888. තිලකුණ (ත්‍රිලක්ෂණය) ගැන දත්-දේ ද නො-දත් දේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "ත්‍රිලක්‍ෂණය" ගැන ගැඹුරු ම ඇත්ත කුමක් ද?

A. # "නාම රූප ධර්ම සමූහය කියැවෙන සංස්කාර යන වචනයේ තේරුම හේතුවෙන් හට ගන්නා දෙය ය යනුයි.

.... පඨවි - ආපෝ - තේජෝ - වායෝ - චිත්ත - එස්ස - වේදනාදි වශයෙන් සංස්කාරයන්ට අයත් ධර්ම බොහෝ ගණනෙකි. ඒ සියල්ලට ම ඒවා හැඳින ගැනීමට උපකාර වන ලක්ෂණ (ලකුණු) ද වෙන් වෙන් වශයෙන් ඇත්තේය. වෙනසක් නැතිව ඒ සියල්ලට ම සාධාරණ වූ ලක්ෂණ තුනෙක් ද ඇත්තේය. ත්‍රි ලක්ෂණය යි කියනුයේ සර්ව සංස්කාරයනට ම අයත් වූ ඒ ලක්ෂණ තුනටය. එනම් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන මේ තුනය. අනිත්‍ය ලක්ෂණය ඇති බැවින් සංස්කාරයෝ අනිත්‍ය නම් වෙති. දුඃඛ ලක්ෂණය ඇති බැවින් දුඃඛ නම් වෙති. අනාත්ම ලක්ෂණය ඇති බැවින් අනාත්ම නම් වෙති. අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යය, දුඃඛ ලක්ෂණය, දුඃඛය, අනාත්ම ලක්ෂණය, අනාත්මය යන මේ කරුණු සය වෙන් වශයෙන් තේරුම් ගත යුතුය. ලක්ෂණ හා ලක්ෂණ ඇති ධර්මය, එකක් කොට ගෙන අවුල් නො කර ගත යුතුයි."

"වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේ ම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන් ගෙන් ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය.

සංස්කාරයන් ගේ ඒ වහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය. සංස්කාරයන්ගේ බිඳෙන බව ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය යි. දිරන බව, කෘෂවන බව, ඉදිමෙන බව, මෝරන බව, වියළෙන බව, සිදුරුවන බව, පැලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවන බව, දියවන බව, පිළුණු වන බව, කුණු වන බව, ඇඟ රැලි වැටෙන බව, කුදු ගැසෙන බව, අත් පා දරදඩුවන බව, වක්වන බව, කෙස් ලොම් පැසෙන බව, අන්ධ වන බව, බිහිරි වන බව, තවත් නොයෙක් රෝග හට ගන්නා බව, මැරෙන බව යන මේවා සංස්කාරයන්ගේ භංගය වූ ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය නිසා පෙනෙන (අප්‍රධාන) අනිත්‍ය ලක්ෂණයෝය."

# "ඉපැදීම් බිඳීම් දෙකින් නිරතුරුව ම පීඩා කරන බව ද, බිය විය යුතු බව ද, බිය ගෙන දෙන බව ද, දුඃඛයනට උත්පත්තිස්ථාන වන බව ද සංස්කාරයන් ගේ දුඃඛ ලක්ෂණයයි. දුඃඛ ලක්ෂණයෙන් යුක්ත සංස්කාරයෝ දුඃඛයෝ ය. මහ වැසි වසින කලෙක විලෙක නැඟෙන දිය බුබුළු බිඳී බිඳී යන්නාක් මෙන් ද, රත් වූ කබලෙක අබ පුපුරන්නාක් මෙන් ද, මේ ශරීරයෙහි කෝටි ගණන් රූප කලාපයේ නිරන්තරයෙන් ම බිඳි බිඳී යති. තමන් ඇලුම් කරන්නා වූ ඒ රූපයන් බිඳි බිදී යෑම සත්ත්වයා හට දුකෙකි.

ආත්ම භාවය පැවැත්වීමට නම් බිඳෙන රූපයන් වෙනුවට නැවත නැවතත් අලුත් රූප උපදවා ගත යුතුය. එ බැවින් සත්ත්වයා විසින් තමන්ගේ සන්තානයෙන් බිඳී ගිය නොයෙක් වර්ග වලට අයත් රූපයන් නැවත උපදවා ගනු පිණිස නොයෙක් ආකාර ආහාර පාන ශරීරයට ඇතුළු කළ යුතු ය. ආහාර පානයෙන් පමණක් නො පිරිමැසෙන අවස්ථා පැමිණි කල්හි බෙහෙත් සැපයිය යුතුය. ශීතල අධික වුවහොත් උණුසුම් කළ යුතුය. උෂ්ණය අධික වුවහොත් සිසිල් කළ යුතුය. අභිනව රූපයන් උපදවා ශරීරය පවත්වනු පිණිස මෙබඳු දහසක් වැඩකොට වෙහෙසිය යුතුය. දුක් ගත යුතුය. එසේ නො කළ හොත් රූපයෝ ද නූපදිති. ආත්ම භාවය ද නො පවතී. රූපයන් උපදවා ගනු පිණිස විඳින්නට වන්නා වූ ඒ දහසක් දුක්, උපන් රූපයෝ නිත්‍ය වෙත් නම් විඳින්නට නො වන්නේය. ඉබේ ම රූපයෝ උපදනාහු හෝ වෙත්නම් විඳින්නට නො වන්නේය. ඒ දෙක ම නො වන බැවින් රූපයට ඇලුම් කරන රූපය පිහිට කොට ගෙන වෙසෙන, තැනැත්තා විසින් සෑම කල්හි ම ඒ දුක් විඳිය යුතු ය. මෙසේ උපදවා ගනු පිණිස දුක් විඳින්නට සිදු කිරීම, ඉපැදීම් වශයෙන් රූපයෙන් සත්ත්වයා හට කරන පීඩනය යි.

බොහෝ දුක් දී පහළ වන්නා වූ රූපය සැණෙකින් බිඳෙයි. එය ද රූපය ආත්මය කොට සලකන සත්ත්වයා හට මහත් දුකෙකි. ඒ දුක ඇති කිරීම, රූපය විසින් බිඳීම් වශයෙන් සත්ත්වයා හට කරන පීඩාව යි. මෙසේ ඉපැදීම් බිඳීම් දෙකින් රූප පෙළෙන බව රූපයාගේ දුඃඛ ලක්ෂණයෙකි. රූප පමණක් නොව සකල සංස්කාරයෝ ම, සංස්කාරයන් ආත්මය කොට ඇති, සංස්කාරයනට ඇලුම් කරන සත්ත්වයා නිරන්තරයෙන් පෙළන්නාහු ය."

ආත්ම ස්වභාවයට විරුද්ධ ස්වභාවයක් වන බව සංස්කාරයන් ගේ අනාත්ම ලක්ෂණය යි. තෙමේ සත්ත්ව සන්තානයට අයත් නාම රූප ධර්මයන් අතර පරමාභ්‍යන්තරික දෙය වී තමාගේ කැමැත්තේ සැටියට ම පවතිමින් ස්වසන්තානයට අයත් අන්‍ය ධර්මයන් ආත්මය වූ තමාගේ කැමැත්තේ සැටියට හසුරුවමින් අන්‍ය ධර්මයන්ට අධිපති බව කරන යම් කිසිවෙක් වේ නම්, එයට ආත්මය යි කිව යුතුය. ලෝකයා විසින් ආත්මය යි සලකන්නේ එවැනි දෙයක් ය. හේතූන්ගේ සමායෝගයකින් නොව, තම තමාගේ අදහසේ හැටියට තමාගේ බලයෙන් ම තමාගේ කැමැත්තේ සැටියට ම හැසිරෙමින් අන්‍ය සංස්කාරයන් ද තමාගේ කැමැත්තේ සැටියට පැවැත්විය හැකි බව, අන්‍ය සංස්කාරයන් ආණ්ඩු කරන බව ආත්ම ලක්ෂණය යි.

හේතූන්ගේ සංයෝගයක් නැතිව, ඉපැදිය හැකි එක් සංස්කාරයකුදු නැත. ගිනිකූර ගිනි පෙට්ටියේ ඇතිල්ලීමෙන් ගින්න හට ගන්නාක් මෙන්, සෑම සංස්කාරයක් ම උපදිනුයේ හේතූන්ගේ සංයෝගයකිනි. උපදවා ගැනීමට කාට කොතෙක් උවමනා වුවත් හේතු සංයෝගයක් නැතිව නම් ඒවා නූපදින්නේ ම ය. උපන් පසු මොහොතකුදු නො දිරා නො බිඳී තිබිය හැකි ශක්තියක් ද කිසිම සංස්කාරයකට නැත. තමනට පැවතීමට ශක්තියකුදු නැති සංස්කාරයනට, අන්‍ය සංස්කාරයන් ස්ව වශයෙහි පවත්වන්නට ශක්තියක් කොයින් ද? නැත්තේම ය. තමාගේ කැමැත්තෙන් ඉපදීමට හා නොදිරා නොබිඳී පැවැතීමට ද අන්‍ය සංස්කාරයන් ස්ව වශයෙහි පැවැත්වීමට ද නුපුළුවන් බව, සංස්කාරයාගේ ආත්ම ලක්ෂණයට විරුද්ධ ලක්ෂණය වූ අනාත්ම ලක්ෂණය යි. අනාත්ම ලක්ෂණය ඇති සංස්කාරයෝ අනාත්මයෝ ය. සංස්කාරයෝ ආත්ම නො වන්නේය. සංස්කාරයන් උපදවන හසුරුවන, සංස්කාරයන්ගෙන් අන්‍ය ආත්මයක් ඇතැයි ද මුළාවිය හැකිය. එබඳු දෙයක් ද නැත. මුළා නො වනු."

# "අනිත්‍ය, දුඃඛය, අනාත්මය යන මේ වචන නිතර අසා පුරුදු බැවින් අනිත්‍යාදි ලක්ෂණත්‍රය නො ගැඹුරු දෙයක් සේ වැටහිය හැකිය. එය නො ගැඹුරු දෙයක් නොව ගැඹුරු දෙයකි. ජීවත්වන සත්ත්වයන් කවරදා නමුත් මැරෙන බවත් අන්‍ය වස්තූන් ද කවරදා හෝ විනාශ වන බවත් සැම දෙනම දනිති. කා හටත් ඇති ඒ අනිත්‍යතා දර්ශනය විදර්ශනා භාවනාවට ප්‍රමාණ වන අනිත්‍යතා දර්ශනයෙක් නොවේ. ඒ දැනුම මාර්ගයට ඵලයට පැමිණීමට ප්‍රමාණ වන දැනුමක් නොවේ. මාර්ග ඵල ප්‍රතිලාභය සඳහා යෝගාවචරයකු විසින් දැන ගත යුතු සොයා ගත යුතු භාවනා කළ යුතු අනිත්‍ය ලක්ෂණය, එයට වඩා බොහෝ සියුම් වූ ද, ගැඹුරු වූ ද දෙයකි. සාගින්න පිපාසය හිසරදය කන් කැක්කුම බඩේ කැක්කුම යනාදිය දුක් බව හැම දෙනම දනිති. දුක් පිළිබඳ වූ ඒ දැනීම විදර්ශනාවට ප්‍රමාණ වන්නේ නොවේ. විදර්ශනා කරන යෝගාවචරයා විසින් සොයා ගත යුතු සංස්කාරයන්ගේ දුඃඛ තත්ත්වය එයට වඩා සියුම් ද ගැඹුරු වූ ද දෙයකි.

සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ තුන පහසුවෙන් නො පෙනෙන දෙයක් ගැඹුරු දෙයක් වී තිබෙන්නේ එය සමූහ, සංස්ථාන, සන්තති, ප්‍රඥප්තීන් ගෙන් වැසී තිබෙන බැවිනි. අනිත්‍යාදි ලක්ෂණත්‍රය නුවණට හසු කර ගත හැකි වන්නේ, අවබෝධ කර ගත හැකි වනුයේ, සමූහාදි ප්‍රඥප්ති තුන නුවණින් බිඳ පියා ශුද්ධ පරමාර්ථය සොයාගත් කල්හිය. එය නො සොයා ගෙන ප්‍රඥප්ති විෂයෙහි සෙවීමට ගියාට අනිච්ඡාදි ලක්ෂණත්‍රය නො දැකිය හැකිය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll