247. "පව් කරලා" ගන්න සල්ලි වලින් "පිං" කරොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පන්සිල් නොරැක අයතා ආකාරයෙන් මුදල් හම්බකොට එම මුදල් යහමින් වියදම් කර සිදුකරන අටමහ කුසල් ඝණයට වැටෙන පිං කටයුතු කිරීමෙන් ප්‍රථිපලයක් තිබේද ?
එමගින් එම පින්කමෙන් බාලාපොරෝත්තුවන ආනිසංස ලැබේද ?

A / R. "දක්ෂිණා විශුද්ධි සතර.
දක්ෂිණා යනු පින් සලකා මතු ඵල ලබනු සඳහා දෙන දානයට නමෙකි. දක්ෂිණා විශුද්ධි සතරය යනු ඒ දානය මහත්ඵල වීම නොවීම දැක්වෙන ක්‍ර‍ම සතරෙකි.   

(1) ප්‍ර‍තිග්‍රාහකයා නිසා නොව දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත්තේ ය. (2) දායකයාගේ යහපත් බව නිසා නොව ප්‍ර‍තිග්‍රාහකයාගේ යහපත් බව නිසා මහත් ඵල වන දානයක් ඇත්තේ ය. (3) දායක ප්‍ර‍තිග්‍රාහක දෙදෙනාගේ ම නිර්ගුණත්වය නිසා මහත්ඵල නො වන දානයක් ඇත්තේ ය. (4) දායක ප්‍ර‍තිග්‍රාහක දෙදෙනා ම ගුණවත්වීම නිසා ඉතා මහත් ඵල වන දානයක් ඇත්තේ ය.

(1)   සිල්වත් දායකයකු විසින් දුශ්ශීල ප්‍ර‍තිග්‍රාහකයකුට දෙන දානය දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වේ. වෙසතුරු රජතුමා හට නිර්ගුණ වූ ජූජකයාට දන් දී පොළොව පවා කම්පා කළ හැකි වූයේ ද ලොව්තුරු බුදු බව ලැබිය හැකි වූයේ ද දායකයා ගේ ගුණය නිසා දානය මහත් ඵල වන බැවිනි.

(2)   දුශ්ශීලයකු විසින් සිල්වතකුට දෙන්නා වූ දානය ප්‍ර‍තිග්‍රාහකයාගේ ගුණය නිසා මහත් ඵල වේ. කැලනි ගං මෝය අසල විසූ කෙවුලෙක් “දීඝසෝම” නම් වූ සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනකුට තෙවරක් පිණ්ඩපාතය දිණ. හේ මරණාසන්නයේ දී “දීඝසෝම තෙරුන් වහන්සේට දුන් දානය මා ගලවා ගන්නේය” යි කියා කාලක්‍රියා කොට දෙව් ලොව උපන්නේ ය.

(3)   දුශ්ශීලයකු විසින් දුශ්ශීලයකුට ම දෙන දානය මහත්ඵල නොවන දානය යි. වඩ්ඪමාන නම් ගම විසූ වැද්දෙක් ඥාති ප්‍රේතයකු උදෙසා දුසිල් මහණකට තෙවරක් ම දන් දිණ. ප්‍රේතයාට පින් නො ලැබිණ. තුන්වන වර දී “මගේ දානය දුශ්ශීලයෙක් පැහැර ගන්නේ ය” යි ප්‍රේතයා කෑ ගැසීය. පසුව සිල්වතකු සොයා දන් දී පින් දුන් කල්හි ප්‍රේතයාට පින් ලැබිණ.

(4)   සිල්වතකු විසින් සිල්වතකුට ම දෙන දානය උත්තම වේ. දෙපක්ෂය ම ශුද්ධ නිසා ගුණවත් නිසා ඒ දානය විශේෂයෙන් ම මහත්ඵල වේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll