895. විපාක ස්කන්ධ / විපාක නාම රූප මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. විපාක ස්කන්ධ / විපාක නාම රූප පැහැදිලි කර දෙන්න.


A. "ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයන්ට ද ප්‍ර‍ත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අට තිසය යන ප්‍ර‍වෘත්ති ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයෝ විපාක ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන විපාක සිත් සතිස ය, චෛතසික අටතිසය යන නාමස්කන්ධයෝ ය, ඒ නාමස්කන්ධයන් විසින් සුදුසු පරිදි උපදවන විඥප්ති රූප වර්ජිත චිත්තජ රූපයෝය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝය යන මොහු විපාක ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්මයෝ ය."


A. “සංස්කාරයන් හේතු කොට විඤ්ඤාණය වේ.

ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයන් හේතු කොට ඇති වන විඤ්ඤාණය ය. ලෝකෝත්තර විපාක මෙහි නො ගනු ලැබේ. ලෞකික විපාක ද, ප්‍ර‍තිසන්ධි විපාක - ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් දෙ කොටසකි. සංස්කාරයන් අතුරෙන් උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාකයන්ට ප්‍ර‍ත්‍යය නො වේ. අභිඥා චේතනාව එක ම විපාක විඤ්ඤාණයකට ද ප්‍ර‍ත්‍යය නො වේ. උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාක නො දෙන බව පස්වන පරිච්ඡේදයේ කියා ඇත. අභිඥා චේතනාව ඔබට දත හැකි වන්නේ කර්මස්ථාන කාණ්ඩයෙන් ය.

සංස්කාරයන් හේතු කොට විපාක විඤ්ඤාණයන් ඇති වීම ගැඹුරු කරුණෙකි. කර්මයක් නැතිව මේ විපාක විඤ්ඤාණයන් ඇති වන්නේ නම්, හැම විපාක විඤ්ඤාණයක් ම සැම දෙනාට ම ඇති විය යුතු ය. ඒ ඒ කර්ම කළවුන්ට මිස, අන්‍යයන්ට ඒ ඒ කර්මයන් සම්බන්ධ විපාක විඤ්ඤාණ ඇති නො වේ. කර්මයක් නැතහොත් විපාක විඤ්ඤාණයක් ඇති නො වන බව එයින් තේරුම් ගත යුතු ය. කර්මය ඇති කල්හි ම විපාක විඤ්ඤාණයන් ඇති වන බැවින් කර්මය විපාක විඤ්ඤාණයන්ට ප්‍ර‍ත්‍යය වන බව දත හැකි ය.

විඤ්ඤාණ පච්චයා නාමරූපං

විඤ්ඤාණය හේතු කොට නාමරූපය වේ.

විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමයෝ නම් ඒ ඒ විඤ්ඤාණයන් හා බැඳී උපදනා චෛතසිකයෝ ය. චෛතසික දෙපනස ය, කර්මාදි ප්‍ර‍ත්‍යය සතරෙන් හට ගත් නාම රූපයෝ ය යන මේවා විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා නාමරූපයෝ ය. ඒ ඒ විඤ්ඤාණයන් නිසා හට ගත හැකි නාම-රූප වෙන් වශයෙන් ඉහත පරිච්ඡේදවලදී කියවුණු කරුණු අනුව තේරුම් ගත යුතු ය.

සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන්නේ විපාක විඤ්ඤාණයන් පමණෙකි. කුශලාකුශල ක්‍රියා විඥානයෝ ද නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වෙති. එබැවින් සංස්කාර ප්‍ර‍ත්‍යයෙන් ඇති වන විඥානය විපාක විඥානය වශයෙන් ද, නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වන විඥානය, විපාක අවිපාක විඤ්ඤාණ සියල්ල ම බව ද දත යුතු ය.

ප්‍ර‍තිසන්ධි විඥානය ප්‍ර‍ත්‍යය වන්නේ නාමයන්ට හා කර්මජ රූපයන්ට පමණෙකි. ප්‍ර‍වෘත්ති විඥානය නාමයන්ට හා සියලු ම රූපයන්ට ප්‍ර‍ත්‍යය වේ.

විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප හට ගැනීම භව අනුව තේරුම් ගත යුතු ය. කාම-රූප භව දෙක්හි විඥාන ප්‍ර‍ත්‍යයෙන් නාම-රූප දෙක ම ඇති වේ. අරූප භවයෙහි විඥාන ප්‍ර‍ත්‍යයෙන් හටගන්නේ නාම පමණෙකි. අසංඥ භවයෙහි විඥාන නැත්තේ ය. එහි අතීත භවයට අයත් කර්ම විඥානයේ බලයෙන් රූප පමණක් ඇති වේ.

විඥානය පහළ නුවුවහොත් නාම රූපයන්ගේ පහළ වීමක් නෙ ාව්නනේ ය. එයින් නාම-රූපයන්ගේ පහළ වීම විඤ්ඤාණය නිසා වන්නක් බව දත හැකි ය. ගින්න හටගන්නා කල්හි එයින් ආලෝකය ඇතිවන්නාක් මෙන් විඤ්ඤාණය හටගන්නා කල්හි එයින් නාම රූප ද ඇති වීම දත යුතු ය.

නාමරූප පච්චයා සළායතනං

නාමරූප හේතු කොට ෂඩායතනය වේ.

ආයතන දොළොසක් ඇති බව ඉහත කියා ඇත. ඒ ආයතන දොළොසින් මෙහි ගැනෙන්නේ චක්ඛායතන - සෝතායතන - ඝානායතන - ජිව්හායතන - කායායතන - මනායතන යන මේ ආයතන සය ය.

නාම යන වචනයෙන් චිත්තය - චෛතසිකය - නිර්වාණය යන පරමාර්ථ ධර්ම තුන ම කියැවේ. මෙහි නාම යනුවෙන් ගැනෙන්නේ චෛතසික දෙපනස ය. රූප යනුවෙන් ගැනෙන්නේ එක් එක් සන්තානයකට අයත් මහාභූත සතර ය-වස්තුරූප හය ය-ජීවිතින්ද්‍රිය රූපය ය යන මේ එකොළොස ය. සමහර පොතක ආහාර රූපයත් සමග රූප දොළොසක් ගෙන තිබේ.

නාම රූප ප්‍ර‍ත්‍යයෙන් ෂඩායතන ඇති වීමත් විභාග කොට දත යුත්තකි. අරූප භූමියෙහි රූප නැති බැවින් නාමය පමණක් ප්‍ර‍ත්‍යය වීමෙන් එහි මනායතනය පමණක් ැති වේ. කාම භූමියෙහි නාම - රූප දෙක ම ප්‍ර‍ත්‍යය වීමෙන් ආයතන සය ම පහළ වේ. රූප භූමියෙහි නාම - රූප දෙක ම ප්‍ර‍ත්‍යය වී චක්ඛායතන - සෝතායතන - මනායතන යන ආයතන තුන පහළ වේ. අසඥ භූමියෙහි මේ ආයතන සයෙන් එකකුදු පහළ නො වේ. ෂඩායතනයට ම අයත් වන චක්ෂුරාදි වස්තුරූප පස, මෙහි ප්‍ර‍ත්‍යය කොට්ඨාසයට ගැනෙන්නේ, වස්තු රූප නිසා මනායතනය පහළ වන බැවිනි. ෂඩායතනයන් පහළ වීම නාම රූපයන්ගේ දියුණුව ම ය. කුඩා ඇට්ටි ගෙඩියෙහි කටුවක් ද, මදයක් ද, වතුර ද නැත. එය වැඩෙන කල්හි ඒවා ඇති වේ. නාම රූපයන්ගේ ෂඩායතන ඇති වීමත් එමෙන් දත යුතු ය.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll