890. නිදාගැනීම අවශ්‍ය ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "නින්ද" පිලිබඳව ඇති ධර්මානුකූල විග්‍රහය කුමක්ද?

A. “... මේ (ථීනය හා මිද්ධය) ධර්ම දෙක නාම කයට වැළඳෙන රෝගයන් වැනි ය. මෙය ඇති වූ කල නාම කය හැකිළේ. බර වේ. අකර්මණ්‍ය වේ. බොහෝ සෙයින් ඇති වන කල්හි පුද්ගලයාට නිදිමත ඇති වේ. මේ සත්ත්ව ශරීරයෙන් ගමනාදි ඉරියව් සිදු කරන්නේ සිතේ බලයෙනි. ථීනමිද්ධ නැමති රෝගය වැළඳීමෙන් දුබල වූ සිත ගමනාදි ඉරියව් පැවැත්වීමට ද අසමත් වේ. ථීනමිද්ධ සහගත සිත පවත්නා කල්හි ශරීරය ඉරියව්වට අනුරූප වන සේ පිම්බී නොසිට හැකිළී ඒ ඒ අතට බර වේ. නිදා වැටේ. මෙය බොහෝ සෙයින් ශෛක්ෂයන්ට හා පෘථග්ජනයන්ට නිද්‍රාවට පූර්වාපර භාග දෙක්හි ඇති වේ. මෙය අර්හත් මාර්ගයෙන් ප්‍ර‍හාණය කරනු ලැබේ.

එබැවින් රහතුන්ට මෙය ඇති නො වේ. රහත්හු කය වෙහෙසට පත් කල්හි එයට විවේක දෙනු පිණිස සිහි නුවණින් යුක්ත ව නිද්‍රාවට යෙති. එකල්හි උන් වහන්සේලාගේ චිත්ත සන්තතිය භවාංගයට පැමිණේ. නින්ද සෑම සත්ත්වයකුට ම වුවමනා දෙයකි. නින්දෙන් තොර ව ශරීරය පැවැත්වීමට දුෂ්කරය. කය වෙහෙසෙට පත් කල්හි සිහි නුවණින් නින්දට යන ශෛක්ෂ පෘථග්ජනයන්ට ඒ ඒ අවස්ථාවල දී ථීනමිද්ධය ඇති වෙතැ යි නො කිය හැකි ය. යම් කිසි වැඩෙක නො යෙදී හිස් ව කල් යවන්නා වූ පුද්ගලයාට එක් ඉරියව්වකින් සිටීමේ දී ඇති වන නිදිමත හා පිබිදි කල්හි ඇති වන අලස භාවයත් නිද්‍රාවට පූර්වාපර භාග දෙක්හි ඇති වන ථීනමිද්ධය යයි කිය යුතු ය.

පමණට වඩා ආහාර වැළඳීමය, අපථ්‍යාහාර ගැනීමය, යැපෙන පමණට ආහාර නො ලැබීමය, අපථ්‍ය සෘතු ගුණය යනාදිය නිසා ථීනමිද්ධය ඇති වේ. පොත පත කියවීම, බණ ඇසීම, භාවනා කිරීම යනාදි නිශ්චල ව සිට කළ යුතු දේවල් වඩා ඕනෑ කමක් නැතිව ඒවා ගැන ප්‍රීතියක් නැතිව කරන්නා හට සමහරවිට ථීනමිද්ධය ඇති වේ. පොත පත කියවීමේ දී බණ ඇසීමේ දී භාවනා කිරීමේ දී බොහෝ දෙනා නිදා වැටෙන්නේ ඒ නිසා ය.”


A. “ථීන මිද්ධ හේතු දුරු කිරීම ය, වීර්‍ය්‍යයේ අනුසස් කල්පනා කිරීම ය, ශරීරය ආරක්ෂා කර ගැනීම ය, කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම ය, වීර්‍ය්‍යය වැඩීමට හේතු වන කථා ඇසීම ය, එළිමහනේ වාසය කිරීම ය, ආලෝකයන් මෙනෙහි කිරීම ය, වරින් වර ඉරියව් වෙනස් කිරීම ය, වීරයන්ගේ චරිත මෙනෙහි කිරීම ය යන ආදිය ථීන මිද්ධය දුරු වීමට හේතු වේ.”


A. “නින්ද, මැලිබව, බඩගිනි හෝ සීත ආදිය නිසා ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ උපක්ලේශ (සිත කිලිටිකරණ කාරණයන්) නිසා මෙහි සත්ත්‍වයන්ට ආර්‍ය්‍ය මාර්‍ගය නොපැනේ.”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “නින්ද, මැලිබව, ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ දේ වීර්‍ය්‍යයෙන් පලවා හැරීමෙන් ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදුවේ.”


A. “මහණෙනි, නින්‍ද සේවනය කිරීමෙහි තෘප්තියක් නැත (තෘප්තියට පැමිණීමක් නැත). මහණෙනි, සුරාපානය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මෛථුන ධර්‍මය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මේ කරුණු තුන සේවනය කිරීමෙහි තෘප්තියක් නැත.”

"සොප්පස්ස, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. සුරාමෙරයපානස්ස, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. මෙථුනධම්මසමාපත්තියා, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. ඉමෙසං, භික්ඛවෙ, තිණ්ණං පටිසෙවනාය නත්ථි තිත්තී’’

A. "තත්‍ථ කතමො ඡ පරිහානියා ධම‍්මා: කම‍්මාරාමතා භස‍්සාරාමතා නිද‍්දාරාමතා සඞ‍්ගණිකාරාමතා සංසග‍්ගාරාමතා පපඤ‍්චාරාමතා, ඉමෙ ඡ පරිහානියා ධම‍්මා.

එහි පරිහාණියධර්මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, සංසර්ගයෙහි ඇලුණු බව ය, ප්‍රපඤ්චයෙහි ඇලුණු බව යි. මොහු පරිහාණියධර්මයෝ සදෙන වෙත්."


A. බුදු දහම දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දෙන ප්‍රයෝගික දහමක්. නින්දේ ඇලී සිටීම පරිහානියට හේතුවක් යන බව නම් බොහෝ අවස්ථා වල පෙන්වා දී තිබෙනවා.
නින්ද ගැන පැන විමසූ සච්චකට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුර බලන්න.

‘‘අභිජානාමි ඛො පනාහං, අග්ගිවෙස්සන, අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙතා. අපිස්සු මං එකමෙකො එවං මඤ්ඤති - ‘මමෙවාරබ්භ සමණො ගොතමො ධම්මං දෙසෙතී’ති. ‘න ඛො පනෙතං, අග්ගිවෙස්සන, එවං දට්ඨබ්බං; යාවදෙව විඤ්ඤාපනත්ථාය තථාගතො පරෙසං ධම්මං දෙසෙති. සො ඛො අහං, අග්ගිවෙස්සන, තස්සායෙව කථාය පරියොසානෙ, තස්මිංයෙව පුරිමස්මිං සමාධිනිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි සන්නිසාදෙමි එකොදිං කරොමි සමාදහාමි, යෙන සුදං නිච්චකප්පං විහරාමී’’’ති.
‘‘ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාති ඛො පන භවං ගොතමො දිවා සුපිතා’’ති? ‘‘අභිජානාමහං, අග්ගිවෙස්සන, ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා’’ති. ‘‘එතං ඛො, භො ගොතම, එකෙ සමණබ්‍රාහ්මණා සම්මොහවිහාරස්මිං වදන්තී’’ති ? ‘‘න ඛො, අග්ගිවෙස්සන, එත්තාවතා සම්මූළ්හො වා හොති අසම්මූළ්හො වා. අපි ච, අග්ගිවෙස්සන, යථා සම්මූළ්හො ච හොති අසම්මූළ්හො ච, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -

“අග්ගිවෙස්සනය, මම වනාහි නොයෙක් සියගණන් පිරිසෙහි ධර්මය දේශනා කළ බව දනිමි. (එහිදී) ‘මටම ශ්‍රමණ ගෞතමතෙම ධර්මය දේශනා කරන්නේය’යි එක් එක් පුද්ගලයා සිතයි. අග්ගිවෙස්සනය, මේ කාරණය මෙසේ නොදත යුතුයි. තථාගතතෙම අන්‍යයන්ට ධර්මය අවබෝධ කිරීම පිණිසම ධර්මය දේශනා කරති. අග්ගිවෙස්සනය, ඒ මම ඒ දේශනාව අවසානයෙහිත් මුලදිත් යම් කිසි සමාධියකින් නිතර වාසය කරන්නෙම් නම් ඒ සමාධියෙහිම සිත පිහිටුවමි, හිඳුවමි, එකඟ කරමි, සමාධිගත කරමි.”
“යම් ඵලසමාපත්තියකින් නිතරම වාසයකරමි’යි (වදාරන සේක්ද) අර්හත්වූ සම්‍යක්සම්බුද්ධ කෙනෙකුට යම්සේ නම් එසේම භවත් ගෞතමයින්ගේ මේ සමාපත්තියට සමවැදීම ඇදහිය යුතුය භවත් ගෞතමතෙම දවල් නිදාගත් බවක් දන්න සේක්ද?” “අග්ගිවෙස්සනය, ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ සඟල සිවුර සතර පටක් කොට එලා සිහි ඇතිව මනා නුවණ ඇතිව දකුණු ඇලයෙන් නිදාගත් බව මම දනිමි.” “භවත් ගෞතමයෙනි, ඇතැම් මහණ බමුණෝ මේ දහවල් නිදීම වනාහි සම්මොහ විහරණයයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්.” “අග්ගිවෙස්සනය, මෙපමණකින් මුළාවූවෙක් හෝ නුමුළාවූවෙක් හෝ නොවෙයි. අග්ගිවෙස්සනය, යම්සේ මුළාවූවෙක් වේද, මුළානොවූවෙක් හෝ වේද, එය අසව, මනාකොට සිතෙහි තබාගනුව, කියන්නෙමි.’ “එසේය, පින්වතුන්වහන්ස” කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ." ...


A. {[“මණ්ඩුක සෙය්‍යාව” ලෙස යටිකුරුව (අශෝභන) නිදා ගැනීමේ ඉරියව්වක් (සෙය්‍යාවක්) ඇතැයි කියතත්, එය සඳහන් මූලාශ්‍රය මෙතෙක් හමු වූයේ නැත.]}

“මහණෙනි, මේ සෙය්‍යා සතරක් වෙත්. කවර සතරක්ද යත්, ප්‍රෙත සෙය්‍යාව, කාමභෝගී සෙය්‍යාව, සිංහ සෙය්‍යාව, තථාගත සෙය්‍යාව යන සතරයි.

“මහණෙනි, ප්‍රෙත සෙය්‍යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් ප්‍රෙතයෝ උඩුකුරුව සයනය කරත්. මේ ප්‍රෙත සෙය්‍යාවයි.

“මහණෙනි, කාමභෝගී සෙය්‍යාව කවරේද, මහණෙනි, බොහෝ සෙයින් කාමභෝගීහු වාම පාර්ශ්වයෙන් සයනය කරත්. මේ කාමභෝගී සෙය්‍යායවයයි කියනු ලැබේ.”

“මහණෙනි, සිංහ සෙය්‍යාව කවරේද? මහණෙනි, මෘඝරාජවූ සිංහ තෙම පයෙහි පය මඳක් ඇද, දෙකෙළවර අතුරෙහි නගුට ප්‍රවේශ කරවා දකුණු පසින් සයනය කරයි. හෙතෙම පිබිදී උඩකය ඉදිරියට නමා පසුකය බලයි. ඉදින් මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම නොසතුටුවූයේ වේ. මහණෙනි, ඉදින් සිංහවූ මෘගරාජ තෙම ශරීරයේ අවුල්වූ හෝ විසුරුණාවූ හෝ කිසිවක් දකීද, මහණෙනි, ඒ කාරණයෙන් මෘගරාජවූ සිංහයා නොසතුටු වූයේ වේ. මහණෙනි, මේ සිංහ සෙය්‍යාවයයි කියනු ලැබේ.

“මහණෙනි, තථාගත සෙය්‍යාව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි තථාගත තෙම කාමයන්ගෙන් වෙන්ව …. භාග්‍යවතුන් වහන්සේ, “බමුණ, මේ ශාසනයෙහි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ තථාගත සෙය්‍යාවයි. මහණෙනි, මේ සතර සෙය්‍යාවෝය.”


 A.
A. {“විවේක යනු විවේක තුනකි. කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යනුයි. කාය විවේකය කවරේද? (ii) මේ ශාසනයෙහි මහණ අරණ්‍යය රුක්මුල, පර්වතය, කඳුබෑවුම් පර්වත ගුහාව, ඈත වනයෙහි සයනය, ඉඩපහසු ඇති තැන, පිදුරුගොඩ, සොහොන යන විවේක සේනාසන භජනය කෙරේද, හෙතෙම කයින් විවේකව හැසිරෙයි. වචනයෙන් විවේකව හැසිරෙයි. හෙතෙම තනිව යයි. තනිව සිටියි. තනිව වාඩිවෙයි. තනිව නිදයි. තනිව ගමට පිඩු පිණිස හැසිරෙයී. තනිව ආපසු එයි. මේ කාය විවේකයයි.

(iii) චිත්තවිවේකය කවරේද? (iv) ප්‍රථමධ්‍යානයට සමවැදුනහුට නීවරණයන්ගෙන් සිත විවේක වෙයි. ද්විතීය ධ්‍යානයට සමවැදුනහුට විතර්ක විචාරයන්ගෙන් සිත විවේක වූයේ වෙයි. තෘතිය ධ්‍යානයට සමවැදුනහුට ප්‍රීතියෙන් සිත විවේකවූයේ වෙයි. චතුර්ථධ්‍යානයට සමවැදුනහුට සැප හා දුක්වලින් සිත විවේකවූයේ වෙයි. ආකාශානඤ්චායතනයට සමවැදුනහුට රූපසංඥාවෙන් පටිඝසංඥාවෙන් නානත්ත සංඥාවෙන් සිත විවේකවූයේ වෙයි විඤ්ඤානඤ්චායතනයට සමවැදුනහුට ආකාශානඤ්චායතනයෙන් සිත වෙන්වූයේ වෙයි. ආකිඤ්ඤායතනයට සමවැදුනහුට විඤ්ඤානඤ්චායතනයෙන් සිත වෙන්වූයේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනහුට ආකිඤ්චඤ්ඤායතනයෙන් සිත මිදුනේ වෙයි. සෝවාන්වූවහුට සත්කායදෘෂ්ටියෙන් විචිකිච්ඡාවෙන් (සැකයෙන්) ‘සීලබ්බත පරාමාසයෙන් දෘෂ්ටානුසයෙන් විචිකිච්ඡානුසයෙන් තවත් එයට එකතුවූ ක්ලේශයන්ගෙන්ද සිත විවේකවූයේ වෙයි. රහතන් වහන්සේට රූප රාගයෙන්ද අරූප රාගයෙන්ද මානයෙන්ද, උද්ධච්චයෙන්ද අවිද්‍යාවෙන්ද මානානුශයෙන්ද, භවරාගානුශයෙන්ද අවිද්‍යානුශයෙන්ද එයට එකතුවූ තවත් කෙලෙස්වලින්ද පිටත සියලු නිමිතිවලින්ද සිත විවේකවූයේවෙයි. මේ චිත්ත විවේකයයි.

උපධි විවේකය කවරේද? ක්ලේශයෝද ස්කන්ධයෝද අභිසංස්කාරයෝද උපධියයි කියත්. අමෘතවූ නිර්වාණයට උපධි විවේකයයි කියත්. යම් ඒ කෙනෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙලෙස් බැහැරකළේ තෘෂ්ණාව ක්ෂය කළේ නොඇළුනේ බැඳුම් සින්දේ යම් අවස්ථාවකද ඒ නිර්වාණයයි මේ උපධි විවේකයයි.”}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll