දෙවන තුන්වන සතරවන පස්වන විභූතාරම්මණ වීථි ඇති වේ. චිත්තක්ෂණ සයක් හෝ සතක් ඉක්මුණු රූප මනෝද්වාරයට යොමු වී නම් එකල්හි අවිභූතාරම්මණ වීක්ථි ඇති වේ.
රුවන්වැලි මහසෑය නමැති ප්‍රඥප්තිය මනෝද්වාරයට යොමු වී නම්, එකල්හි ඇති වන්නේ චිත්තක්ෂණ සතළොසක් නැති ප්‍රඥප්තිය අරමුණු කරන මනෝද්වාර වීථිය ය.
රුවන්වැලි මහසෑය දුටු බව ඔබට මතක් වේ නම්, එකල්හි ඔබට ඇති වූයේ චක්ඛුවිඤ්ඤාණය හෝ චක්ඛුද්වාර වීථිය අරමුණු කරන මනෝද්වාර වීථියකි. එය සිත් අරමුණු කොට ඇති වන මනෝද්වාර වීථියකි. රුවන්වැලි සෑය සිහිවීම අනිකකි. රුවන්වැලිසෑය දුටු බව සිහිවීම අනිකකි. අවුල් කර නො ගෙන ඒ දෙකේ වෙනස තේරුම් ගන්න.
රුවන්වැලි සෑය දැකීමෙන් සමහර විට ඔබට මහත් ප්‍රීතියක් ඇති වන්නට ඇත. ප්‍රීතිය චෛතසිකයෙකි. රුවන්වැලි සෑය දැකීමෙන් ඇති වූ ප්‍රීතිය ඔබට සිහි වෙනවා නම්, එකල්හි ඇති වන්නේ ප්‍රීති චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි.
වේදනාව ද චෛතසිකයෙකි. ඔබට ඇති වූ වේදනාවක් සිහි වේ නම්, එකල්හි ඇති වන්නේ වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි. වේදනාවෙන් පෙළෙන අනිකකු දුටු විට ඔහුගේ වේදනාව ඔබට දැනුන හොත්, එකල්හි ඇති වූයේ ද වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීථියකි.
ඔබ සන්තානයේ ඇති වන ආදරය කෝපය මානය ඊර්‍ෂ්‍යාව මෛත්‍රිය කරුණාව යනාදිය සිහි වන විට ද, අනුන් කෙරෙහි ඇති වන ඒ කරුණු දැනෙන විට ද, ඇති වන්නේ චෛතසික අරමුණු කරන මනෝද්වාර වීථිය ය.
මෙතෙකින් කියන ලදුයේ පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ටිකකි. කියන ලද කරුණු අනුව සිතා, රූප හා චිත්ත - චෛතසිකයන් අරමුණු කොට මනෝද්වාර වීථි ඇති වන සැටි තේරුම් ගන්න."
"මනෝද්වාර වීථි ඇති වීමේ හේතු
චක්ෂුරාදි ද්වාරයන්හි රූපාදි අරමුණු ගැටීමෙන් පඤ්චද්වාර වීථි ඇති වන බව ප්‍රකට ය. මනෝද්වාර වීථි ඇති වීමේ හේතු අප්‍රකට ය. එබැවින් එය දක්වනු ලැබේ.
මනෝද්වාර වීථි ඇති වීමේ හේතු බොහෝ ය. පඤ්චද්වාරයෙහි රූපාදි අරමුණු ගැටීමත් මනෝද්වාර වීථි ඇති වීමේ එක් හේතුවකි. පඤ්චද්වාරයෙන් ගත් අරමුණු හා සම්බන්ධ බව, අනුන් කියනු ඇසීම, අසන ලද්ද හා සම්බන්ධ බව, අනුන් විසින් ප්‍රශ්න ඇසීම, කල්පනා කිරීම, ශාරීරික ධාතු කෝපය, සා ගින්න - පිපාසාව, නොයෙක් ශාරීරික වේදනා ඇතිවීම, සතුරන් මුණ ගැසීම, මිතුරන් මුණ ගැසීම යන මේවා මනෝද්වාර වීථි ඇති වීමේ හේතූන්ගෙන් කොටසකි.
ඝණ්ටාවකට වරක් ගැසූ කල්හි මහ හඬක් ඇති වේ. ඉන් පසු ගැසීමක් නැතිව මුලින් ඇති වූ හඬ නිසා ක්‍රමයෙන් සිහින් වෙමින් නාද පරම්පරාවක් ඇති වේ. එමෙන් චක්ෂුඃ ප්‍රසාදයෙහි වරක් රූපාරම්මණයක් ගැටුණ කල්හි චක්ෂුර්ද්වාර වීථියක් ඇති වී නිරුද්ධ වූ පසු ද ඒ රූපාරම්මණය මනෝද්වාරයට එළඹ සිටීමෙන් සමහරවිට, සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීථි ඇති වේ. එසේ ම සෝත ඝාන ජිව්හා කායද්වාර වීථිවලින් පසු ශබ්දාදි අරමුණු මනෝද්වාරයට යොමු වී සිටීමෙන් සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීථි ඇති වේ.
පඤ්චද්වාරයන් වරක් අරමුණක් ගත් කල්හි සමාන භාවයෙන් ඒ අරමුණ හා සම්බන්ධ බොහෝ අරමුණු ද මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.
අසලවල් තැන මෙබඳු දෙයක් තිබෙනවා ය, අසවලා මෙබඳු දෙයක් කළා ය, අසවල් රටේ අසවල් තැන මෙබඳු දෙයක් සිදු වුණාය යනාදීන් අනුන් කියන දේ ඇසීමෙන් අපමණ මනෝද්වාර වීථි ඇති වේ. පොත පත කියැවීම නිසා ද එසේ ම අපමණ මනෝද්වාර වීථි ඇති වේ.
අනුන්ගෙන් ඇසීමෙන් හෝ පොත පත කියැවීමෙන් හෝ දත් කරුණු හා සම්බන්ධකම ඇති නිසා තවත් බොහෝ කරුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.
අනුන් විසින් ප්‍රශ්න ඇසීම නිසා ඒ ප්‍රශ්න හා සම්බ්නධ බොහෝ කරුණු මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇතිවේ.
“කල්පනා කිරීමය” යනු නො දත් කරුණු වෙත තමාගේ සිත යොමු කිරීම ය. කල්පනා කිරීම නිසා ද බොහෝ අරමුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීථි ඇති වේ.
ධාතු කෝපාදිය නිසා ද නොයෙක් විට බොහෝ මනෝද්වාර වීථි ඇති වන බව තේරුම් ගත යුතු ය. භූතයන් විසින් ද සමහර විට මිනිසුන්ගේ සිත්වලට නොයෙක් අරමුණු දෙනු ලැබේ. ඒ නිසා ද බොහෝ මනෝද්වාර වීථි ඇති වන බව දත යුතු ය.
අනුබන්ධක මනෝද්වාර වීථි.
රූපයක් චක්ෂුඃ ප්‍රසාදයේ ගැටී චක්ෂුර්ද්වාර වීථියක් ඇති වූ පමණින්ම ඒ පුද්ගලයාට “මම අසවල් දෙය දිටිමිය” යන දැනීම ඇති නො වේ. අසවල් දෙය දුටුවෙමි ය යන හැඟීම පුද්ගලයාට ඇති වීමට චක්ෂුර්ද්වාර වීථියෙන් පසු මනෝද්වාර වීථි ගණනක් ද ඇති විය යුතු ය. චක්ෂුර්ද්වාර වීථියට දැනෙන්නේ චක්ෂුඃ ප්‍රසාදයේ ගැටුණු පැහැය පමණෙකි. සෝත, ඝාන, ජිව්හා, කායද්වාර වීථි ඇති වූ පමණින් ද අසවල් දෙය ඇසුණා ය, අසවල් ගන්ධය - අසවල් රසය - දැනුණා ය, අසවල් දෙය සැපුණාය කියා පුද්ගලයාට දැනෙන්නේ නොවේ. ඒවා ගැන දැනුම ඇති වීමට මනෝද්වාර වීථි ගණනක් ඇති විය යුතු ය. පඤ්චද්වාර වීථින්ට අනතුරු ව ඒ වීථිවලින් ගත් අරමුණු සම්බන්ධයෙන් ඇති වන මනෝද්වාර වීථීන්ට අනුබන්ධක මනෝද්වාර වීථිය යි කියනු ලැබේ. අනුබන්ධක මනෝද්වාර වීථි වශයෙන් ඇති වන්නේ ද ඉහත කී චිත්තක්ෂණ සතළොසක් නැති විභූතාරම්මණ අවිභූතාරම්මණ වීථිහුම ය. පඤ්චද්වාර වීථීන්ට අනතුරුව අනුබන්ධක මනෝද්වාර වීථි ඇති වන ක්‍රමය පොත් කීපයක කීප ආකාරයකින් කියා තිබේ.
රූපයක් චක්ෂුඃ ප්‍රසාදයේ ගැටුණු කල්හි පළමුවෙන් චක්ෂුර්ද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු චක්ෂුර්ද්වාර වීථියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීථියක් ඇති වේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනයේ අර්ථය ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. “මම අසවල් දෙය දුටිමි ය” යන දැනීම පුද්ගලයාට ඇති වන්නේ තුන්වන මනෝද්වාර වීථිය ඇති වීමෙන් පසු ව ය.
ශබ්දයක් ශ්‍රෝත්‍රද්වාරයට පැමිණි කල්හි පළමුවෙන් සෝතවිඤ්ඤාණ වීථියක් උපදී. එය නිරුද්ධ වූ පසු අතීත වූ ශබ්දය නැවත ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු එහි නාමයය මතු කර ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. ඝාන, ජිව්හා, කාය ද්වාර වීථි අනුව ද මෙසේ ම මනෝද්වාර වීථි තුන බැගින් ඇති වේ. මෙය එක්තරා ආචාර්‍ය්‍ය මතයෙකි."