375. සම්මා දිට්ඨිය නැති ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. එක්තරා ධර්මදේශනාවක මේසේ අසන්නට ලැබුණි. "සම්මා දිටිඨිය ඇති වන්නේ සෝවාන් පුද්ගලයාටයි."
එතකොට,
01. සෝවාන් වීමට පෙර සම්මා දිට්ඨිය නැතිද?
02. නැත්නම් මෙම ඇසූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදිද?

A / R. … “මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය කුමක්ද? මහණෙනි, මම සම්‍යක්දෘෂ්ටියද දෙපරිදිකොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාකදෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටියක් ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ, ලොකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇති සම්‍යක් දෘෂ්ටිතොමෝ කවරීද? ‘දුන් දැයෙහි විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ කටයුතුවල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. චුතව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේම විශෙෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරද්ද, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත.’ මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටිය කවරීද? මහණෙනි, ආර්‍ය්‍යවූ චිත්තයෙන් ආශ්‍රවරහිත චිත්තයෙන් ආර්‍ය්‍යමාර්ගයෙන් යුක්තවූවහුගේ ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් ප්‍රඥාවක් වන්නීද, ප්‍රඥෙන්ද්‍රියයක් වේද, ප්‍රඥාබලයක් වේද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් වේද, සම්‍යක් දෘෂ්ටියක් වේද, මාර්ගාංගයක් වේද, මහණෙනි, මේ නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තරවූ මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියයි.” …
https://pitaka.lk/main?n=20117

A / R. “ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක්දෘෂ්ටිය (හරිදැකීම) යයිකියනු ලැබේ. ඇවැත්නි, ආර්යශ්‍රාවකතෙම කොපමණකින් සම්‍යක්දෘෂ්ටි ඇත්තේවේද? දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ ධර්මයට (නිර්වාණධර්මයට) පැමිණියේ වේද? ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ කීමෙහි අර්ථය දැනගන්නට දුරසිටත් එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම මේ කීමෙහි අර්ථය ප්‍රකාශ කිරීම අයත්වේවා, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දැනගන්නාහුය. ‘ඇවැත්නි, එසේවී නම් අසව් හොඳින් හිතේ තබාගනිව් කියන්නෙමි’ ‘එසේය ඇවැත්නි, ‘කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.”

A / R. එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන ය, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ඥාන යයි. මේ ’සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්ගාඞ්ග වූ මාර්ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.

A / R. එහි අමෝහ කවරේ යත්:
දුඃඛසත්‍යයෙහි ඥානය, දුඃඛසමුදයෙහි ඥානය, දුඃඛනිරෝධයෙහි ඥානය, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඥානය, පූර්වාන්තයෙහි ඥානය, අපරාන්තයෙහි ඥානය, පූර්වාන්තාපරාන්තයෙහි ඥානය, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයන්හි ඥානය, යන මෙබඳු වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදීන්ගේ ලක්ෂණ වශයෙන්) සැලකීමෙක් උපලක්ෂණයෙක් ප්‍රත්‍යූපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂාවෙක් භූරිප්‍රඥාවෙක් මේධා (ධාරණප්‍රඥා) වෙක් පරිණායිකාවක් විදර්ශනාවක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා) පතෝදයෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රෙයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යෝතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ අමෝහය යි කියනු ලැබේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll