01. වඳින්න ම ඕනෙ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. "බුද්ධප්‍ර‍තිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද?"

A. "මෙයට දිය යුතු කෙටි පිළිතුර නම් එ වැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය, කියා ය. අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාව - වැඳුම් පිදුම් කරවා ගැනීමේ ආශාව බුද්ධාදි මහෝත්තමයන් වහන්සේලාට නැත. අනුන් ලවා ගරුබුහුමන් වැඳුම් පිදුම් කරවා ගැනීමට උත්සාහ කරන්නේ කෙලෙස් සහිත වූ ලාමක අදහස් ඇති පුද්ගලයන් විසින් ය. සියලු කෙලෙසුන් නසා සිටින ආර්‍ය්‍යයන් වහන්සේලාට ඒ ලාමක අදහස් කොයින් ද? .... තමන් වහන්සේටත් වැඳුම් පිදුම් කරන්නට නියම නො කරන තථාගතයන් වහන්සේ උන් වහන්සේ ගේ පිළිරුව තනා එයට වැඳුම් පිදුම් කරන්නය’යි කෙසේ නම් නියම කරන සේක් ද? නො කරන සේක් ම ය. බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේට ගරු බුහුමන් පූජා සත්කාර කරන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් නො කරන නුමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් සැදැහැවතුන් කරන ගරු බුහුමන් පූජා සත්කාර පිළිගන්නා සේක. එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්තු ජීවමාන වූ ද, පිරිනිවියා වූ ද තථාගතයන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන්නාහ."

Q. "තථාගතයන් වහන්සේ විසින් උන් වහන්සේ ගේ තත්ත්වය දක්වා වදාරන සූත්‍ර‍යක දී ‘අප්පටිමො’ යනුවෙන් උන්වහන්සේට ප්‍ර‍තිමාවක් නැති බව වදාරා තිබෙන බැවින් දැනට විහාරවල තබා ඇති රූප බුද්ධ රූප සැටියට පිළිගැනීම සුදුසු ද?"

අප්පටි පුග්ගල සූත්‍රය - ‘‘එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො’’ති.

A. "අප්පටිමො යනුවෙන් වදාරා තිබෙන්නේ සර්වාකාරයෙන් තථාගතයන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් නැති බව සඳහා ය. තථාගතයන් වහන්සේ ගේ උස මැනගැනීමට උත්සාහ කළ බමුණාට එයත් කරගත නො හැකි විය. උසවත් මැන ගත නො හෙන තථාගතයන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් කිනම් ශිල්පියකුට කළ හැකි වේද? නො හැකි ම ය. දැනට ඇත්තා වූ බුද්ධ ප්‍ර‍තිමා එකකුදු බුදුන් වහන්සේ ගේ රූපයට සමාන නැත. ඒ බුද්ධ ප්‍ර‍තිමා ද එකිනෙකට සමාන නැත. එහෙත් ඒවායේ එක්තරා සමාන කමක් ද ඇත්තේ ය. ඒ හැම රූපයක් ම බුදු රුවක් ලෙස හැඳින ගත හැකි වන්නේ ඒවායේ ඇති එක්තරා සමානකමක් නිසා ය.

බුදුන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් පමණක් නොව ප්‍ර‍තිමා ශිල්පියා නො දුටු අතීතයේ විසූ කවරෙකු ගේ රූපයක් වුවත් ඒ පුද්ගලයාට සමාන වන ලෙස නො තැනිය හැකි ය. ප්‍ර‍තිමා තැනීමේ දී අදහස් කරන්නේ සමාන රූපයක් තැනීම නොව යම්කිසි පුද්ගලයකු හෝ යම්කිසි සිදුවීමක් හෝ රූපවල උපකාරයෙන් අනුන් ගේ සිත්වලට මතු කර දීම ය. වචන සිය ගණනක් ඇසීමෙන් හෝ සිතීමෙන් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඇතිවන හැඟීමට වඩා හොඳ හැඟීමක් බුදු රුවක් දුටු කෙණෙහි ම ඇති වේ. ප්‍ර‍තිමා ශිල්පියා ගේ දක්‍ෂ භාවයේ ප්‍ර‍මාණයට, දක්නවුන්හට වඩ වඩා හොඳ හැඟීමක් ඇතිවන පරිදි ප්‍ර‍තිමාව තැනීම කළ හැකි ය. බුද්ධ ප්‍ර‍තිමාවකින් ඇති ප්‍රයෝජනය එය බලා බුදුන් වහන්සේ පිළිබඳ හැඟීම ඇති කර ගැනීම ය. බුදුන් වහන්සේ ගේ රූපය තමාගේ සිතට නගා ගැනීම ය. නුවණැතියන් වැඳුම් පිදුම් කරනු පිණිස බුද්ධ ප්‍ර‍තිමා ඇති තැන්වලට යන්නේ රූපය දක්නා කල්හි තමන්ගේ සිතට බුදුන් වහන්සේ පිළිබඳ වඩා හොඳ හැඟීමක් ඇතිවන බැවිනි."

"අප්‌පටිමොති පටිමා වුච්‌චති අත්‌තභාවො, තස්‌ස අත්‌තභාවසදිසා අඤ්‌ඤා පටිමා නත්‌ථීති අප්‌පටිමො. යාපි ච මනුස්‌සා සුවණ්‌ණරජතාදිමයා පටිමා කරොන්‌ති, තාසු වාලග්‌ගමත්‌තම්‌පි ඔකාසං තථාගතස්‌ස අත්‌තභාවසදිසං කාතුං සමත්‌ථො නාම නත්‌ථීති සබ්‌බථාපි අප්‌පටිමො."

Q. "උද්දේසිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේය."

‘‘ආනන්‌ද, සාරීරිකං න සක්‌කා කාතුං. තඤ්‌හි බුද්‌ධානං පරිනිබ්‌බානකාලෙ හොති, උද්‌දිස්‌සකං අවත්‌ථුකං මමායනමත්‌තමෙව හොති, බුද්‌ධෙහි පරිභුත්‌තො මහාබොධිරුක්‌ඛො බුද්‌ධෙසු ධරන්‌තෙසුපි චෙතියමෙවා’’ති.

A. "බුද්ධ ප්‍ර‍තිමාවලට වැඳුම් පිදුම් කිරීම පිළිබඳ මතභේදයක් පැන නැඟ ඇත්තේ මේ පාඨය නිසා ය."

"මෙබඳු පාඨවල අර්ථය උඩින් පෙනෙන සැටියට ගතහොත් නියම අර්ථය අසු නො වන්නේ ය. ඒ පාඨයේ අර්ථය වරදවා තේරුම් ගත් ඇතැම්හු උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වේය, බුදුගුණ සිහි කිරීම් මාත්‍ර‍ය ම උද්දේශික චෛත්‍යය” යි කියති. එසේ අර්ථය ගැනීම ඒ දේශනාවේ නිදානයට කොහෙත් ම නො ගැලපේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් චෛත්‍ය ගැන විචාළේ ජේතවනාරාමයට පැමිණෙන ජනයා විසින් වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් ඇති කරනු සඳහා ය. වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තූන් අසන කල්හි එයට පිළිතුරු දෙන තැනැත්තා එයට වස්තු නො වන්නක් කියා නම් එය “යන්නේ කොහි දැයි අසන්නා හට මල්ලේ පොල්ය” කීම වැනි කාරණයට නො ගැලපෙන හිස් කථාවක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ එබඳු හිස් කථා නො කියන්නාහ.

"තත්‌ථ චයිතබ්‌බන්‌ති චෙතියං, පූජෙතබ්‌බන්‌ති වුත්‌තං හොති, චිතත්‌තා වා චෙතියං. තං පනෙතං චෙතියං තිවිධං හොති පරිභොගචෙතියං, උද්‌දිස්‌සකචෙතියං, ධාතුකචෙතියන්‌ති. තත්‌ථ බොධිරුක්‌ඛො පරිභොගචෙතියං, බුද්‌ධපටිමා උද්‌දිස්‌සකචෙතියං, ධාතුගබ්‌භථූපා සධාතුකා ධාතුකචෙතියං. සඞ්‌ඝොති බුද්‌ධප්‌පමුඛාදීසු යො කොචි. පුග්‌ගලොති ගහට්‌ඨපබ්‌බජිතෙසු යො කොචි. නත්‌ථි අස්‌ස තිථි, යම්‌හි වා තම්‌හි දිවසෙ ආගච්‌ඡතීති අතිථි. තඞ්‌ඛණෙ ආගතපාහුනකස්‌සෙතං අධිවචනං. සෙසං වුත්‌තනයමෙව."

"බුද්‌ධපටිමා උද්‌දිස්‌සකචෙතියං යන මේ පාඨයෙන් බුදු පිළිමය උද්දේශික චෛත්‍යය බව නිරවුල් ලෙස ම දැක්වේ."

"උද්‌දිස්‌සකං අවත්‌ථුකං යනුවෙන් කියැවෙන්නේ; උද්දේශිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැති බව ය. උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වන බව දැක්වීමට නම් කිය යුත්තේ “උද්‌දිස්‌සකං අවත්‌ථුකං” කියා නොව “උද්‌දිස්‌සකං අවත්ථු” කියා ය. ශරීරයේ කොටසක් වීමෙන් ශාරීරික චෛත්‍යය වේ. පරිභෝග කළ වස්තුවක් වීමෙන් පාරිභෝගික චෛත්‍යය වේ. මේ බුදුන් වහන්සේ ගේ රූපය යනාදීන් සලකා සිතින් ආදරය කරනු ලැබීමෙන් උද්දේශික චෛත්‍යය වේ. “මමායන මත්තමෙව” යන පාඨයෙන් දැක්වෙන්නේ ඒ බව ය. මමායන මාත්‍ර‍ය ම චෛත්‍යය යි ගතහොත් එය විහිළුවකි. එයින් වන්නේ මහ අවුලෙකි. මමායනය ම චෛත්‍යයක් වශයෙන් ගතහොත් උද්දේශික චෛත්‍යය කියා වැඳුම් පිදුම් කරන්නට සිදුවන්නේ තමා ගේ සිතට ය. එය කළ හැකි වැඩක් ද?

පිරිනිවන් පා වදාළ බුදුන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි ය. එසේ කළ කල්හි බුදුන් වහන්සේට පූජා කළේ වන්නේ ය. චෛත්‍යයක් නො ලබන කල්හි කොතැනක හෝ බුදුන් උදෙසා පූජා පැවැත්වීම සුදුසු ය. සැදැහැයෙන් පිදුවහොත් බුදුන් උදෙසා කොතැනක පිදුවත් පින් සිදු වේ."

Q. බුද්ධප්‍ර‍තිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම නොකළේ නම්, ඒවාට වැඳුම් පිඳුම් කිරීමෙන් කෙසේනම් පින් රැස් වේ ද?

"යො ධම්මං පස්සති සො මං පස්සති " යමෙක් මාගේ ධර්මය දකී ද ඔවුහු බුදුන් දකිත්. යමෙක් මැටි, ගඩොල්, කොන්ක්‍රීට් බදාමවලට බුදුන් යයි ප්‍රකාශ කරයි නම් තථාගතයන් වහන්සේට කරන විශාල අපහාසයකි. ...

A. “ථතාගතයන් වහන්සේ පිළිම වන්දනාව අනුමත නොකළේ ද නැත” යන්න ඔබ නොසිතන්නේ ඇයි? උතුමනට පිළිම තනා පුද පූජා කිරීම ලොව කවදත් පවතින දහමකි. එය අමුතුවෙන් දේශනා කිරීම තථාගත කෘත්‍ය නොවේ.

ඒ හැරත්, “අවත්ථුකං” යනු තිවිධ චෛත්‍යය, අනෙක් චෛත්‍යය දෙකෙන්ම වෙන් කොට දැක්වීමට, උද්දේසික චෛත්‍යය සඳහා යෙදූ පදයක් මිස, ඉන් අද්‍රව්‍යාත්මක හැඟීමක් ජනිත නොවේ. අනෙක් අතට ද්‍රව්‍යක් මුල් වුවත් නැති වුවත්, වැදුම්-පිදුම් කරන කුසල චිත්ත-චෛතසිකයෝ යෙදෙන්නේ සිතේම බැවින්, ඒවා (චිත්ත-චෛතසිකයෝ) නම් අද්‍රව්‍යයෝමය.

ඔබට ඔබේ ම පින්තූරයක් / වීඩියෝවක් හෝ ප්‍රතිමාවක් දුටු විට, මේ “මම” නේද? හෝ ඒවා (“මම”) ගැන සිතුවිලි පහළ නොවනේද? කාම / ද්වේෂ ආදී දර්ශනයක් දුටු විට කාම/ද්වේෂ ආදී සිතුවිලි පහළ නොවනේද? ඒවා ගල්, ගඩොලින් හෝ කුමක් පදනම් කරගෙන නිමවා තිබ්බත් සිතුවිලි පහළ වීමට රූපාරම්ණයක් නොවන්නේද?

එමෙන්ම, බුදු රුව හෝ පිළිම දැකීම තුළින්ද, ඒවා බුදු රජුගේ රුව හෝ ගුණ සිහි කරවන ආරම්මණ (ආරම්මණ ප්‍රත්‍ය) බැවින්, ඒ සමඟ ඇතිවන කුසල් (චිත්ත-චෛතසික) සිත් වැල් කිසිවෙකුට නැවත් විය නොහැක්කේමය.

බුදුන් වහන්සේ (හෝ උන්වහන්සේගේ ගුණ මේ) යැයි සිතා වැදුම්-පිදුම් කරන යම් වස්තුවක් වේද, කවරෙක්, එය කුමකින් නිර්මාණය කර තිබුණද, එයට අදාළ කුසල් සිත් පහළ වන්නේමය. එකී කුසල චිත්ත-චෛතසිකයෝ දෙලොව වැඩ පිණිස පවතිණු ඒකාන්තය.

උන්වහන්සේ (හෝ උන්වහන්සේගේ ගුණමේ) යැයි නොසිතා ජීවමාන බුදුන්ට වුවද පුද පූජා කිරීමෙන්, එතරම් කුසල්සිත් පහළ නොවන්නේමය.

“යො ධම්මං පස්සති, සොමං පස්සති” යනු “ප්‍රතිපත්ති පූජාවය”. වන්දනා මාන කිරීම “ආමිස පූජාවය. දෙකෙන්ම කුසල් සිදුවන්නේමය. “ප්‍රතිපත්ති පූජාව” තුළින් නිවන් සාක්ෂාත් වන බැවින්, උන්වහන්සේ එය මුල් තැන්හිම ලා උසස් කොට දේශනා කොට, අගය කළ බව නම් සැබෑය. එහෙත් මේ දෙකෙහි අන්‍යෝන්‍ය උපකාරයක් ද පවතින්නේය.

“අසමසම” බැවින් ථතාගතයන් වහන්සේට සමාන වන්නේ තථාගතයන් වහන්සේ කෙනෙකුම බව හා තථාගත කෘත්‍ය අන් කිසිවෙකුට කළ නොහැකි බවත් නම් සැබෑය. එහෙත්, බුද්ධ රත්නය ම පමණක් නොව ධම්ම රත්නය හා සංඝ රත්නය ද උන්වහනේසේ විසින්ම ත්‍රිවිධ රත්නය ලෙසින් වදාළේ මන්දැයි නැවත නැවත සිතා බලන්න.

A. පහත ඇති උපුටා දැක්වීම පෞද්ගලිකව ඔබට ගැසූ අතුල් පහරක් ලෙස ආත්මීයව නොගන්න. එය රේරුකානේ චන්දවිමල මහානායක හිමිගේ “අභිධර්ම මාර්ගය” කෘතියෙහි උපුටනයකි.

"පින්ය කියා දෙයක් ඇති බවත්, පව්ය කියා දෙයක් ඇති බවත්, ඒ පින් පව්වල ඇති බලයත්, පින් පව්වලින් සත්ත්වයන්ට සැප දුක් දෙන සැටිත් හරියට තේරුම් ගත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.

පින් මේවා ය, පව් මේවා ය කියා හරියට දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.

අප සමීපයෙහිත් අපට බොහෝ දුරිනුත් අපේ ඇස් වලින් දැකිය නො හෙන නොයෙක් රූ සටහන් ඇති නොයෙක් ආකාර සැප දුක් ඇති දිව්‍ය බ්‍ර‍හ්මාදි නොයෙක් ජාතිවලට අයත් බොහෝ සත්ත්වයන් ඇති බව දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.

නිවන කුමක් ද? නිවන් මග කුමක් ද? කියා හරියට තේරුම් ගත හැකි වන්නේ ද අභිධර්මය උගෙනීමෙනි.

මතු ඉපදීමක් ඇති බව නො පිළිගන්නේ, කර්මානුරූප ව සත්ත්වයන් සුව දුක් ලබන බව නො පිළිගන්නේ, අපායවල් ඇති බව දෙවි බඹුන් ඇති බව නො පිළිගන්නේ මේ ධර්මය නො දන්නා බැවිනි.

බුදු පිළිමවලට වඳින්න ඕනෑ නැත, අජීවමාන බුදුනට මල් පහන් ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදි මිථ්‍යා අදහස් ඇති වන්නේ ද මේ ධර්මය නො දන්නා නිසා ය.

බෞද්ධයකු වුව ද මේ ධර්මය තරමක් දුරටවත් නො දත් තැනැත්තා අන්ධ පෘථග්ජනයෙකි. ඔහුට බණක් අසා හෝ බණ පොතක් කියවා හෝ හොඳින් තේරුම් ගත නො හැකිය. කියන බණක් හොඳින් තේරුම් ගත හැකි වීමටත්, බණ පොතක් කියවා හොඳින් තේරුම් ගත හැකි වීමටත් තරමක් දුරටවත් අභිධර්මය උගෙන තිබිය යුතු ය."

මට ද ඔබට විපක්ෂව බොහෝ කරුණු ගෙනහැර දැක්විය හැකියි. එහෙත්, හුදෙක් විවාදාපන්න වීම ඵල රහිතය. ඔබ මුලින්ම “අභිධර්මය” මැනවින් හදාරන්න; එවිට ඔබට මෙලොව ඇති සෑම ගැටළුවක්ම පාහේ නිරවුල් වනු අත. ඒ සඳහා පහත එම පොත ද මහෝපකාරී වනු නොඅනුමානය.


දැන් ඔබ “අභිධර්මය සම්බුද්ධ භාෂිතයක් නොවේ (අබුද්ධ දේශිතයක්)” යැයි නොකියන්න. (ඒ සඳහා ද) එසේම වාද විවාද සඳහා ම පමණක්ම ධර්මය ගෙන හැර දැක්වීම (“අලගද්ද පරියාප්තිය” / අලගද්ද පරියත්ති) ගැන දැන ගැනීමට ද පහත (සිංහල) වීඩියෝවට මැනවින් සවන් දෙන්න.


තෙරුවන් සරණයි!

Q. ඔබ ප්‍රශ්නයෙන් පිට පැන්නා නේද? කරුණු කෙසේවෙතත් අපේ සාකච්ඡාවට භාජනය වූයේ බුදුන්වහන්සේ ප්‍රතිමාකරණය අනුමත කළේ ද? යන්නයි.

A. ප්‍රශ්නයෙන් කිසිදු පිට පැනීමක් නැත. ඔබට මුල මැද අග අමතක වී පටලවාගෙන ඇති හැඩය. ඔබ දැන් අහන පැනය නගා ඊට පිළිතුරු ලබා දීම Path Nirvana විසින් මුලින්ම සිදුකොට ඇත. ඔබේ පැන වූයේ,

1. අප්පටිමෝ-ප්‍රතිමා නැත.

2. අවත්ථුකං-වස්තුවක් හෝ ද්‍රව්‍යක් නැත.

3. බුද්ධ ප්‍රතිමා වහන්සේලාට වන්දනා මාන කිරීමෙන් ප්‍රතිඵල නොලැබේ ... යනාදියයි.

ඒ සෑම ප්‍රශ්නයකටම අප විසින් “ත්‍රිපිටක ධර්මයට අනුකූලවම” පිළිතුරු සපයා ඇත. මුල සිට නැවත කියවා බලන්න. 

(එසේම සංඝ රත්නය විසින් ද “පිරිසිදු ත්‍රිපිටක ධර්මයම දරාගෙන සිටින බව” තරයේ මතක තබා ගන්න.)

Q. අභිධර්ම පිටකය මා ද පිළිගනී, ත්‍රිපිටක ධර්මානුකූලව පිළිතුරු ලබා දිය හැකි ද?

A. ඔබ විසින් (අභිධර්ම පිටකය ද ඇතුළුව) ත්‍රිපිටකයම පිළිගැනීම සතුටට කාරණයකි. මා විසින් ද සෑම විටම පිළිතුරු ලබා දෙන්නේ ත්‍රිපිටක ධර්මයට අනුකූලවමය. සෑම විටම මූලාශ්‍ර සඳහන් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි. මාගේ පිළිතුරු ත්‍රිපිටක ධර්මයේ බහා බලා, ධර්මය හා විනය හා සැසදෙන්නේ නම් පමණක් පිළිගන්න, නැති නම් ප්‍රතික්ෂේප කරන්න. ත්‍රිපිටක ධර්මයටම අදාළවන බැවින්, ඔබ විසින් “අභිධර්ම පිටකය” ද යම්තාක් දුරට හෝ අධ්‍යනය කොට ප්‍රශ්න/වාද/විවාද නගන්නේ නම් අපට ඉමහත් පහසුවක් ඇති වේ. මන්ද එමඟින් බොහෝ කරුණු ඉතා පහසුවෙන් පැහැදිළි කර දිය හැකි බැවිණි ද අභිධර්ම කාරණා සිත්හි දරාගන, සරලව පැහැදිළි කිරීම් සිදුකිරීමට මා විසින් උත්සහ කර/කරනු ඇතත්, අභිධර්මය නොදත් අයෙක් කරුණු කාරණා පටලවා ගන්නා බැවිනුත්, එවැන්නෙකුට ගැඹුරු කරුණු කාරණා වටහා දීම දුෂ්කර බැවිනුත්ය.

එබැවින්, මා විසින් ඉතා සැලකිල්ලෙන් හා බරකොට යෝජනා කරනු ලබනේ, සියල්ලට ප්‍රථමයෙන්, බුදුන් වහන්සේගේ 84,000ක් වූ ධර්මස්කන්ධ අතුරින් හරි අඩක්ම (42,000ක් ම) ගැබ්ව ඇති “අභිධර්ම පිටකය” ඔබත් යම්තාක් දුරට හෝ අධ්‍යනය කරන ලෙසටය. තෙරුවන් සරණයි!

Q. "OK no problem I am off I have to follow the Buddha way not anybody else Buddha is the great than others for me and I know path to Nibbana gave the right answer. Anyway may the triple gem bless all of you."

A. If there is any question, ALWAYS feel free to ask; You will be answered cording to the Tripitaka accordingly. May The Noble Triple Gem bless U !!!

# උපුටා ගැනීම් හා වැඩිදුර කියවන්න - "ධර්ම විනිශ්චය" - අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ.

A. "Thathagatha Sambudu Warayanan wahase kenekuge seela, samadhi, pragna, wimukthi, wimukthi gnana darshanaadiya menma, unwahansege asamasama charana, noyek hakiya prathiyarya ha anantha guna samudaya menma, Dethismaha purusha lakshaneyen, asuwak anu byanjanayen, kethumaalawenda asirimitha sri wibhuthiyenda hebi, warnana wishyaathikraanth sri dhehaya pilibimbu wana paridi kisidu prathimawak nirmanaya kala noheki bawin “APPATIMO - Saadrushya Prathima Netha”.

Eheth, Unwahansehe rUpakAya haa DharmakAya sihiwena paridden sekasu Triwidha Chaithya atharin ekak wu “Uddesika Chaithya”yak wu Pilima Wahanse (Arahan gunayata pamanak ho) wandana mana kirimen ho sihi kireemen pawa, shraddhaadi kusal chaithasika sahitha boho maha kusal sith pahalakara ganeemen delowa sugathiya/sepa NIWAN salasa gatha heka."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll