390. සක්කාය සහ සක්කාය දිට්ඨිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සක්කාය සහ සක්කාය දිට්ටිය පිළිබඳ මූලාශ්‍ර ඇසුරෙන් තෝරා ගැනීමට උපකාර කරන්න.

A / R. “ආර්‍ය්‍යාවෙනි, සක්කාය සක්කාය යයි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කවරක් වනාහි සක්කායයයි වදාරණ ලදද?” “ඇවැත්නි, විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානස්කන්ධ පස සක්කායයයි වදාරණ ලදී. කවරහුද? රූප උපාදාන ස්කන්ධය, වෙදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, යන පසයි. ඇවැත්නි, විසාඛයෙනි, මේ පඤ්චවිධ උපාදානස්කන්ධයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කායයි වදාරණ ලදහ.”

A / R. “දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. වරදවා දැඩි කොට අල්වාගැනීම සත්‍යයට විරුද්ධව ගැනීම දිට්ඨි නමි. සක්කාය දිට්ඨියෙන් කිනම් විසි ආකාරයකින් දැඩිකොට ගැනීම වෙයිද?
කෙසේ රූපය ආත්මය වශයෙන් දකියිද? …. යම්සේ දල්වන ලද තෙල් පහනේ යමක් සිළුවද එය වර්ණය වෙයි. යමක් වර්ණයද එය සිළුව වේයයි සිළුවද වර්ණයද එක්කොට දකියිද එසේම මේ ලොකයෙහි ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.

කෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දක්නේද? යම්සේ ඡායාවෙන් යුත් රුකක් වෙයිද, ඊට එක් පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය මේ ඡායාවය රුක අනිකකි, ඡායාව අනිකකි. ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුකක් දක්නේද. එසේම ලොව ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.

කෙසේ නම් ආත්මය කෙරෙහි රූපය ඇත්තේයයි දක්නේද? යම්සේ සුවඳ ඇති මලක් වන්නේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය මේ සුවඳය මල අනිකකි, සුවඳ අනිකකි. ඒ සුවඳ මේ මලෙහි වන්නේයයි මලෙහි සුවඳ ඇතැයි දකියිද එමෙන් ලොකයෙහි ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.

කෙසේ රූපය කෙරෙහි ආත්මය ඇත්තේයයි දක්නේද? යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය. මැණික අනිකකි. කරඬුව අනිකකි. ඒ මේ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දක්නේද, එමෙන් මේ ලොකයෙහි ඇතැමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.”

https://pitaka.lk/main?n=54102 > https://pitaka.lk/main?n=541062 >

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll