197. ගණනා අනුබන්‍ධනා ඵුසනා ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගනන, අනුපුබ්බන, ටුපන ලෙස වචන කිහිපයක් දහම් දේශනයකදී අසන්නට ලැබුනා. ඒවායේ තේරුම සහ ත්‍රිපිටකයේ සඳහන් වන ස්ථානය පහදා දෙන්න.

A / R. “ගණනා අනුබන්‍ධනා
ඵුසනා ඨපනා සල්ලක්ඛණා,
විවට්ටනා පාරිසුද්ධි
තෙසං ච පතිපස්සනා.”[307]"

A / R. "ගණනය, අනුබන්‍ධනය, ඵුසනය, ඨපනය, සල්ලක්ඛණය, විවට්ටනය, පාරිසුද්ධිය, පතිපස්සනය යන මේ අට මෙනෙහි කළ යුතු පිළිවෙළ යි.

ගණන නම් ගණන් කිරීම ය, අනුබන්‍ධන නම් සිහිය ආශ්වාස-ප්‍ර‍ශ්වාස අනුව පැවැත්වීම ය, ඵූසන නම් ස්පර්‍ශ කරන තැන ය, ඨපන නම් අර්පණා ය, සල්ලක්ඛණ නම් විදර්‍ශනා ය, විවට්ටන නම් මාර්‍ග ය, පාරිසුද්ධි නම් ඵල ය, පතිපස්සන නම් ප්‍ර‍ත්‍යවේක්‍ෂණ යි.

ගණන

ආදිකර්මිකයා විසින් පළමු කොටැ ආශ්වාස-ප්‍ර‍ශ්වාස ගණන් කිරීමෙන් මේ කර්‍මස්ථානය මෙනෙහි කළ යුතු. ගණන් කරන කල්හි දු පසින් යට නො නැවැත්විය යුතු. දසයෙන් මතු නො ගෙනිය යුතු. එක, තුන, පහ යනාදි වශයෙන් අතර නොකැඩිය යුතු. පසින් යට නැවැත්තුව හොත් ඉඩ මඳ ගාලෙහි ගෙරිමුළ සේ සම්බාධ අවකාශයෙහි සිත කැලඹෙයි. දසයෙන් මතු ගෙනැ ගිය හොත් සිත ගණනෙහි ම බැඳෙයි. අතර කඩ කළහොත් කර්‍මස්ථානය මුදුන් පැමිණියේ දො හෝ නො පැමිණියේ දෝ හෝ යි සිත චංචල බවට පත් වෙයි. එ බැවින් එසේ දොස් නො වන පරිදි ගණන් කළ යුතු. ගණන් කරන කල පළමු කොටැ දන්‍ධ ගණනින් - වී මනින ගණනින් ගණන් කළ යුතු. වී මනින්නා වියෙන් කුරුණිය පුරා එ-ක-යි කියා මල්ලට දමයි. නැවැත කුරුණිය පුරවන අතර රොඩුවක් ඇත්නම් ඒ ඉවත දමමින් එකයි-එකයි කියයි. දෙකයි-දෙකයි යනාදි වශයෙන් කියන්නේත් එසේ ය. මේ යෝගියා විසිනුදු ආශ්වාස-ප්‍ර‍ශ්වාස අතුරෙන් යමක් වැටහුණේ නම් එය අරමුණු කොටැ ගෙනැ එකයි-එකයි, දෙකයි-දෙකයි තුනයි-තුනයි යනාදි වශයෙන් දසය දක්වා වැටෙන වැටෙන ආශ්වාස-ප්‍ර‍ශ්වාස අරමුණු කොටැ ගණන් කළ යුතු. එසේ ගණන් කරන කල්හි නික්මෙන්නා වූ ද ඇතුළු වන්නා වූ ද ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට වෙයි. එසේ ප්‍ර‍කට වූ කල්හි ඔහු විසින් ඒ දන්‍ධ ගණන - වී මනින ගණන හැරැපියා ශීඝ්‍ර‍ ගණනින්-ගොපලු ගණනින් ගණන් කළ යුතු. දක්‍ෂ ගොපොල්ලා කැට ගල් ඔඩොක්කුවෙහි ලා ගෙනැ රැහැන් කෙවිටි ගෙනැ උදෑසනක් සේ ගාලට ගොස් කෙවිටෙන් ගවයන් පිට පහර දී නඟා පියා හිදිවර ටැම් මතුයෙහි හිඳැ දොරට එන නඑන ගවයා එකයි-දෙකයි යනාදීන් කැට ගල් දම දමා ගණන් කරයි. රෑ මුළුල්ලේ හකයෙහි දුක සේ උන් ගවයෝ නික් මැ එන්නෝ උනුන් ඇඟ ගටමින් වෙළෙවි වෙළෙවි වැ මුළු මුළු වැ නික්මෙති. ගොපල්ලා ද වෙළෙවි වෙළෙවි වැ තුනයි-හතරයි-පහයි යනාදි වශයෙන් ගණන් කරයි. එසේ ම මේ යෝගී ද පෙර සේ ගණන් කරත් ම ආශ්වාස-ප්‍ර‍ශ්වාස ප්‍ර‍කට වැ වහ වහා නැවත නැවත හැසිරෙයි. ඉක්බිති ඔහු විසින් ආශ්වාස-ප්‍ර‍ශ්වාස නැවත නැවත හැසිරේ ය යි දැනැ ඇතුළ පිට වදනා ආශ්වාස-ප්‍ර‍ශ්වාස නො ගෙනැ දොරට පත් පත් ආශ්වාස-ප්‍ර‍ශ්වාස ම ගෙනැ එකයි-දෙකයි-තුනයි-හතරයි-පහයි-හයයි-හතයි, එකයි-දෙකයි-තුනයි-හතරයි-පහයි-හයයි-හතයි-අටයි-නවයයි-දහයයි කියා වහා වහා ගණන් කළ යුතු. කර්‍මස්ථානය මෙසේ ගණන් පිළිබඳ වූ කල්හි ඒ ගණන් බලයෙන් ම සිත එකඟ බවට පත් වේ. සැඩ වතුරේ රිටේ බලයෙන් නැව රැඳවීම මෙනි. මෙසේ වහ වහා ගණන් කරත් ම කර්‍මස්ථානය අතර නැති වැ පවතින බව ඔහුට වැටහෙයි. එවිට ඔහු විසින් කර්‍මස්ථානය නිරන්තර ප්‍ර‍වෘත්තය යි දැනැ ඇතුළ පිට වදනා වාතය අරමුණු නො කොටැ පෙර සේ ම වහ වහා ගණන් කළ යුතු. ඉදින් ඇතුළට පිවිසෙන වාතය හා සමග සිත ද ඇතුළු කෙළේ නම් ඇතුළ වාතයෙන් පහරන ලද්දාක් මෙන් ද මෙන් ද මේද තෙලින් පිරුණාක් මෙන් ද වේ. පිටතට නික්මෙන වාතය හා සමග සිත බැහැර කෙළේ නම් බැහැර නොයෙක් අරමුණුවල සිත දිවෙන්නේ වේ. එසේ නො කොටැ ස්පර්‍ශ කරන ලද නාසිකා අග මැ සිහිය පිහිටුවා භාවනා කෙළේ නම් භාවනාව සමෘද්ධ වේ. “ඇතුළ පිට වදනා වාතය අරමුණු නො කොටැ පෙර සේ ම වහ වහා ගණන් කළ යුතු” යයි කීයේ මේ නිසා ය. මෙසේ මේ ගණන් කිරීම් කොතෙක් කල් කළ යුතු ද යම්තාක් කලෙකින් ගණන් කිරීම් නැති වැ ආශ්වාස-ප්‍ර‍ශ්වාසාරම්මණයෙහි සිහිය පිහිටා ද ඒ තාක් කල කළ යුතුය. මේ ගණන් කිරීම කළ යුත්තේ බැහැර අරමුණුවල දිවෙන විතර්‍කය නවත්වා සිහිය ආශ්වාස-ප්‍ර‍ශ්වාසරම්මණයෙහි ම පිහිටුවනු සඳහා ය. මෙසේ ගණන් කිරීම් වශයෙන් මෙනෙහි කොටැ ඉක්බිති අනුබන්‍ධන වශයෙන් මෙනෙහි කළ යුතු ය.

අනුබන්‍ධනය

අනුබන්‍ධන නම් ගණන් කිරීම නවත්වා සිහියෙන් නිතොර ආශ්වාස-ප්‍ර‍ශ්වාස අනු වැ යාම ය. ඒ අනුව වැ යාම ද ආශ්වාස-ප්‍ර‍ශ්වාසයන්ගේ ආදි-මධ්‍ය-අවශාන අනු වැ යාම් වශයෙන් නො කළ යුතු ය. පිටත නික්මෙන වාතයේ ආදිය නැබ ය. මධ්‍යය හෘදය ය. අවශානය නාසිකාව ය. ඇතුළුවන වාතයේ ආදිය නාසිකා අගය. මධ්‍යය හෘදය ය. අවශානය නැබය. ඒ අනු වැ ගියහොත් සිත වික්‍ෂේප වැ දරථ පිණිස ද චංචල පිණිස ද වේ.

කියන ලද මැ යි :- “අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරදධා ව හොන්ති, ඉඤ්ජිතා ච ඵන්‍දිතා ච. පස්සාසාදිමජ්ඣෙ පරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධා වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරද්ධා ච හොන්ති. ඉඤ්ජිතා ච ඵන්‍දිතා ච”[308] යි. එබැවින් අනුබන්‍ධනයෙන් මෙනෙහි කරන විට ආදි, මධ්‍ය, අවශාන වශයෙන් මෙනෙහි නො කළ යුතු. එසේ නම් කෙසේ මෙනෙහි කළ යුතු ද ඵුසන වශයෙන් ද ඨපන වශයෙන් ද මෙනෙහි කළ යුතු. ගණන වශයෙන් අනුබන්‍ධන වශයෙන් මෙනෙහි කරන්නා සේ ඵුසන වශයෙන් ඨපන වශයෙන් වෙන වෙන ම මෙනෙහි කිරීමෙක් නැති ආශ්වාස-ප්‍ර‍ශ්වාස ස්පර්‍ශ කළ තැන් ගණන් කරන විට ගණන වශයෙන් ද ඵූසන වශයෙන් ද මෙනෙහි කෙළේ වේ. එහි මැ ගණන් කිරීම් නවත්වා දමෘතියෙන් අනුබන්‍ධනය කරමින් අර්පණා වශයෙන් සිත ඨපනය කළ විට අනුබන්‍ධන වශයෙන් ද, ඵූපන වශයෙන් ද, ඨපන වශයෙන් ද, මෙනෙහි කෙළේ වෙයි. මේ අර්‍ථය පැහැදිලි කරනු සඳහා අටුවායෙහි පඞ්ගුල දොවාරික උපමා ද, පටිසම්භිදායෙහි කකවූපමාව ද දක්වන ලද්දේ ය." ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll