933. එකට එක්වෙන්නේ කොයි වගේ අය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පොඩි කාලේ ඉදන්ම හිතට වද දෙන ප්‍රශ්නයක් අහන්න කැමති. මම හොද යාලුවෙක් උනත් යාළුවෝ මොනා හරිම හේතුවක් නිසා තරහා වෙනවා. මම තනි වෙනවා හැම වෙලේම. කිසිම ගෞරවයක් මට ලැබෙන්න නෑ.
මාව ඇසුරු කරන්න (අපි හැමෝටම ජීවිතේ සම වයසේ යහලුවන් අවශ්‍යයි නේ) කැමැත්තක් නැති බව මටම තේරෙනවා...
සසර අකුසල් නිසා කියලා තේරෙනවා. මේ තත්ත්වය නැති කරන්න මොන වගේ දේවල්ද කරන්න පුළුවන්. මේ පවට හේතුවත් පැහැදිලි කළ හැකි ද? බුදුසරණයි!

A. “මහණෙනි, ධාතුවශයෙන් අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. එක් සිත් ඇති ව සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා එක් වෙත්. ඔවුනොවුන් භජනය කරත්. කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා එක් වෙත්. භජනය කරත්.

මහණෙනි, ඉකුත් කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වූහ. සමාගමයට පැමිණියහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇත්තවුන් හා ද එක් වූහ. සමාගමයට පැමිණියහ.

මහණෙනි, මතු කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වන්නාහ. සමාගමයට පැමිණෙන්නාහ.

මහණෙනි, මෙ කල්හි ද අදහස් වශයෙන් සත්ත්‍වයෝ සත්ත්‍වයන් හා එක් වෙත්. සමාගමයට පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් හා ද කලණ අදහස් ඇති සත්ත්‍වයෝ කලණ අදහස් ඇති සත්ත්‍වයන් හා ද එක් වෙත්. සමාගමයට පැමිණෙත්.”


“නවවන සූත්‍රයෙහි ධාතුසො යනු ධාතු වශයෙන්, ධාතු යනු අධ්‍යාශය ධාතු, අදහසේ ස්වභාවය අදහස් කරන ලදී. අධිමුත්ති යනුවෙන් ද කියනු ලැබේ. සංසන්‍දන්ති යනු ඒ ධාතු සමානතාවෙන් ධාතුව අනුව අදහස අනුව ඇලෙති, එක්වෙති. සමෙන්ති යනු ඒ සමාන අදහස් ඇති බැවින්ම එක්සිත්ව එකතු වෙති. ඔවුනොවුන් ඇසුරු කරති. ඔවුනොවුන් වෙත එළඹෙති. තමාගේ රුචිය, අදහස, ඉවසීම, දෘෂ්ටි හෝ ඒ ඒ තැනදී සම කරමින් පවත්වති. හීනාධිමුත්තිකා යනු මොවුන්ට හීන වූ කාමගුණ ආදිය කෙරෙහි අදහස් ඇත්තේය යනුවෙන් හීනාධිමුක්තිකයෝ හීන අදහස් ඇත්තෝ වෙති. කල්‍යාණාධිමුත්තිකා යනු මොවුන්ට යහපත් වූ නෙක්‍ඛම්ම ආදී අදහස් ඇත්තේය යනුවෙන් කල්‍යාණ අධිමුත්තිකයෝ, ප්‍රණීත අදහස් ඇත්තෝ වෙති.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll