664 - භෝග සම්පත් / පරිවාර සම්පත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මම පිංදහම් කරන්න හිතාගෙන ඉන්නකොට මම ඒක මගේ අම්මටයි තාත්තටයි හැර වෙන අයට කියන්නේ නැහැ වැඩේ ප්ලෑන් කරගන්නකන්...මට කලින් වෙන කෙනෙක් ඒ පිංකම කරයි,මට ඒකට තියෙන අවස්ථාව නැතිවෙයි කියලා බය හිතෙන නිසයි මම එහෙම කරන්නේ...ඒ සිතිවිල්ල නිසා මට පාපයක් සිදුවෙනවාද???අන් අය පිනෙන් වැලැක්වීමක් වෙනවද ඒ තුලින්????

A. “උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු තමන් තනියම දන් දෙති. අනුන් ඒ සඳහා සම්මාදන් කරනොගනිති. ඔහු උපනුපන් තැන්වලදී භොගසම්පත් ලබයි. පරිවාර සම්පත් නොලබයි. සමහරු තමන් දන් නොදෙයි. අනුන් ඒ සඳහා සම්මාදන් කරවයි. ඔහු උපනුපන් තැන්වල පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තව එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. ඔහු උපනුපන් තැන්වල භෝග හා පිරිවර සම්පතත් යන දෙකම නොලබයි. තවත් පුද්ගලයෙක් තමනුත් දන් දෙනගමන් අනුනුත් සම්මාදන් කරගනී. ඔහු උපනුපන් තැන්වලදී භෝගසම්පතත්, පරිවාරසම්පතත් යන දෙකම ලබයි.
(එක් නුවණැති පුද්ගලයෙක් ඒ ධර්මදේශනාව අසා අහෝ, එය අසිරිමත් කරුණකි. මම දැන් උභයසම්පත් ලබාදෙන ක්‍රියාවක් කරන්නෙමියි සිතා බුදුන් නැගිට යන වේලාවෙහි ස්වාමීනි, හෙට දිනයේ අපෙන් භික්‍ෂාව ගනු මැනවැයි ආරාධනා කෙළේය. උපාසකය ඔබට කෙතරම් භික්‍ෂූන් අවශ්‍යද? ස්වාමීනි, සිටින සියලුම භික්‍ෂූන්වහන්සේලා අවශ්‍යයි. බුදුරජාණන්වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ.
හෙතෙම ගමට ගොස් මෑණිවරුන, පියවරුනි, සහෝදරියනි, සහෝදරවරුනි, මම හෙට දානය පිණිස බුදුන් ප්‍ර‍මුඛ මහා සංඝයාට ආරාධනා කෙළෙමි. යමෙකුට යම් පමණ භික්‍ෂූන්ට දිය හැකිනම් එතෙක් භික්‍ෂූන්ට කැඳ ආදිය සඳහා අවශ්‍ය සහල් ආදිය දෙන්න. එක්තැනකදී උයා දෙන්නෙමු යයි උද්ඝෝෂණය කරමින් ගම වටා ඇවිදියි. ...”)
https://pitaka.lk/dhammapada/katha-100.html

A. “ඉක්බිති දිනක ආයුෂ්මත් සැරියුත් ස්ථවිරයන්වහන්සේ අනුමෝදනාවක් කරමින් උපාසකවරුනි, එක් පුද්ගලයෙක් තමන් දන් දෙයි. අනුන් ඊට සම්මාදන් කරනොගනියි. හෙතෙම උපනුපන් තන්හි හෝගසම්පත් ලබයි. පිරිවර සම්පත් නොලබයි. එකෙක් තමන් නොදෙයි. අනුන් සමාදන් කරවයි. හෙතෙම උපනුපන් තන්හි පිරිවර සම්පත් ලබයි. භෝග සම්පත් නොලබයි. එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. හෙතෙම උපනුපන් තන්හි කැඳ ටිකත් පවා නොලබයි. අනාථවූ ප්‍රත්‍යය නොලබන්නෙක් වෙයි. එකෙක් තමනුත් දන් දෙයි, අනුනුත් ඊට සමාදන් කරවයි. හෙතෙම උපනුපන් තැන්වල ආත්මභාව සියගණන් දහස්ගණන් ලක්ෂ ගණන්වලදී භවභෝග සම්පත් මෙම පරිවාර සම්පාද ලබන්නේයයි දහම් දෙසූහ.”
https://pitaka.lk/dhammapada/katha-7.html

A. “සත්පුරුෂ පින්වතුනි! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ
• තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.
• තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.
• තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.
• තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.”
https://pitaka.lk/books/karma-vipaka/8-1.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll