967. පිං කරලා, ලෞකික පැතුම් පතන්න එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පින් වැඩක් කල පසු යම්කිසි ලෞකික ප්‍රාර්ථනාවක් කිරීම වැරදිද?

A. S. "සද්ධාය සමන්නාගතොති ශ්‍රද්ධාදි පංච ධර්මයෝ ලෞකිකව පවතිත්. දහතීති තබයි. අධිට්ඨාතීති පිහිටුවයි. සංඛාරා ච විහාරොචාති ප්‍රාර්ථනාව සමග ශ්‍රද්ධාදි පංච ධර්මයෝය. තත්‍රෑපපත්තියාති ඒ ස්ථානයෙහි ඉපදීම සඳහා අයං මග්ගො අයං පටිපදාති ප්‍රාර්ථනාව සමඟ පංච ධර්මයෝය. යමෙකුට පංච ධර්මයෝ ඇත්ද ප්‍රාර්ථනා නැත්ද ඔහුගේ ප්‍රතිසන්ධිය අනුබද්ධ වෙයි. යමෙකුට ප්‍රාර්ථනා ඇද්ද පංච ධර්මයෝ නැත්ද ඔහුගේ ස්වභාවය ද අනියතය. යම්කිසිවෙකුගේ ප්‍රතිසන්ධිය නිබද්ධ නම් යම්සේ අහසට දමන ලද දණ්ඩ අගින් හෝ මැදින් හෝ මුලින් හෝ වැටෙන්නේ ය යන්න නියත වේද මෙසේ සත්වයන්ගේ ප්‍රතිසන්ධි ග්‍රහණයෙහි නියමයක් නැත. එහෙයින් කුසල ක්‍රියාකොට එක් තැනක් ප්‍රාර්ථනා කළ යුතුවෙයි.

සද‍්ධාය සමන‍්නාගතොති සද‍්ධාදයො පඤ‍්ච ධම‍්මා ලොකිකා වට‍්ටන‍්ති. දහතීති ඨපෙති. අධිට‍්ඨාතීති පතිට‍්ඨාපෙති. සඞ‍්ඛාරා ච විහාරා චාති සහ පත්‍ථනාය සද‍්ධාදයොව පඤ‍්ච ධම‍්මා. තත්‍රුපපත‍්තියාති තස‍්මිං ඨානෙ නිබ‍්බත‍්තනත්‍ථාය. අයං මග‍්ගො අයං පටිපදාති සහ පත්‍ථනාය පඤ‍්ච ධම‍්මාව. යස‍්ස හි පඤ‍්ච ධම‍්මා අත්‍ථි, න පත්‍ථනා, තස‍්ස ගති අනිබද‍්ධා. යස‍්ස පත්‍ථනා අත්‍ථි, න පඤ‍්ච ධම‍්මා, තස‍්සපි අනිබද‍්ධා. යෙසං උභයං අත්‍ථි, තෙසං ගති නිබද‍්ධා. යථා හි ආකාසෙ ඛිත‍්තදණ‍්ඩො අග‍්ගෙන වා මජ‍්ඣෙන වා මූලෙන වා නිපතිස‍්සතීති නියමො නත්‍ථි, එවං සත‍්තානං පටිසන්‍ධිග‍්ගහණං අනියතං. තස‍්මා කුසලං කම‍්මං කත්‍වා එකස‍්මිං ඨානෙ පත්‍ථනං කාතුං වට‍්ටති."

A. “... එහෙත් පිනක් කළ කල්හි ප්‍රාර්ථනාවක් කිරීමෙහි ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් විපාකය තමා කැමති සැටියට ලබා ගැනීම ය. දන්දීම් ආදි වශයෙන් කාමාවචර කුශලයක් කළාම එයින් ඒ තැනැත්තාට මිනිස් ලොවත් ඉපදිය හැකි ය. වෘක්ෂ පර්වතාදියක දෙවියෙක් ද විය හැකි ය. චාතුර්‍මහාරාජිකාදි දිව්‍යලෝක සයෙන් යම්කිසිවක ද ඉපදිය හැකි ය. රූප සම්පත් ධන සම්පත් ආදි නොයෙක් සම්පත් ද ලැබිය හැකි ය. ප්‍රාර්ථනාවක් කළාම ඒ කුශලයෙන් ඉපදිය හැකි තැන්වලින් තමාට කැමති තැනක ඉපදී කැමති සම්පත්තියක් ලබා ගත හැකි ය.

ප්‍රාර්ථනාවක් නැති තැනැත්තාට උපදින තැන නියම නැත. මිනිස් ලොව උපදින කෙනකුට වුව ද ප්‍රාර්ථනා කළා ම සුදුසු පෙදෙසක සුදුසු කුලයක ඉපදිය හැකි ය. ප්‍රාර්ථනාවක් නැතිව මිනිස් ලොව උපදින තැනැත්තා හට සමහර විට පව්කම් නොකොට ජීවත් විය නොහෙන පෙදෙස්වල ද ඉපදිය හැකි ය. බොහෝ පව්කම් කරන මිසදිටු කුලවල ද ඉපදිය හැකි ය. එසේ උපන හොත් ඔහුට බොහෝ පව්කම් කරන්නට සිදු වන්නේ ය. එයින් අපාගත වීමෙන් ඔහුට සසර දික් වන්නේ ය. පව් නො කොට ජීවත් විය හැකි තුණුරුවන් පවතින සත්පුරුෂයන් වෙසෙන සත්පුරුෂ සේවනය ලැබිය හැකි පෙදෙසක, සම්‍යග්දෘෂ්ටික කුලයක උපන හොත් ඔහුට එහි ද බොහෝ පින් කොට සසර කෙටි කර ගත හැකි ය. ඉක්මනින් නිවන් දැකිය හැකි ය. එබැවින් පිනක් කළ කල්හි යම් කිසි සුදුසු ප්‍රාර්ථනාවක් කළ යුතු බව -

“ආකාසෙ ඛිත්තදණ්ඩො අග්ගෙන වා මජ්ඣෙන වා මූලෙන වා පතිස්සතීති නියමො නත්ථි. සත්තානං පටිසන්ධිගහණං අනියතං, තස්මා කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති.”

යනුවෙන් මජ්ඣිම නිකායේ සංඛාරුප්පත්ති සූත්‍ර‍ අටුවාවෙහි “අහසට විසි කළ දණ්ඩ අගින් බිම වැටෙනවාය කියා හෝ මැදින් බිම වැටෙනවාය කියා හෝ මුලින් බිම වැටෙනවාය කියා හෝ නියමයක් නැත. එමෙන් සත්ත්වයන් ගේ ප්‍ර‍තිසන්ධි ග්‍ර‍හණය අනියත ය. එබැවින් කුශල කර්මයක් කොට යම් කිසි එක් තැනක් පැතිය යුතුය” යි දක්වා ඇත්තේ ය. ප්‍රාර්ථනාවක් වුවමනා නැත, ප්‍රාර්ථනා කළත් නොකළත් කුශලයේ විපාක ලැබෙනවා ය, නිවන පමණක් ප්‍රාර්ථනා කළා ම ඇතය කියා ඇතමුන් කරන අනුශාසනය ඉහත දැක් වූ සංඛාරුප්පත්ති සූත්‍ර‍ අටුවාවට විරුද්ධ බව දත යුතු ය.

පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර‍ වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු. බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතු."


# ප්‍රාර්ථනා ඉටුවීමට අවශ්‍ය කරුණු හා ප්‍රාර්ථනා ...

උදා: "ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය. එබැවින් “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා - පෙ- තඤ්ච ඛො සීලවතො වදාමි නො දුස්සීලස්ස” යනුවෙන් “මහණෙනි, සිල්වතා ගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධ වන්නේය. ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුශ්ශීලයා ගැන නො කියමි” යි අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුශ්ශීලයන්ගේ ප්‍රාර්ථනා ද සර්වාකාරයෙන් සිදු නො වන්නේ නොවේ. සමහරවිට සිදුවෙයි. එහි සිද්ධිය අනියත ය. සිද්ධ වූව ද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍යඵලය නො ලැබේ.

ශීලයෙහි පිහිටා කරන කුශලය මහත්ඵල යයි කියා ඇති බැවින් පින්කම් කිරීමට පූර්වභාගයෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පඤ්ච ශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වෙතැයි නො කිය හැකිය. පින මහත්ඵල වීමට නම් කවදත් පඤ්ච දුශ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් බවය කියනුයේ ප්‍රාණඝාතාදී පව්කම් කිරීම ය. සිල්වත් බවය කියනුයේ ඒවායින් වැළකී සිටීම ය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම් ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුශ්ශීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතය යයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නො වන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබුණ ද පව්කම් කොට ඒ කාලයේ අපායෙහි සිටිය හොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නො ලැබේ. නිවන් දැකීම ගැන කවර කථා ද?

ඇතැම් අවියත් ධර්ම කථිකයෝ “අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි. අන්තමසො අච්ඡරාසංඝාතමත්තම්පි” යන පාඨය දක්වමින් භවය නො පැතිය යුතුය කියා පින් කරන ජනයා නොමඟ යවති. භවය නො පැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නො පතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නො පැතුව ද රහත් නො වූ පුද්ගලයා මරණින් මතු කොතැනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසා ගත යුතුය. එසේ නො කොට සුගතියෙහි වුව ද පිනට අනවකාශ තැනක උපන හොත් ඔහුට වඩාත් නිවන දුර වන්නේ ය. ඒ නිසා නිවන් දකිනු රිසි පින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමට ද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසකෝපාසිකාවන් ඇති, භික්ෂූන් වහන්සේ ඇති, දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝ ය. පින් කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය. එබැවින් නොයෙක් විට දිව්‍ය ලෝක බ්‍රහ්මලෝකවල උපන් බෝසත්හු ආයු ඇති තෙක් ඒවායේ නො සිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති. මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන වුව ද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන්ම පව් කරන්නට වුවමනා අවස්ථා නො එළඹේ. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ආදී මගඵල වලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි. එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීම ද යහපත් බව කිව යුතුය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll