978. ආහාරයේ පටික්කූල සංඥාව යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආහාරයේ පටික්කුලතාව යන්න විස්තර කර ලබා දෙන්න. ඒ හා සම්බන්ධ සුත්‍ර දේශනා ඇත්නම් සදහන් කර දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවණ් සරණයි!



"ආහාරයෙහි ප්‍ර‍තිකූල සංඥාව (1)

මෙසේ අරූපකථාවට අනතුරුව එක ම සංඥාව යයි උදෙසන ලද ‘ආහාරයෙහි පිළිකුල් සංඥාව’ භාවනා කිරීමේ විස්තරය වාරය පිළිවෙළින් පැමිණි හෙයින් මෙතැන් සිට ඒ දැක්වේ.

විශේෂ:- (සංඥා ශබ්දය නානාර්‍ථයෙහි පවතී.)

(1) “රූපසඤ්ඤා සද්දසඤ්ඤා” යනාදියෙහි ඇඳිනීමට කාරණ වූ ලක්‍ෂණයෙහි ද,

(2) “අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා” යනාදියෙහි විදර්‍ශනායෙහි ද,

(3) “උද්ධුමාතකසඤ්ඤාති වා සොපාක, රූපසඤ්ඤාති වා, ඉමෙ ධම්මා එකට්ඨා උදාහු නානට්ඨා” යනාදියෙහි ශමථයෙහි ද ආයේ ය. මෙහි ද ශමථ පරිකර්‍මයෙහි දතයුතු. (ආහාරයෙහි පිළිකුල් ආකාරය ගැනීම හා ඉන් උපදවන උපචාරධ්‍යානය ද මෙහි අදහස් කරන ලදි.)

තවද ‍මේ භාවනා විධියෙහි ඒ පිළිකුල් කටයුතු ආහාරයෙහි ම කළකිරීම හා නො ඇලීම උපදවනු පිණිස මේ අවසරයෙන් සියලු ආහාරය:

(1) කෘත්‍යය

(2) ප්‍රභේදය

(3) ආදීනවය

(4) උපමාය

යන මොවුන්ගේ වශයෙන් ප්‍ර‍කාශ කරනු ලැබේ.

(1) “ආහරතීති ආහාරො” = ඵලයක් එළවානුයි ආහාර නම්. ආහාරය තමා ප්‍ර‍ත්‍යය කොට (උපකාරයෙන්) ඉපදීමෙහි දී හෝ පැවතීමේ දී තමා අයත් ඵලය උපදවන්නා හෝ පවත්වන්නා යනු අදහසයි.

(2) (i) කබලිඞ්කාරාහාරය

(ii) ඵස්සාහාරය

(iii) මනෝ සඤ්චේතනාහාරය

(iv) විඤ්ඤාණාහාරයැ’යි ඒ සිවු වැදෑරුම් වේ.

(i) “කබල කොට ගිලිනා අර්‍ථයෙන් කබලිඞ්කාරාහාරය යි.” මේ වූ කලී වස්තුව (බත් ආදි ද්‍ර‍ව්‍යය) සහිත වැ කියන ලදී. ලක්‍ෂණ වශයෙන් නම් ඕජාව යැ. මේ කබලීකාරාහාර සංඛ්‍යාත වස්තුව පෙර කී සේ මේ ශරීරය පවත්වන හෙයින් කබලිඞ්කාරාහාරය යි කියනු ලැබේ (අනෙක් ආහාරයන්හි ද ආහාරාර්‍ථය මෙසේ ම දතයුතු)

(ii) අරමුණු වැදගන්නා හෙයින් ඵස්ස නම් වේ.

(අරූප ධර්‍ම වූ ඵස්සය අරමුණෙහි (ස්පර්‍ශ) වැදගන්නා ආකාරයෙන් පවත්නා හෙයින් ස්පර්‍ශනලක්‍ෂණයයි කියනු ලැබේ.

(iii) චේතනය කරනුයේ චේතනා යි. තමා සමග යෙදුනා වූ ඵස්සාදි ධර්‍මයන් අරමුණෙහි ගළපන්නේය යන අර්‍ථ යි. මනස නම් වූ සිත ඇසුරු කොට පවත්නා චෙතනාව මනොසඤ්චේතනා ය.

(iv) යුක්ති සැලකීම් වශයෙන් විශේෂයෙන් දැනගන්නා අර්‍ථයෙන් විඤ්ඤාණ යැ.

විශේෂාර්‍ථ :- මෙ සේ සාමාන්‍ය අර්‍ථයෙන් ද, විශේෂ අර්‍ථයෙන් ද, මෙහි ආහාර දතයුතු. ඵලයට උපකාර වූ අන්‍ය ධර්‍ම ඇත ද මේ සතර පමණක් ආහාරය යි කියන ලද්දේ උපකාර වශයෙන් ද, අතිරේක වශයෙන් ද, ප්‍ර‍ත්‍යය වන හෙයිනි.

ඒ මෙසේයි :- මොවුනතුරින් ප්‍ර‍ථමය වූ කබලිඞ්කාරාභාරය තමා පිහිටි රූප කලාපයෙහි ඇතුළත් වූ සෙසු රූපයන්ට ද සුදුසු සේ උපකාර වෙමින් ඔජටඨමක රූපය උපදවයි. දෙවැන්න වේදනාව පවත්වයි. තුන්වැන්න ත්‍රිවිධ භවයෙහි ප්‍ර‍තිසන්‍ධිය පවත්වයි. සිවුවැන්න ප්‍ර‍තිසන්‍ධික්‍ෂණයෙහි නාම - රූප පවත්වයි.

විස්තර :- (ටීකාගත) කර්‍මජාදි භේද භින්න වූ ඕජාව ප්‍ර‍ත්‍යය ලාභය ඇති කල්හි රූපකලාප සන්තති දෙක තුනක් ගළපමින් ඔජට්ඨමක රූපය උපදවයි.

සුඛ වේදනාදීන්ට ප්‍ර‍ත්‍යය වූ ඵස්ස ආහාරය සුදුසු පරිදි ත්‍රිවිධ වේදනාව උපදවයි.

පුණ්‍යාභිසංස්කාරාදි භේද භින්න වූ මනෝසඤේචතාභාරය කාමාදි තුන්භවයෙහි සවිඤ්ඤාණක වූ ද, අවිඤ්ඤාණක වූ ද, ප්‍ර‍තිසන්‍ධිය එළවයි.

විඤ්ඤාණාහාරය, ප්‍ර‍ත්‍යය වූ පරිදි ප්‍ර‍තිසන්‍ධික්‍ෂණයෙහි අරූතලයන්හි නාමය හා අසංඥාතලයෙහි රූපය හා සෙසු භවයෙහි නාමරූපයන් ද උපදවයි.

තවද උපකාරක (රුකුල්දෙන) අර්‍ථයෙන් ද මේ ධර්‍මයෝ ම ආහාර නම් වෙති. කබලිඞ්කාරාභාරය මේ රූපකායයට රුකුල් දෙයි.

එසේ ම අරූපි සෙසු ආහාර තුන තම තමා එක්ව යෙදුනු ධර්‍මයන්ට හා තත්සමුට්ඨාන රූපයන්ට රුකුල් දෙයි.

තවද ක්‍ර‍මයෙකි :- අධ්‍යාත්මික ධර්‍ම පරම්පරාවට විශේෂ උපකාර හෙයින් කබලිඞ්කාරාභාරය ද, ස්පර්‍ශාද වූ ධර්‍මයෝ තුන් දෙන ද, ආහාර නම් වෙති.

ඒ එසේ මැයි. කබලිඞ්කාරාහාරය අනුභව කරන සත්ත්‍වයන් ගේ රූපකායයට විශේෂ උපකාරය වේ. නාම කායයෙහි වූ වේදනාවට ස්පර්‍ශය ද ප්‍ර‍තිසන්‍ධි විඥානයට මනෝසඤේචතනාව ද, එක්ව යෙදුණු නාම-රූපයනට විඥානය ද, එසේ ම විශේෂ උපකාරය වේ.

(3) කබලිඞ්කාරාහාරයෙහි රසතෘෂ්ණා මූලයෙන් සෙවීම වන හෙයින් නිකන්ති (තෘෂ්ණාව ම) භය වෙයි. ස්පර්‍ශාහාරයෙහි අරමුණ හා එක්වීම මැ භය වෙයි. මනෝ සඤේචතාහාරයෙහි භවයෙන් භවය ගැළපීම භය වෙයි. විඤ්ඤාණාහාරයෙහි ප්‍ර‍තිසන්‍ධිය මැ භය වේ.

(4) කබලිඞ්කාරාහාරය පුත්‍ර‍මාසං උපමායෙන් දත යුතු. (දුර්භික්‍ෂ කාන්තාරයක් එතර කරන පුරුෂයෙක් මළ පුතා ගේ මාංසය තෘෂ්ණාවෙන් තොර ව හුදෙක් කාන්තාරය එතර කිරීම පිණිස ම අනුභව කරන්නා සේ කබලීකාරාහාරය රස තෘෂ්ණාවෙන් තොර ව දේහ යාත්‍රාව පිණිස ම අනුභව කරන කල රසතෘෂ්ණාව නො පවතී.

ස්පර්‍ශාහාරය හම ගැසූ ගව දෙනක් සේ දත යුතු. හම නැති දෙන ගිය ගිය තැන මැසි කවුඩු ආදි ප්‍රාණීන් කඩා ගන්නා සේ ස්පර්‍ශ!ය නිසා වේදනාව වේ. භෙද දුක් වශයෙන් හුල් ආදි වශයෙන් දතයුතු.

මනෝ සඤ්චේතනාහාරය අගුරු වළක් සේ දත යුතු. (එකොළොස් ගින්නෙන් ඇවිලගත් භවය කිහිරි අඟුරු වළක් සේ දක්නාහට උප්පත්ති භය නො වන්නේ ය)

විඤ්ඤාණාහාරය ආයුධ පහරක් බඳු වේ. විඤ්ඤාණය අනතර්‍ථ පමුණුවන හෙයින් සොරකුසේ ද, වේදනාව ශස්ත්‍රයෙන් පැහැරීම මෙන් ද දක්නහුට ප්‍ර‍තිසන්‍ධි භය නො වේ.

මෙකී චතුර්විධ ආහාරයන් අතුරින් (ආහාරයෙහි) පටික්කුල සඤ්ඤාව ඉපදවීමට සුදුසු ආහාරය වූ ඛාද්‍ය-භෝජ්‍ය ලෙය්‍ය පෙය්‍ය යන සතර වැදෑරුම් ආහාර විකෘති වූ කබලීකාරාහාරය මැ මේ භාවනාවාරයෙහි ආහාරය යි ගැනේ.

විශේෂ :- උපාදාරූප කී තන්හි ආහාරය යි රූප දැක්වූ හෙයින් එයින් වෙන්කොට ගැනීම පිණිස මේ චතුර්විධ ආහාර විකෘතීන් දැක්වූහ. එහෙයින් මැ ඕජා ආහාරය නො ගෙන ගිලින ආහාරයම මෙහිලා “ආහාරය යි” ගැනේ. ඒ ආහාරයෙහි පිළිකුල් ආකාරය ගැනීම් වශයෙන් උපන් සංඥාව ආහාරයෙහි පටික්කුල සංඥා නමු.

එය වඩනු කැමති යෝගාවචර තෙමේ පාළියෙහි ආ පරිද්දෙන් කර්‍මස්ථානය මනාව ඉගෙන මෙනෙහි කොට අර්‍ථය වටහා ගෙන එක් පදයකුදු නො වරදවා රහසිගත වැ සිහි ඇති වැ භෝජනාදි ප්‍රභේදගත ඒ සිවු වැදෑරුම් ආහාරයෙහි දස ආකාරයකින් පිළිකුල් බව ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කළ යුතු.

(1) ගමනාගමන් වශයෙන්

(2) ගෙයක් පාසා සෙවීම් වශයෙන්

(3) පරිභෝග වශයෙන්

(4) පිත්තාදීන්ට ආශ්‍ර‍ය වශයෙන්

(5) තැන්පත් වන ස්ථාන වශයෙන්

(6) නො පැසීම් වශයෙන්

(7) පැසීම් වශයෙන්

(8) ප්‍ර‍ධාන ඵල වශයෙන්

(9) අප්‍ර‍ධාන ඵල වශයෙන්

(10) ගැල්වීම් වශයෙන්

යන මේ දශ ආකාරයෙනි.

(1) මෙසේ මහානුභාව ශාසනයෙහි පැවිදි වූ භික්‍ෂුව මුළු රෑ බුද්ධ වචනය ඉගෙන සජ්ඣායනා කිරීමෙන් හෝ මහණදම් පිරීමෙන් ගතකොට, කල් ඇති වැ නැගිට සෑ මලු - බෝ මලු වත් සපයා, පියයුතු, පරිභෝග කළයුතු, පැන් පෙරා තබා ලගිනා ගෙය හැමද සිරුර පිළිදැගුම් කොට අසුනට නැග බොහෝ වේලා කමටහන් මෙනෙහි කොට ඉන් නැඟී පා සිවුරු ගෙන ජන සම්බාධ රහිත උපදි විවේක සැප යැ, සෙවණ හා ජල පහසුව යැ, පිවිතුරු සිහිල් මන වඩන බිම යැ, යන මෙයින් සිත්කලු තපෝ වනය හැරැ පියා ආර්‍ය්‍ය විවේක සුවය නො බලා, අමු සොහොන වෙත මළකුණු සඳහා යන සිවලකු සේ ආහාර පිණිස ගමට මුව අයා යා යුතු ය. මෙසේ යන්නහු ඇඳෙන් හෝ පුටුවෙන් හෝ නැගිටි තැන සිටි පා දූවිලිය ද, සුහුණු - සිකනැල් මල ආදියෙන් ගැවසුණු පා පිස්නද, ඇක්මිය යුතු ය. ඇතැම් දිනෙක මී බෙටි වවුල් බෙටි ආදියෙන් ගැවසි හෙයින් ඇතුළු ගබටත් වඩා පිළිකුල් වූ ඉදිරි පෙදෙස ද, බක මුහුණු - පරෙවි - ආදීන් ගේ වසුරෙන් අතිශය පිළිකුල් වූ යට මාලය ද, සුළඟින් හැලෙන පැරණි පත්‍ර‍ ද, ගිලන් භික්‍ෂූන් ගේ හා ළදරු හෙරණුන් ගේ මළමුත්‍ර‍ - සෙම් - සොටු ආදිය ඇති වැසිකල දිය - මඩ - කසළ ආදියෙන් වැඩියක් කිළිටු වූ හෙයින් අතිශයින් පිළිකුල් පිරිවෙන ද, එයටත් වඩා පිළිකුල් වෙහෙරට වදනා මාර්‍ගය ද, දැක්ක යුතු වෙයි. පිළිවෙළින් බෝධිය හා චෛත්‍යය ද වැඳ විතර්‍ක මාළකයෙහි සිට මුතු රැසක් බඳු චෛත්‍යය ද, මොණර පිල් කලබක් බඳු බෝධිය ද, බ්‍ර‍හ්ම විමානයක් බඳු සෙනසුන ද, පෙරළා බලා මෙබඳු සිත් කලු ප්‍රදේශයට පිටුපා ආහාරය නිසා යා යුතු නො වේ දැයි සලකා විහාරයෙන් නික්ම ගොදුරු ගමට යන මගට වන් භික්‍ෂුව කණුකටු ආදීන් ගැවසීගත් මග ද, වර්‍ෂා කාලය වුව ජල පහරින් බුන් විසම වූ මග ද, බලා අනතුරු වැ ගඩක් වසන්නා සේ අඳනා සිවුර ඇඳ, වණයක් වෙළා බඳනා සේ පටිය බැඳ, ඇටසැකිල්ලක් වසන්නා සේ සිවුර පෙරවැ, බෙහෙත් කබලක් මෑත් කරන්නා සේ පාත්‍ර‍ය ථවිකායෙන් මෑත් කොට, ගම් දොර සමීපයට වදනහු විසින් ඇත්-අස්-ගෙරි-සරක්-මළමිණි-නයි-බලු-කුණු දැක්ක යුතු වේ. හුදෙක් දැක්ක යුතුවා පමණක් නොව නැහැය කඩා යන්නා සේ ඒවායේ දුගඳ ද විඳිය යුතු යැ.

අනතුරුවැ ගම්දොරැ සිට දරුණු ඇත් - අස් උවදුරු බැහැර කරලීම සඳහා ග්‍රාම වීථි බැලිය යුතු වේ. මෙසේ පාපිස්නායෙහි පටන් කුණප අවසන් කොට ඇති නොයෙක් පිළිකුල් ද ආහාරය නිසා මැඩිය යුතු ද, දැකිය යුතු ද, ආඝ්‍රාණය කළ යුතු ද, වේ යයි මෙ සේ ‘ඒකාන්තයෙන් ආහාරය පිළිකුලැ’යි ගමන වශයෙන් පිළිකුල් බව සැලකිය යුතු.

(2) එසේ ගමනෙහි පිළිකුල ඉවසා ගමට පිවිස සඟල පොරවා කබලක් ගත් යාචකයෙකු සේ ගෙපිළිවෙළින් ගම් වීථියෙහි සැරිය යුතු. වැසි කල වුව පිය තුබු තුබු තැන කෙණ්ඩ තෙක් ගොහොරු මඩෙහි පා එරෙයි. එක් අතකින් සිවුර ඔසවා එක් අතකින් පාත්‍ර‍ය ද ගෙන, ග්‍රීෂ්ම කාලය වුව සැඩ සුළඟින් නැගි පස් - තණ - දුහුලියෙන් ගැවසී ගත් සිරුරින් ද යුතු වැ සැරිය යුතු. ඒ ඒ ගෙදොරට පැමිණ මාළු - මස් - වණ - පිළියල් - දෙවු තැන් ද, කෙළ-සොටු-බලු-හූරු-මළ ආදීන් මිශ්‍ර‍ පණු කැලන් ද, නිල මැස්සන් පිරි අසුචි වළ හා ගවර වළ දැක්ක යුතු ද, මැඩිය යුතු ද වේ. එ සේ වන්නා ඒ මැස්සෝ නැගී පා සිවුරු හිස ආදි තන්හි වසති. ගෙට පිවිසියානට ද කිසි කෙනෙක් දෙති. කිසි කෙනෙක් නො දෙත්. දෙන්නාහු ද, ඇතැම්හු ඊයේ පිසූ පිළුණු දැය ද කුණු වූ ආදිය ද දෙති. ඇතැම්හු නො දී “අරුනු” යැයි යෙති. ඇතැම්හු නො දක්නා සේ සිටිති. කිසි කෙනෙක් ඉවත බලති. කිසි කෙනෙක් ‘මුඩු මහණ යව’යි පරොස් බස් බෙණෙත්. මෙ සේ ‘දුගියකු සේ ගමෙහි පිඩු සිඟා නික්මුණු මනා යැ’ යි ගම් වැදීමෙහි සිට ඉන් බැහැරවීම තෙක් අහර නිසා මඩ ගොහොරු ආදිය දැකීම, මැඩීම, ඉවසීම ද, කටයුතු ය. පින්වත! ‘එකාන්තයෙන් ආහාරය පිළිකුලැ’ යි මෙ සේ අහර සෙවීම් පිළිකුල සැලකිය යුතු.

(3) එ සේ අහර සොයා ගත් මහණ ගමින් පිටත පහසු තැනෙක සුව සේ හිඳැ ඒ ආහාරයෙහි අත තබන්නට පෙර ගරු කටයුතු මහණක්හු හෝ සැලකිය යුතු මිනිසක්හු හෝ දැක ආරාධනා කිරීමට ද පිළිවන් වෙයි. පාත්‍රයෙහි වූ ආහාරයෙහි වළඳනු පිණිස අත එබූ කෙණෙහි ‘පිඩු ගනුව’යි කියා නම් මේ තෙමේ මට දෙන්නේ ඉඳුල් දෝ හෝ යි සැක හා ලැජ්ජා කටයුතු වේ. අහරෙහි අත බහා අණන්නහු ගේ ඇඟිලි දිගේ ඩහදිය ගලා වියළි තද බත ද මොළොක් කරයි. ඇනීමෙන් අහරෙහි පැවැති ශොභාව නැති වූවා වෙයි. නැවත පිඩු කොට මුවෙහි තුබූ කෙණෙහි යටි දත් වංගෙඩියකින් කළ යුතු කිස ද සිදුකෙරෙයි. මෙ සේ ඒ ආහාර බලු ඔරුවෙක ලූ බත් පිඩක් සේ මුඛයෙහි දී දත් නමැති කුල්ලෙන් පොළමින් දිව අග තුබූ පහන් කෙළින් ද, දත් මළයෙන් ද, හනා එකෙණෙහි එහි වූ වර්‍ණ ගන්‍ධාදි ශෝභාව මැඩී බලු කැඳ ඔරුවෙක ලූ බලු වමණයක් සේ අතිශය පිළිකුලට පැමිණේ. එ සේ වුව ද ඇසට නො පෙනෙන හෙයින් ගිළියි. මෙ සේ වැළඳීමේ පිළිකුල සැලකිය යුතු.

(4) මෙ සේ වැළඳු අහර ඇතුළත පිවිසි කල අධික වුව උකු මී තෙළින් මිශ්‍ර‍ කලාක් මෙන් ද, සෙම අධික වුව ඇත් බැබිල කොළ යුෂයෙන් හැනුවාක් මෙන් ද, සැරව අධික වුව කුණු වූ මොහොරුයෙන් මිශ්‍ර‍ කළාක් මෙන් ද, ලෙහෙ අධික වුව පඬුයෙන් හැනුවාක් මෙන් ද, අතිශය පිළිකුලට පැමිණේ. මෙ සේ ආසය වශයෙන් පිළිකුල මෙනෙහි කළයුතු.

විශේෂ:- බුදු-පසේ බුදු-සක් විත්තන්ට පිත් සෙම් සැරව ලේ ආසය අතුරින් එකෙක් ම වේ. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලයෙන් පිළිසිඳ ලද හෙයිනි. මඳ පින් ඇතියනට පෙර කී සේ මේ ආසය සතර මැ වේ. එහෙත් එකක් අධික වේ.

(5) එසේ යම් කිසිවකින් ආශ්‍ර‍ය ලැබ බඩ තුළට වදනා ඒ අහර රන්-රිදී මැණික් ආදි බඳුනෙක තැන්පත් නො වේ. හුදෙක් දසවස් වූවෙක් වළඳ නම් දස වසකින් නො දෙවූ වැසිකිළි වළක් බඳු, විස් වස් වූවෙක් වළඳා නම් විසි වසකින් නො දෙවූ වැසිකිළි වළක් බඳු, තිස් - සතලිස් - පනස් - සැට - සැත්තෑ - අසූ - අනූ - සියක් වස් වූවෙක් වළඳා නම් සියක් වසෙකින් නො දෙවූ වැසිකිළි වළක් බඳු ආමාශයෙහි පිහිටයි. මෙසේ තැන්පත් වන තැන වශයෙනුදු පිළිකුල වැඩිය යුතු.

(6) එසේ මේ ස්ථානගත ආහාරය නො පැසී සිටිනා තාක් එහි මැ ඝනාන්‍ධකාර වූ නා නා කුණප ගඳින් දුර්‍ගන්‍ධ වූ සුළඟ ඇති පෙදෙසෙහි ග්‍රීෂ්ම කාලයෙහි නො කල් වැසි වට කල සැඩොල් ගම් දොර, ගවර වළැ හුණු තණපත් - පැදුරු මාළු - නයිකුණු - බලුකුණු - මිනීකුණු - ආදිය ඉර අව්වෙන් තැවී පෙණ බුබුළුයෙන් ගැවසී සිටුනා සේ ඝනාන්‍ධකාර වූ නා නා කුණු ගඳින් දුර්‍ගන්‍ධ වූ ප්‍රදේශයෙහි (පක්‍වාසයෙහි) අද ද ඊයේ ද පෙරේදා ද අනුභව කළ සියල්ල එක් වැ සෙම් පටලයෙන් වෙලී කයෙහි ජඨරාග්නියෙන් තැවීමෙන් නැගුණු පෙණ බුබුලින් ගැවසී ඉතා පිළිකුල් බවට පැමිණ සිටීයැ යි මෙසේ නො පැසීම් වශයෙන් පිළිකුල් වැඩිය යුතු.

(7) එසේ එහි කායාග්නියෙන් පැසුණු ඒ ආහාරය රන්-රිදී ධාතු ආදීන් සේ රන්-රිදී බවට නො පැමිණේ. හුදෙක් පෙණ බුබුළු නගමින් ඇඹරුම් ගලෙක අඹරා. නළයෙක පිරූ පඬුවන් මැටි සේ මළ බවට පැමිණ පක්වාසය ද, මුත්‍ර‍බවට පැමිණ මුත්‍රාසය ද පුරවයි. මෙසේ පැසීම් වශයෙන් පිළිකුල් බව මෙනෙහි කළයුතු.

(8) එ සේ පැසවනු ලබනුයේ ද, කෙස්-ලොම්-නිය-දත් ආදි නොයෙක් කුණප නිපදවයි. නො පැසෙන්නේ දද-කැසිලි-කුෂ්ට-පාණ්ඩු-ක්‍ෂය-කාශ-අතීසාරාදි සිය ගණන් රෝග උපදවයි. මෙසේ ආහාරයෙහි ඵල වශයෙන් පිළිකුල් සේ පස් විකිය යුතු.

(9) මේ ආහාරය කන කල එක් දොරකින් ඇතුළට වැද පිටත වැගිරෙන කල ඇසින් අක්‍ෂි ගූථ නම් වූ කබ ය, කනින් කර්‍ණගුථ නම් මළ ය, යනාදි ප්‍ර‍කාරයෙන් නොයෙක් දොරින් අනේකප්‍ර‍කාර අසුචි භාවයෙන් වැගිරෙයි. වළඳනා කල බොහෝ දෙනා පිරිවරා ද අනුභව කෙරේ. වැගිරෙන කල මල-මුත්‍ර‍ බවට පැමිණියේ හුදෙකලාව පහකෙරේ. ඒ වළඳනා කල පළමු දවස තුටුපහටු වෙයි. ඔද වඩනේ ද වෙයි. ප්‍රීති වූයේ ද වෙයි. දෙ වන දවස් පහකරනුයේ අතින් වැසූ නැහැ ඇති වැ පිළිකුලින් මුහුණ හකුළුවා මකුවූයේ (අමනාප වූයේ) වෙයි. පළමු දිනයෙහි එහි ආශාවෙන් ගිජු වැ ගැට ගැසූ සේ ඇලී තෘෂ්ණායෙන් මුසපත් වැ අනුභව කොට දෙවන දවස්හි එක් රැයක් විසීමෙන් නො ඇලී දුක් වෙමින් පිළිකුල් කරමින් පහකරයි.

එහෙයින් ම:-

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

එක මුව දොරින් පිවිසි - නව දොරකින් බැහැර වේ.”

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

සපිරිවරින් වළඳා - සැඟවේ බැහැර කරනේ.”

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

සතුටු වැ හිඳ වළඳනේ - නික්මවනු පිළිකුල් වේ.”

“අහර පැන් කැවිලි ද - මා ඇඟි නන් බොජුන් හා

එක ම රැයක් ගෙවීමෙන් - කුණුවේ ඒ සියල්ලම”

මෙසේ බැහැර වන පරිදි පිළිකුල් වැඩිය යුතු.

(10) මේ අහර වළඳනා කල අත් - තොල් - දිව තලු ආදි තන්හි තැවරී එයින් පිළිකුලට පැමිණ නැවත නැවත සෝධා ද ගඳ හරණා පිණිස නැවත නැවත දෙවිය යුතු වේ. වළඳුයේ ද බත පැසෙන කල බොල් - ඇහි - කුඩු ආදිය ඉතිරී සැළි මුව හා පියන් ගල්වන්නා සේ මුළු සිරුරෙහි පැතිරැ පවත්නා ජඨරාග්නියෙන් පෙණ දමමින් පැසී උතුරා යන්නේ දතෙහි දත් මල බැවින් ද, දිව - තලු ආදියෙහි කෙළ - සෙම් ආදි බැවින් ද, ඇස් - කන් - නාසා - අධොමාර්‍ගාදියෙහි කබ - කළාඳුරු - සොටු - මළ - මූ බැවින් ද ගල්වයි. එයින් වැකුණු ඒ ඒ ද්වාරයෝ දිනපතා දොවනු ලබන්නාහු ද පිරිසිදු ද මනහර ද නො වෙති. ඉන් සමහර තැනක් දොවා අත නැවත ද ජලයෙන් දෙවිය යුතු වේ. සමහර තැනක් දොවා ගඳ හරනා පිණිස දෙතුන් වරක් ගොමින් හෝ මැටියෙන් හෝ සුවඳ සුන්නෙන් හෝ දොවා ද පිළිකුල හැරිය යුතු වේ යයි (මෙසේ) ගැල්වීමෙන් පිළිකුල මෙනෙහි කළ යුතු.

මෙසේ දස ආකාරයෙන් පිළිකුල මෙනෙහි කරන්නාහට තර්‍කයෙන් විතර්‍කයෙන් පහරන ලද්දාක් මෙන් කරන්නහුට පිළිකුල් වශයෙන් කබලිඞ්කාරාහාරය ප්‍ර‍කට වෙයි. හෙතෙමේ ඒ නිමිත්ත නැවත නැවත මෙනෙහි කරයි. වඩයි. බහුල වශයෙන් වඩයි. එසේ කරන්නා වූ ඒ යෝගාවචරයා ගේ නීවරණයෝ පහවෙති. කෙලෙස් මුවහ වේ. කබලිඞ්කාරාහාරය පිළිකුල් හෙයින් අර්පණාවට නො පැමිණෙතුදු උපචාර සමාධියෙන් සිත එකඟ වෙයි. මෙහි පිළිකුල් බව ගැනීම් වශයෙන් සංඥාව ප්‍ර‍කට වෙයි. එහෙයින් ම මේ කමටහන ආහාරයෙහි පටික්කූල සඤ්ඤා නම් වේ.

මේ ආහාරයෙහි පටික්කූල සඤ්ඤායෙන් යුක්ත යෝගාවචර භික්‍ෂුවගේ සිත රස තෘෂ්ණාවෙන් හැකිළෙයි. පෙරලෙයි. (පෙරලී වැටෙයි) හෙතෙම කාන්තාරය එතර කරනු සඳහා පුත්‍ර‍ මාංස කන්නකු සේ මද නැතිවැ හුදෙක් දුක් ගෙවීම සඳහා ආහාරය වළඳයි. එකල කබලිඞ්කාරාහාරය පිරිසිඳ දැනීම් වශයෙන් අනායාසයෙන් මැ පඤ්චකාම ගුණ පරිඥා මුඛයෙන් රූපස්කන්‍ධය පිරිසිඳ දැනීම වෙයි. හෙතෙම පඤ්චකාම ගුණ පරිඥා මුඛයෙන් රූපස්කන්‍ධය පිරිසිඳ දනී. අපරිපක්‍වාදි ප්‍ර‍තිකුල භාව වශයෙන් ඔහු ගේ කායගතාසති භාවනාව ද පිරීමට යෙයි. ඉන් පිළිකුල් බව සැලකීමෙන් අසුභ භාවනාවට අනුලොම් වූ ප්‍ර‍තිපත්තියට පැමිණියේ වෙයි. මේ ප්‍ර‍තිපත්තිය ඉහාත්මයෙහි නිර්‍වාණය අවසන් කොට ඇත්තේ වෙයි. මේ භාවනාව වඩා ඉපදවූ උපචාරධ්‍යානය පාදකකොට විදර්‍ශනා වඩා සතර මාර්‍ග ඵලයන්ට පැමිණ නිවන් අවබෝධ කළ හැකි වේ. ඉහාත්මයෙහි එසේ නොවී නම් සුගත පරාණය වේ.

මේ ආහාරයෙහි පටික්කුල සඤ්ඤා භාවනාවේ

විස්තර කථාව ය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll