683. ආර්ය උතුමන් ගැන දැනුම හරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආර්ය පුද්ගලයො 8 දෙනෙක් ඉන්නවනෙ, සෝවාන්, සෝවාන් මාර්ගයේ යන... ආදි විදිහට, තුන්තරා බෝධියක් පතාගෙන පෙරුම් පුරන අය මේ අතරට අයිතිවෙනවද...?

A. "සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හත් ඵලස්ථ පුද්ගලයා ය කියා ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. ඵලස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. එක් පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග චිත්තය පවත්නා අවස්ථාවෙහි පමණෙකි. එය ඉතා කෙටි කාලයෙකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොසෙවිය හැකි ය. මාර්ග චිත්තය නිරුද්ධ වනු සමග ම ඵල චිත්තය ඇති වීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේ ය. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා ය, සකෘදාගාමි පුද්ගලයා ය, අනාගාමි පුද්ගලයා ය, අර්හත් පුද්ගලයා ය යන නම් බෙහෙවින් ව්‍යවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහා ය."
https://pitaka.lk/books/abhidharma-margaya/10-14.html

"තුන්තරා බෝධිය

නිවන් ලැබිය හැකි වනුයේ ආර්‍ය්‍ය මාර්ගඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ කිරීමෙනි. චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ කරන්නා වූ ලෝකෝත්තර මාර්ගඥානයට බෝධියයි කියනු ලැබේ. එය සම්‍යක්සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය ය, ශ්‍රාවකබෝධිය යයි තෙවැදෑරුම් වේ.

එයින් ලොවුතුරා බුදුවරයන් විසින් ලබන්නා වූ සර්වඥත්වාදි අනේක ගුණයන්ට ආධාර වූ ලෝකෝත්තර මාර්ග ඥානය සම්‍යක් සම්බෝධි නමි. පසේ බුදුවරයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍රත්‍යේක සම්බෝධි නමි. බුද්ධ ශ්‍රාවකයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ශ්‍රාවක බෝධි නමි.

සම්බෝධියට පැමිණීම සඳහා පිළිවෙත් පුරන්නා වූ සත්පුරුෂයෝ බෝධිසත්ත්ව නම් වෙති. බෝධි තුනක් වන බැවින් බෝධීන්ගේ වශයෙන් බෝධිසත්ත්වයෝ ද තිදෙනෙක් වෙති. ලොවුතුරා බුදු බව සඳහා පෙරුම් පුරන තැනැත්තේ මහා බෝධිසත්ත්ව නමි. පසේ බුදු බව සඳහා පෙරුම් පුරන තැනැත්තේ ප්‍රත්‍යේක බෝධිසත්ත්ව නමි. ශ්‍රාවක බෝධිය සඳහා පෙරුම් පුරන තැනැත්තේ ශ්‍රාවක බෝධිසත්ත්ව නමි.

බෝධිසත්හු වනාහි ප්‍ර‍ඥාධිකයෝ ය, ශ්‍රද්ධාධිකයෝ ය, වීර්‍ය්‍යාධිකයෝ ය යි තුන් කොටසක් වෙති. ඔවුන් අතුරෙන් ප්‍ර‍ඥාධික මහා බෝධිසත්ත්වයෝ සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. ශ්‍ර‍ද්ධාධික මහාබෝධි සත්ත්වයෝ අෂ්ටාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවෙති. වීර්‍ය්‍යාධික මහාබෝධි සත්ත්වයෝ සොළොස් අසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සම්බුද්ධත්වයට පැමිණෙති. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් අතුරෙන් ප්‍ර‍ඥාධිකයෝ ද්වයාසංඛ්‍යකල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. සෙස්සෝ ද්වයා සංඛ්‍ය කල්ප ලක්ෂයකට මඳක් වැඩි කාලයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. බුද්ධ ශ්‍රාවකයෝ වනාහි අග්‍ර‍ ශ්‍රාවකයෝ ය, මහා ශ්‍රාවකයෝ ය, ප්‍ර‍කෘති ශ්‍රාවකයෝ ය යි තුන් කොටසකි. අග්‍ර‍ශ්‍රාවකත්වයට පැමිණෙන්නවුන් විසින් ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. මහා ශ්‍රාවකයන් විසින් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. ප්‍ර‍කෘති ශ්‍රාවකයන්ගේ පෙරුම් පිරීම පිළිබඳ කාල නියමක් නැත්තේ ය."
https://pitaka.lk/books/bauddhayage-athpotha/12-10.html

"ශ්‍රාවක බෝධි පාරමිතාව

ශ්‍රාවක බෝධි පාරමිතා කොතෙක් කල් පිරිය යුතු වන්නේ දැයි ආනන්ද ස්ථවිරයන් වහන්සේ විචාළ කල්හි බුදුන් වහන්සේ වදාරන සේක් : "ද්වින්නං අග්ග සාවකානං එකං අසංඛෙය්‍යං කප්පසතසහස්සං ච අසීති මහාසාවකානං කප්පසතසහස්සං තථා බුද්ධස්ස මතාපිතුන්නං උපට්ඨාකස්ස පුත්තස්ස" යි අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාගේ පාරමිතාව එක් අසංඛ්‍යයක් හා කල්ප ලක්ෂයක් ද, අසූ මහා ශ්‍රාවකයන්ගේ පාරමිතාව කල්ප ලක්ෂයක් ද, එ පමණ ම කලක් බුදුන්ගේ මාපියන් ගේ හා අග්‍ර උපස්ථායකයා ගේ ද පුත්‍රයා ගේ ද පාරමිතාව පිරිය යුතු වේ යයි වදාළ සේක. අග්‍ර ශ්‍රාවකාදීන් ගේ අභිනීහාරය “අධිකාරය, ඡන්දතාය” යන අංග දෙකින් යුක්ත වූ කල්හි සමෘද්ධ වන බව දක්ව තිබේ.

අග්‍ර ශ්‍රාවක මහ ශ්‍රාවකාදීන් ගේ ප්‍රාර්ථනය සිදුවීම පිළිබඳ ව කියන ලද කාල නියමය ස්ථීර වූවක් නොවේ. ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි වීමට ලොවුතුරා බුදුවරයන් ලොව පහළ විය යුතුය. ලොවුතුරා බුදුවරයන් ලොව පහළ වන්නේ කලාතුරකිනි. සමහර විට කල්ප අසංඛ්‍ය බොහෝ ගණනක් ද බුදුවරයන් පහළ නොවී ඉක්ම යා හැකිය. බුදුවරයන් නැතිව කල්ප ලක්‍ෂ ගණන් ඉක්මී යාම නම් නිතර සිදු වන්නකි.

යම් කිසිවකු අග්‍ර ශ්‍රාවක බෝධිය පැතූ තැන සිට එක් අසංඛ්‍යයක් ගත වූ තැන දී බුදුවරයකු ලොව පහළ වෙතත් ඉදිරියට පැරුම් පිරිය යුතු කාලය තවත් කල්ප ලක්‍ෂයක් තිබෙන බැවින් ඒ පින්වතාට ඒ බුදු සස්නේදී අග්‍රශ්‍රාවක බෝධියට නො පැමිණිය හැකිය. එතැන් පටන් කල්ප ලක්‍ෂයක් ගත වූ තැන ලොවුතුරා බුදු වරයකු පහළ වත හොත් ඒ පින්වතාට බෝධියට පැමිණෙන්නට ඉඩ තිබේ. ඉදින් එතැන් පටන් කල්ප අසංඛ්‍යයක් ම බුද්ධ ශූන්‍ය වුව හොත් ඒ පින්වතා ගේ ප්‍රාර්ථනය සිදු වීමට කල්ප අසංඛ්‍ය දෙකක් ම ගත වන්නේය. අසංඛ්‍ය කීපයක් බුද්ධ ශූන්‍ය වී නම් ඒ පින්වතා ගේ ප්‍රාර්ථනයේ සිද්ධියට අසංඛ්‍ය කීපයක් ගත වන්නේය. කල්ප ලක්‍ෂයකින් ලබන මහා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි වන්නේ ද ඒ කාලය තුළ බුදුවරයකු පහළවුව හොත් ය. ඒ කාලය තුළ දී බුදුවරයන් ලොව පහළ නො වුව හොත් කල්ප කෝටි ගණන් අසංඛ්‍ය ගණන් එයට ද ගත වන්නේය. කරුණු මෙසේ හෙයින් ශ්‍රාවක බෝධිය පිළිබඳ ව දක්වන ලද කාල පරිච්ඡේද අනියත බව දත යුතු ය.

අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් ගෙන් අන්‍ය වූ රහතුන්ගේ ප්‍රාර්ථනා සිද්ධිය පිළිබඳ කාල පරිච්ඡේදයක් අනියමින් වුව ද තථාගතයන් වහන්සේ නො වදාළ සේක. ඇතැම් ආචාර්‍ය්‍ය වරයෝ සාමාන්‍ය රහතුන්ට ද කල්ප ලක්‍ෂයක් පැරුම් පිරිය යුතු බව කියති. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් කල්ප දහසක් පැරුම් පිරිය යුතු බව කියති. ඒවා ඒ ඒ ආචාර්‍ය්‍යවරයන්ගේ අදහස් ය. රහතුන් ගේ ප්‍රාර්ථනා සිද්ධියට ගත වන කාලය ද ලෝකයෙහි ලොවුතුරා බුදුවරයන් පහල වීමේ සැටියට කෙටිවීම හා දික්වීම සිදු වන බව කිව යුතු ය. ශ්‍රාවක බෝධියට පැමිණීමට හේතු සම්පත් ඇතියවුන් ද එය සඳහා උත්සාහ නො කිරීම නිසා ද, මාර්ගාවරණය කරන අකුශලයක් කරන නිසා ද ඒ ඒ සසුන්වල දී බෝධියට නො පැමිණෙන බව ඇතැම් කථා වස්තුවලින් පෙනේ.

ඒ ජාතියේදී ම මඟ ඵල ලැබීමට හේතු සම්පත් ඇති ව සිටි මහා ධන සිටු පුත්‍රයා ද ඔහු ගේ භාර්‍ය්‍යාව ද බෝධියට නො පැමිණියෝ ය. සෝවාන් වීමට හේතු සම්පත් ඇති ව සිටි අජාසත් රජ පාප මිත්‍ර සේවනයෙන් පිතෘ ඝාතක කර්ම කොට එයින් පිරිහිණ. ශ්‍රාවක බෝධිය පිළිබඳ ස්ථිර කාල නියමයක් නැති බව මේ කරුණුවලින් ද පෙනේ. එසේ නියමයක් නැත ද යම් කිසි ජාතියක දී නියම වශයෙන් ම රහත් වන පුද්ගල කොටසක් ඇති බව ද සංකිච්ච ස්ථවිරයන් වහන්සේ ගේ කථාවෙන් හා බක්කුල තෙරුන් වහන්සේ ගේ කථාවෙන් ද තවත් එබඳු කථාවලින් ද පෙනේ. සංකිච්ච තෙරුන් වහන්සේගේ මව උන් වහන්සේ ගැබ තුළ සිටියදී ම කාලක්‍රියා කළාය. ඇගේ සිරුර ද කුස තුළ හුන් දරුවාත් සමඟ ම සොහොන් කළහ. එහෙත් ඒ ජාතියේ දී ම රහත් වන්නට ඇති හේතු සම්පත්තිය නිසා ඒ දරුවාට අනතුරක් නොවූ බව සංකිච්ච රහතන් වහන්සේ ගේ කථාවෙහි දක්වා තිබේ. බක්කුල තෙරුන් වහන්සේ බාල කාලයේදී මසකු විසින් ගිලින ලද නමුදු එයින් අනතුරක් නො වූ බව ද ඒ කථාවේ දක්වා තිබේ."
https://pitaka.lk/books/paramitha-prakaranaya/4-10.html

<<< https://pitaka.lk/books/paramitha-prakaranaya/4-9.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll