916. එක්වීම හෝ වෙන්විම වෙන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඊළඟ භවයේදි පුරුශයෙකුව ඉපදෙන්න කළයුතු දේ මොනවද...? ඒ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවද...? බුද්ද දේශනා ඇසුරින් පහදා දෙන්න!

A / T. "මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියාව ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ස්ත්‍රියගේ මානවිධාව ස්ත්‍රියගේ ඡන්දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පුරුෂෙන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්ප පුරුෂවිධා පුරුෂ ඡන්ද පුරුෂස්වර පුරුෂාලඞ්කාර මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පිරිමි සංයොග කැමැති වෙයි. සංයොගප්‍ර‍ත්‍යයයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙකුත් වේ නම්, එය ද කැමැති වෙයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අභිරත වූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයොගයට ගියාහු නම් වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නො ඉක්මවයි."


“මහණෙනි, තොපට සංයෝග වියෝග (එක්වීම හා වෙන්විම) දහම් කොටස දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේය ස්වාමීනි’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
“ඒ සංයොග වියෝග දහම් කොටස කවරේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය (හඬ), ස්ත්‍රී අලංකාරය, (යන මෙයින් යුක්තවූ) අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ඇය එහි ඇලෙයි. එහි රමණය කරයි. ඇය එහි ඇළුනී, එහි රමනය කරන්නී, බාහ්‍යවූ (පිටත) පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය යන මෙහි ඈ ඇලෙයි. එහි රමණය කරයි. ඈ එහි ඇළුනී, එහි අභිරමණය කරන්නී, පිටත එක්විම බලාපොරොත්තු වෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇළුනාවූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි.
“මහණෙනි, පුරුෂතෙම අධ්‍යාත්මික පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය, යන මෙහි හෙතෙම ඇලෙයි. රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, එහි රමණය කරන්නේ, පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රී අලංකාරය එහි ඇලෙයි. එහි රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, රමණය කරන්නේ, පිටත සංයෝගය (එක්විම) බලාපොරොත්තු වෙයි. ඔහුට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, පුරුෂ භාවයෙහි ඇළුනාවූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට (එක්විමට) ගියේ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂතෙම පුරුෂ භාවය නොඉක්මවයි. මහණෙනි, මෙසේ සංයෝගය වෙයි.
“මහණෙනි, කෙසේ විසංයෝගය (වෙන්වීම) වේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මෙසේවූ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකෙර්ද, ඇය එහි නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමනය නොකරන්නී, බාහ්‍යවූ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලංකාරය යන මෙහි ඇය නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමණය නොකරන්නී, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු නොවෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ආශා නොවූ, නොඇළුනාවූ ස්ත්‍රිය පුරුෂයන් කෙරෙහි වෙන්වූයේ වෙයි. මහණෙනි, ස්ත්‍රිය එසේම ස්ත්‍රී භාවය ඉක්මවයි.
“මහණෙනි, පුරුෂයා අධ්‍යාත්මිකවූ පුරෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලඞ්කාරය යන මේ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මේ පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළෙයි. එහි අභිරමණය නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. සංයෝග හේතුවෙන් ඕහට සැපතක්, සොම්නසක් උපදිද, එයද බලාපොරෝත්තු නොවෙයි. “පුරුෂභාවයෙහි නොඇළනාවූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි වෙන්වූවෝ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂයා පුරුෂ භාවය ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි විසංයෝගය වෙයි. මහණෙනි, මෙය සංයෝගය වියෝග දහම් කොටස වෙයි."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll