682. සෙත් පතන (මෙත් වඩන) ආකාරය එක ම ද? වෙනස් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මගේ මවට සැත්කමක් සිදු කිරීමට සිදුව ඇත. එය අසීරු එකක් බවයි වෛද්‍යවරුන් පවසන්නෙ. මගේ මවට ධර්මයෙන් පිහිට ලබා ගත හැක්කේ කෙසේද? මා මවට සෙත් පැතිය යුත්තේ කෙසේද?

A. “මෙත් කිරීමෙන් රෝගීන්ට බොහෝ ගුණ ලබා දිය හැකි ය. ගුණ ලැබෙන්නට ක්‍ර‍මානුකූල ව මෙත් වැඩීම කළ යුතු ය. ඉහත දැක්වූ පරිදි මෙත් කිරීමෙන් රෝගීන්ට ගුණයක් නො ලැබේ. රෝග සුව කිරීම සඳහා මෙත් කළ යුත්තේ අන් පරිද්දෙකිනි. යම් කිසි රෝගියකු ගැන “මොහුගේ රෝගය සුව වේවා, මොහු සුවපත් වේවා” කියා මෙත් වඩා ගුණයක් ලබාදීම අපහසු ය. රෝග සුව කිරීම සඳහා මෙත් වැඩීමේ දී රෝගියාගේ ශරීරයට සිදු කළ යුත්ත කුමක් ද? කියා දැන, ඒ දෙය සිදු වන පරිදි මෙත් කළ යුතු ය. එසේ කිරීමේ දී රෝගියා දෙසට මුහුණ ලා හිඳ තමාගේ සිත රෝගියාගේ ශරීරයේ ඇතුළ පිට දෙක්හි ම පතුරුවා පිහිටුවා ගෙන රෝගය, ශරීරය උණුසුම් කිරීමෙන් සුව කළ යුත්තක් නම්, “මොහුගේ ශරීරය උණුසුම් වේවා! උණුසුම් වේවා!” යි මෙත් කරනු. රෝගය ශරීරය සිසිල් කිරීමෙන් සුව කළ යුත්තේ නම් “සිසිල් වේවා, නිවේවා” කියා මෙත් කරනු. රෝගියා ගේ ශරීරයේ ධාතු හීන වී දුබල වී ඇති නම් “මොහුගේ සිරුරෙහි සප්ත ධාතූහු වැඩෙත්වා” යි මෙත් කරනු. ලේ ආදි යම්කිසි එක් ධාතුවක් හීන වී ඇති නම් “මොහුගේ ශරීරයේ ලේ වැඩේවා” යනාදීන් පිරිහුණු දෙය වැඩෙන ලෙස මෙත් කරනු. රුධිර වේගය උත්සන්න වී ඇත්තේ නම් “ලෙය සන්සිඳේවා” යි මෙත් කරනු. ලේ කැටි ගැසී ඇති නම් “ලේ දිය වේවා” යි මෙත් කරනු. නහර අප්‍රාණික වී ඇති නම් “නහර ප්‍රාණවත් වේවා” යි මෙත් කරනු. වාතාදි දෝෂයක් උත්සන්න වී ඇති නම් “එය සන්සිඳේවා” යි මෙත් කරනු. තුවාලයක් ඇති නම් “එය වියළේවා” යි මෙත් කරනු. මෙහි නො කී කරුණු ද නුවණින් සලකා සුදුසු පරිදි මෙත් කිරීමට දැන ගත යුතු ය.
මෙත් කිරීමේ දී නැතව නැවත වචන වෙනස් නො කරනු. මෙත් කරන අතර අන් කරුණුවලට සිත යොමු නො කොට භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධ වන ලෙස මෙත් කරනු. මඳ වේලාවක් මෙත් කිරීමෙන් ගුණ නො ලැබේ. බොහෝ වේලාවක් මෙත් කරනු. එක් රෝගියකු ගැන අඩු ගණනින් වරකට විනාඩි පසළොසක් වත් මෙත් කරනු. මෛත්‍රී චිත්ත බලයෙන් රෝග සුව කළ හැකි බව ගැන විශ්වාසය ද තබා ගෙන අවංකව ම රෝගියා සුවපත් කරනු කැමැත්තෙන් මෙත් කරනු. නියම පරිදි මෙත් වැඩීම කළ හොත් එහි ප්‍ර‍තිඵල තම තමන්ට අත් දැකිය හැකි වනු ඇත.”

https://pitaka.lk/books/shasanavatharanaya/69-1.html

{"තමාට මෙත් කිරීම :

“මම වෛර නැත්තේ වෙම්වා. නපුරු සිත් නැත්තේ වෙම්වා සතුරු මිතුරු මැදහත් සැම දෙනාගේ ම යහපත කැමති සත්පුරුෂයෙක් වෙම්වා නිදුක් වෙම්වා සුවපත් වෙම්වා.”

මෙසේ තමාට පළමුවෙන් මෙත් කරනු. නපුරු සිතය යනු අනුන් ගේ ශරීරයට හෝ ජීවිතයට හෝ ගෞරවයට හෝ කීර්තියට හෝ ධනයට හෝ හානියක් වේවාය කියා හෝ හානියක් කරන්නට ඕනෑ ය කියා හෝ ඇති වන සිත ය. ‘නිදුක් වීම ය’ යනු වෛරය නිසා නපුරු සිත නිසා වන දුක් නොවීම ය. ‘සුවපත්වීම’ යනු ඒ දුක්වලින් මිදීමේ සුවය ලැබීම ය. සැම තැනදී ම ඒ වචනවල අර්ථය එසේ සලකනු.

ආරාමස්ථයන්ට මෙත් කිරීම :

“මේ අරමෙහි වෙසෙන සියල්ලෝ ම වෛර නැත්තෝ වෙත්වා. නපුරු සිත් නැත්තෝ වෙත්වා. එකෙක් අනිකකු පහත් කොට නො සිතාවා. එකෙක් අනිකකුට නපුරක් නො කෙරේවා. සැම දෙන ම ඔවුනොවුන්ගේ යහපත කැමතියෝ වෙත්වා නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.”

මෙසේ මෙත් වැඩීමේ දී ආරාමයේ පරිච්ඡේදය සලකා ගෙන එය තුළ වෙසෙන ගිහියෝ ය, පැවිද්දෝ ය, කුඩා මහත් සියලු තිරිසනුන් ය, වෘක්ෂාදියෙහි භූතයෝ ය යන සැම දෙන ම සලකා ගෙන මෙත් කරනු. ගොදුරු ගම් ආදියට මෙත් වැඩීමේ දී ද එසේ සලකා මෙත් වඩනු.

ගොදුරුගම් ආදියට මෙත් වැඩීම :

“අපගේ ගොදුරු ගමෙහි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! නපුරු සිත් නැත්තෝ වෙත්වා! යනාදීන් ඉහත කී පරිදි ගොදුරු ගමට මෙත් වඩනු. මේ දිවයිනෙහි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! යනාදීන් දිවයිනට මෙත් වඩනු. මේ සක්වළ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යනාදීන් සක්වළට මෙත් වඩනු. අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! යනාදීන් අන් සක්වළවල සත්ත්වයනට මෙත් වඩනු. අවසානයේදී “සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා” යනාදීන් සකල සත්ත්වයන්ට මෙත් වඩනු.

දිශා වශයෙන් මෙත් වැඩීම :

නැගෙනහිර වෙසෙන සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! යනාදීන් නැගෙනහිරට ද, ඉක්බිති දකුණු දිග සියලු සත්ත්වයෝ කියා දකුණට ද, බස්නාහිර වෙසෙන සියලු සත්ත්වයෝ - උතුරු දිග සියලු සත්ත්වයෝ - උඩ වෙසෙන සියලු සත්ත්වයෝ - යට වෙසෙන සියලු සත්ත්වයෝ යි වාක්‍යය යොදා ගෙන ඒ ඒ දිශාවලට ද මෙත් වැඩීම කළ යුතු ය. මඳ වේලාවක් වරක් දෙකක් භාවනා කිරීමේ දී පිළිවෙළින් සදිසාවට මෙත් වඩනු. වැඩි වේලාවක් භාවනාවෙහි යෙදෙනවා නම් එක් දිශාවකට ම වාර බොහෝ ගණනක් මෙත් වැඩීම යහපති. එසේ කිරීමේ දී මෙත් වඩන දිශාවට මුහුණ ලා හිඳ ඒ දිශාවට සිත යොමු කොට සිත ඒ දිශාවෙහි පතුරුවා තබා ගෙන ඒ දිශාවේ සත්ත්වයනට යහපතක් කිරීමේ අදහස පෙරදැරි කරගෙන භාවනා කරනු. යම්කිසි දිශාවකට දින ගණනක් මෙත් වැඩුවහොත් එහි ඵල දක්නට ලැබෙනු ඇත.

පෞද්ගලික වශයෙන් මෙත් වැඩීම :

එක් පුද්ගලයකුට මෙත් වැඩීමේ දී ඔහුගේ නම මුලට යොදා “වෛර නැත්තේ වේවා! නපුරු සිත් නැත්තේ වේවා! අනුන් පහත් කොට නො සිතාවා! අනුන්ට නපුරු කම් නොකෙරේවා! අනුන්ගේ යහපත කැමතියෙක් වේවා! නිදුක් වේවා! සුවපත් වේවා!” යි භාවනා කරනු.

සතුරුකම් කරන පුද්ගලයකුට මෙත් කළ හොත් ඔහු ගේ සතුරු කම් කිරීම නවතිනු ඇත. සම්පූර්ණයෙන් නො නැවතුන ද අඩු වනු ඇත. බොහෝ කොට මෙත් කිරීමෙන් සමහර විට සතුරා මිතුරකු ද විය හැකි ය. යම් කිසි කරුණකට අනිකකුගේ සහාය වුවමනා වූ විට ඔහුට මෙත් කරනු. ඔහුගේ සහාය පහසුවෙන් ලැබිය හැකි වනු ඇත. පෞද්ගලික ව මෙත් වැඩීමේ ප්‍ර‍තිඵලය මෛත්‍රී චිත්තය බලවත් කල්හි ඉක්මනින් ලැබෙනු ඇත. මෛත්‍රී චිත්තය දුබල නම් ඵල ලැබීමට කල් ගත වේ. යම් කිසි කරුණක් සඳහා කෙනකුට පෞද්ගලික ව මෙත් කිරීමේ දී ඒ පුද්ගලයා වෙසෙන තැන දැන ඔහු වෙසෙන දිශාවට මුහුණ ලා හිඳ ඔහුගේ මුහුණ අරමුණු කොට ගෙන මෙත් වඩනු."

https://pitaka.lk/books/shasanavatharanaya/69.html}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll