174. භික්ෂූන්වහන්සේලා විවේචනය කරමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Qවර්තමානයේ ගිහියන් භික්ශූන් වහන්සේලා සිදු කරන වැරදි බොහෝ විවේචනය කරනු අප දැක තිබෙනවා... ඇතැම් භික්ශූන් වහන්සේලාට නොගැලපෙන ලෙස ආමන්ත්‍රනය කරන අයුරුත් අප දැක තිබෙනවා... මේ ආකාරයෙන් භික්ශූන් වහන්සේලා විවේචනය කිරීමෙන් අකුසල් රැස් වනවාද? මෙය සිදු කිරීම නුසුදුසුද? නුසුදුසු නම් ඊට හේතු කවරේද?

A / Rවරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය.
“භික්ෂූන් වහන්සේලා වනාහි තමනට වරද කළ අයගෙන් පළි ගන්න නොයන ඉවසන ස්වභාව ඇති සත්පුරුෂ පිරිසකි. එ බැවින් ඇතැම් දුෂ්ට පව්කාරයෝ බියක් සැකයක් නැතිව ම භික්ෂූන් වහන්සේලාට අපහාස කරති. චෝදනා කරති. සමහර විට ඔවුහු භික්ෂූන් වහන්සේලාට ගර්හා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝ රත්නයට ම අගෞරව කළේ වන්නේ ය. එය මහත් වූ පාපයෙකි. ධාර්මික ශ්‍ර‍මණයන් වහන්සේලාට අගෞරව කිරීම චෝදනා කිරීම අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතු වන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලොවදී ම ද ලැබෙන්නේ ය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ දරු මුණුබුරන්ට ද විඳින්ට සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් කොසොල් රජතුමාට මෙය වදාරන ලදි. ….

(1) ගිය මග දවා හළු කරන්නා වූ ගින්න යම් කලෙක වනයක් දවා ද, කාලයක් ගතවීමෙන් පසු ඉතිරි වූ මුල්වලින් ලියලා නැවතත් එහි ගස් ඇති වන්නේය.
(2) සිල්වත් වූ භික්ඛු තෙමේ තමාට වරදක කළ කෙනකු තමාගේ තේජසින් යම් කලෙක දවා ද, එ කල්හි ඔහු පමණක් නොව ඔහුගේ දරුවෝ ද ගව මහිසාදි සත්ත්වයෝ ද නස්නාහ. ඔහු ගේ ධනය උරුමක්කාරයෝ නො ලබන්නාහ.
(3-4) සිල්වත් භික්ෂුන්ට වරද කිරීමෙන් ඒ භික්ෂූන්ගේ සීල තේජසින් දවනු ලැබූ ඔවුහු දරුවන් නැත්තාහු උරුමක්කාරයන් නැත්තාහු අක් සුන් තල් රුක් වැනි වන්නාහ. එ බැවින් තමාගේ අර්ථය දක්නා වූ පණ්ඩිත පුරුෂ තෙමේ සර්පයා කෙරෙහි ද, ගින්න කෙරෙහි ද, රාජ කුමාරයා කෙරෙහි ද, සිල්වත් භික්ෂුව කෙරෙහි ද මනා කොට හැසිරෙන්නේ ය යනුයි.
භික්ෂූන් වහන්සේ වනාහි නාගාදීන් මෙන් ස්වකීය තේජසින් අන්‍යයන් දවන්නා වූ කෙනෙක් නොවෙති. උන්වහන්සේ බණින්නා හට පෙරළා නො බණින්නා වූ, කලහයට එන්නා හා කලහයට නො යන්නා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, ඉවසන්නා වූ කෙනෙකි. ගුණවත් වූ උන්වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත් කර ගැනීමෙන් තෙමේ ම දැවෙන්නේ ය. දුකට පත්වන්නේ ය. බුදුන් වහන්සේ “භික්ෂු තෙම අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේ ය” යි වදාළේ භික්ෂුව නිසා අපරාධකාරයා දැවෙන බැවිනි. වරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය. …”

A / R. "ගිය මග කළුකරන්නාවූද, පව් දවන්නා යන අර්ත්‍ථයෙන් පාචක නම්වූද ගින්න යම් වනයක් දවානම් එහි කලකට පසු පැල හටගනිති. නමුත් සිල්වත් භික්‍ෂු සිල් තෙදින් යමෙකුන් දවානම් ඔහුට පුත්තු නැති වෙති. ගෙරි සරක් නැති වෙති. ඔහුගේ දායාදයෝ හෙවත් ධනයට හිමිකම් ඇති නෑදෑයෝ ඔහුගේ ධනය නොලබති. ඔවුහු දූ දරුවන් නැත්තෝව, ධනයට හිමි නෑයන් නැත්තෝව කරටියෙන් කැඩූ තල් ගස් මෙන් වෙති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll